Header Ads

test

ආදර්ශවත් නායිකාවකගේ බාල දියණිය අද මෙතරම් පහත් ලෙස ක‍්‍රියා කරන්නේ කෙසේද?


ඡන්දයෙන් තෝරා පත්කරගත් ලංකාවේ මෙන්ම ලොව බිහි වූ ප‍්‍රථම අගමැතිනියගේ සියවැනි ඡුන්ම දින අනුස්මරණය පැවැත්වූයේ මීට වසර දෙකකට පෙර එනම් 2016 දී ය. මේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායිකාව මෙලොව හැර ගියේ මීට වසර 18 කට ප‍්‍රථමය. නියම සිංහල බෞද්ධ කුල කාන්තාවක් වූ ඇයගෙන් ජාතියට, ආගමට සිදු වූ මෙහෙය තව වසර සියයක් ගතවුව ද මෙනෙහි කළ යුතුය. එසේ නොකරන්නේ නම් අපි අකෘතඥයෝ වන බව නොකියාම බැරිය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අතර සමීප ඇසුරක් පැවතිණි. බලංගොඩ නාහිමියන් වැඩ විසූ මහරගම පන්සලට මේ අගමැතිනිය පැමිණියේ නියර දිගේ ගමන් කරමින් බව ඉතිහාසයේ සටහන් වී ඇත. බලන්ගොඩ නාහිමියන්ගේ දින පොතේ මෙලෙස සටහන් වී ඇත.

1960 ජූලි 21 : බණ්ඩාරනායක මැතිනියගේ විශිෂ්ට ජයග‍්‍රහණය අද උදේ ප‍්‍රකට විය.

1960 නොවැම්බර් 12 : උදේ 7.30 ට අගමැතිනියගේ කාරයෙන් බලන්ගොඩ ගියෙමි. මේ ආණ්ඩුව රැකගැන්මෙන් බුද්ධ ශාසනයට යහපතක් ද යූඑන්පිියට බලය ගියහොත් බුදු සසුනට විපත් ද සතුරු ආගමික බලය නැඟීම ද වන හෙයින් මැතිනියගේ පාලනයට උපකාරී විය යුත්තේ ශාසනයේ අභිවෘද්ධිය සඳහාමය.

1962 මැයි 28 : මෙදින දහවල් 3 ට අගමැතිනියගේ මව මියගිය බව අරලියගහ මන්දිරයෙන් මට ටැලිෆෝනයෙන් දැන්වීය. රත්වත්තේ කුමාරිහාමිගේ ආදාහන කෘත්‍යය මා විසින් මෙහෙයවන ලදී. අගමැතිනියගේ ජීවිතය ගැන කියැවෙන නාඩි වාක්‍යය පිළිබඳව ද මේ දින පොතේ සඳහන්ය. එහි 1971 කැරැල්ල හෙවත් විශාල ලේ වැගිරීමක් මැතිනියගේ දෙවැනි පාලන කාලයේ සිදුවන බව සඳහන් වී ඇත.

සිරිමාවෝ අගමැතිනිය බලයට ඒම බුද්ධ ශාසනයට ද යහපත් බව බලන්ගොඩ නාහිමියන් ද හොඳින් අවබෝධ කරගෙන සිටියහ. අගමැතිනිය පාසල් රජයට පවරා ගැනීමට කටයුතු කිරීම අභීත පියවරකි. එයට කෙළින්ම කතෝලික පල්ලිය එරෙහි විය. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ ශිෂ්‍යාවක් වුවත් ඇය ඒ තීරණයේ දැඩිව එල්බ සිටියාය. මෙය සැබැවින්ම ඓතිහාසික කාර්යයකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ කතෝලිකයන්ට හා ක‍්‍රිස්තියානීන්ට විශේෂ වරප‍්‍රසාද ලැබිණි. උදාහරණයක් ලෙස 1939 දී මෙරට කතෝලික හා ක‍්‍රිස්තියානි ආගමික සංයුතිය සමස්ත ජනගහනයෙන් 6.25% ක් විය. එහෙත් අධ්‍යාපනය සඳහා ලබාදෙන ප‍්‍රතිපාදනවලින් 73% ක්ම හිමිවූයේ මොවුනටය.

ඉතිරි 93% කට ලැබුණේ මේ ප‍්‍රතිපාදනවලින් 26% ක් පමණි. මෙයින්ම බෙදීමේ අගය හොඳින් වැටහේ. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා 56 දී බලයට එන විට මෙරට හමුදා නිලධාරීන්ගෙන් පහෙන් තුනක්ම ක‍්‍රිස්තියානි ආගමිකයන් විය. පහෙන් එකක් දෙමළ විය. සිංහල බෞද්ධ නිලධාරීන් අල්පයකි. බණ්ඩාරනායක මහතා සිංහල බෞද්ධ පොලිස්පතිවරයෙක් පත් කිරීමට කටයුතු කළේය.

බණ්ඩාරනායක මැතිනිය බලයට පැමිණ සිදුකරන ප‍්‍රගතිශීලී ක‍්‍රියාපටිපාටිය ගැන කතෝලික පල්ලිය සතුටට පත්වූයේ නැත. එනිසාම 1962 හමුදා කුමන්ත‍්‍රණය සඳහා මඟ සැකසිණි. මෙය සැබැවින්ම කතෝලික හමුදා නිලධාරීන්ගේ වැඩපිළිවෙළකි. කතෝලික පාසල් පවරා ගැනීමට එරෙහි වාඩුව ගැනීමට මේ කුමන්ත‍්‍රණය දියත් වූ බව ප‍්‍රකට කරුණකි. මේ මෙහෙයුමට ලබාදී තිබූ සංකෙත නාමය වූයේ "Operation Holdpast" ලෙසය. මේ කුමන්ත‍්‍රණය සිදුකිරීමට නියමිත වූයේ 1962 ජනවාරි 27 වැනිදාය. අගමැතිනිය ජනවාරි 26 වැනිදා කතරගම බලා යෑමට නියමිත වුවත් මේ හමුදා කුමන්ත‍්‍රණය හෙළිවීමෙන් පසුව ඒ ගමන අත්හැර දැමීය. ජනවාරි 26 වැනිදා රාත‍්‍රිය වනවිටම මේ කුමන්ත‍්‍රණකරුවන් 31 දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර හමුදා, නාවික හමුදා, පොලිස් මෙන්ම සිවිල් නිලධාරියකු ද විය. මේ සියලූ දෙනාම සිංහල ක‍්‍රිස්තු භක්තිකයන් හින්දු හෝ දමිළ නැත්නම් බර්ගර් ජාතිකයන් විය.

කුමන්ත‍්‍රණකරුවන් සියලූ දෙනාම කොළඹ ඉහළ පන්තියේ සමාජ තලවල සිටි අය මෙන්ම කතෝලික පල්ලිය හා කිට්ටුවෙන් සිටි අය විය. හමුදා කුමන්ත‍්‍රණය හෙළිවීම නිසා අගමැතිනියගේ ආරක්‍ෂාවට අරලියගහ මන්දිරයට යුද්ධ ටැංකි ද කැඳවිණි.

මේ ඉතිහාසය යළි සිහිකළ යුත්තේ මැතිනිය සිංහල බෞද්ධයා වෙනුවෙන් කළ සේවය නිසා අන්‍යාගමික බලවේග ඇයට එරෙහිව සිදුකළ සාහසික ක‍්‍රියා මතු පරපුරත් දැනගත යුතු නිසාය.

මේ කුමන්ත‍්‍රණයට එකල අග‍්‍රාණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක ද සම්බන්ධ විය. තමා රජ ගෙදරින් ඉවත් කළ හැක්කේ අවමංගල අධ්‍යක්‍ෂකවරුන් වූ රේමන්ඞ්ලට පමණක් බව කියමින් ශ‍්‍රීමත් ඔලිවර් කයිවාරු ගැසුවේය. නමුත් බණ්ඩාරනායක අගමැතිනිය සිය ලේකම් ලවා මහ රැජනට රහසිගත සංදේශයක් යවා ඔහු තනතුරෙන් ඉවත්කර ගත්තාය. පසුව ඔලිවර් ගුණතිලක වෙනුවට විලියම් ගොපල්ලව මහතා එම තනතුරට පත් කෙරිණි. ගොපල්ලව බෞද්ධයෙකි.

සිරිමාවෝ මැතිනිය පිළිබඳව කීර්තිමත් රාජ තාන්ත‍්‍රිකයකු වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතා ලියූ ලිපියක මේ ආදර්ශවත් නායිකාව ගැන තැබූ පෞද්ගලික වෘත්තාන්ත දෙකක් ද සටහන් කර තිබිණි. එය මෙසේ උපුටා දක්වමී.

පළමුවැන්න නම් 1970 ගණන්වලදී පෞද්ගලිකව කොළඹට පැමිණි වෛද්‍යවරුන් කණ්ඩායමක් ගැන ය. චීන රජයේ අනුග‍්‍රහය ඇතිව ඔවුන් පැමිණියේ බණ්ඩාරනායක මැතිනියගේ නැදෑයකු වූ එස්ලින් දැරණියගල මහත්මියට සහ බණ්ඩාරනායක මැතිනියට වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස ය. ඔවුන් නැවතී සිටියේ බණ්ඩාරනායක මැතිනියගේ නිල නිවසෙහි ය. චීන භාෂාව

ගැන මා සතු දැනීම හේතු කොටගෙන එම පිරිස සංචාරක වැදගත්කමක් ඇති ස්ථානවලට සති අන්තයේදී කැඳවාගෙන යන ලෙස බණ්ඩාරනායක මැතිනිය මට කීවා ය. ඒ සෑම ගමනකටම රැල්ෆ් දැරණියගල මහතාගේ පෞද්ගලික මෝටර් රථය භාවිත කළෙමි. නිල වාහන භාවිතය ගැන සිතුවේවත් නැත. බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික ජීවිතය නිල වශයෙන් ලැබෙන තත්ත්වය හා අතිරේක ඵලප‍්‍රයෝජනවලින් වෙන්කර තැබීම, ඊටත් ඉහළ මට්ටමක පැවතිණි. වරක් හික්කඩුව තානායමෙහි චීන වෛද්‍යවරුන්ට දිවා ආහාරය සපයන ලදී. මා ආපසු පැමිණි පසු වියදම ගැන මගෙන් ඇසූ විට බිල්පත ඉදිරිපත් කළෙමි. එවිට ඇය වහාම තම පෞද්ගලික චෙක්පතකින් මුදල් ගෙවුවා ය. අපගේ දේශපාලනඥයන් අතර සුවිශේෂී යැයි කිව හැකි ඇයගේ ආදර්ශවත් හැසිරීමට මම අදත් ගරු කරමි.

දෙවැනි කතාන්දරය 1972 වර්ෂයේ බණ්ඩාරනායක මැතිනිය චීනයේ සිදුකළ රාජ්‍ය නිල සංචාරය හා බැඳෙයි. මේ සංචාරය මා දන්නා පරිදි ශ‍්‍රී ලංකා නායකයකු කළ සාර්ථක නිල සංචාරයයි. සංචාරය අවසානයේදී සාමාන්‍ය පිළිවෙත අනුව ගමනට සම්බන්ධ චීන රජයේ සේවක පිරිසට සාම්ප‍්‍රදායික වශයෙන් පිරිනමන ත්‍යාග සූදානම් කරන්නට වීමු. ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසගේ කාර්යාලයේදී ත්‍යාගවල දවටනය යොදා ලේබල් අලවන විට බොහෝ ? වී තිබිණ. සැහැල්ලූ ගෘහ කබායකින් සැරසී තම හිසකේ තනි කරලකට ගොතාගෙන බණ්ඩාරනායක මැතිනිය ද අප අතරට පැමිණ නිහඬව අප කළ කටයුතුවලට සහභාගි වූවාය. මෙවේලේ එතුමිය සිතුවේ

ගෘහණියක වශයෙන් තමන්ගෙන් ඉටුවිය යුතු කාර්ය භාරය ගැන පමණි. අප වැනි රළු ඇඟිලි ඇති පිරිමින්ගේ අත්වලින් ඔතන සහ බඳින පාර්සල්වල මනා නිමැවුම ගැන ඇය පෞද්ගලිකව සොයා බැලීම බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු ඇයට ”කුස්සි අම්මා කෙනෙක්” හැටියට අවමන් කළ ද මෙහිදී ඇය කාන්තාවක් හා නායිකාවක් මනාව මුසු වූ කලක මෙන් තම කාර්ය මණ්ඩලය සමඟ වැඩපළෙහි යෙදුණා ය. ඇය ‘රදළ’ හෝ ‘වංශවත්’ කාන්තාවක් හැටියට ද විවේචනයට පාත‍්‍ර වූවා ය. නමුත් මෙහිදී ඇය බාහිර අලංකාරය ලැදි නොකළ ‘තරාතිරම’ හෝ ‘තත්ත්වය’ ගැන නොතැකූ කාන්තාවක ලෙස ද කටයුතු කළාය

මෙවන් ආදර්ශවත් නායිකාවකගේ බාල දියණිය අද ක‍්‍රියා කරන්නේ කෙසේද? දියණියගේ සංහිඳියා වැඩපිළිවෙළ දුටුවේ නම් ඇය කුමක් කියනු ඇත්ද?

නිර්වස්ත්‍රං පරමං සුඛං

14,531 Viewers

No comments