Header Ads

test

ඔව් මම කලකිරීමෙන් - ඇමැති ෆොන්සේකා


යුද හමුදාපති ධුරයේ සිට ඇමැතිවරයකු දක්වා ඔහු ගෙවන ලද පරාසය තුළ නිල ඇඳුමේ සිට සිවිල් ඇඳුම දක්වා වෙනස්කමට අමතරව යම් විපර්යාස ගත වෙනසක් වී තිබෙන බව පෙනේ. පසුගියදා ඔහු විසින් කරන ලද ප‍්‍රකාශ පිළිබඳව දිවයින පුවත්පත සිය කර්තෘ වාක්‍යයේදී සඳහන් කරන ලද්දේ ‘ෆොන්සේකාගේ ජාතික නහරය ඉලිප්පී ඇත’ යනුවෙනි. උතුරු පළාතේ පිහිටුවා ඇති හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සිය ප‍්‍රධාන පුවත් සිරස්තලයෙන් එක් වරක් නොව දෙවරක්ම වාර්තා කළේය. ඒ සැමවිටම, අදාළ බලධාරීන් නිවේදන නිකුත් කරමින් එම පුවත ප‍්‍රතික්ෂේප කළේය. අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ‘SL News Web’ සමග කරන ලද සාකච්ඡවේ, ප‍්‍රධාන ප‍්‍රස්තුතය වූයේ එයයි. මේ අප ඔහු සමග කරන ලද සාකච්ඡුාවයි.


ප‍්‍රශ්නය - ඔබ අමාත්‍යවරයෙක් වනවාට අමතරව ෆීල්ඞ් මාර්ෂල්වරයෙක්... මේ තනතුර හුදු නම්බු නාමයක් පමණද...? නැතිනම් ඔබ තවමත් සක‍්‍රීය හමුදා නිලධාරියෙක්ද...?

පිළිතුර - ෆීල්ඞ් මාර්ෂල් තනතුර මට තියෙනවා. ෆීල්ඞ් මාර්ෂල් කියන්නේ තරු පහේ ජෙනරාල්වරයෙක් ලෙස හඳුන්වන තනතුරක්. ඇමරිකාව වගේ රටවල, ෆීල්ඞ් මාර්ෂල් තනතුර ලබා දෙන්නේ නැහැ. ඔවුන් ලබා දෙන්නේ තරු පහේ ජෙනරාල් තනතුර. ඇමරිකාවේ ජනාධිපති ලෙස සේවය කරපු අයිසන්හවර්, තරු පහේ ජෙනරාල්වරයෙක්. චාල්ස් ඩිගොල් තරු පහේ ජෙනරල් කෙනක්. ඒ විදිහට තරු පහේ ජෙනරල්වරු දේශපාලනයේ ඉන්නවා. ඒ අය හමුදාවෙන් යම් අවස්ථාවක ඉවත් වෙනවා. එසේ ඉවත් වුණ විට සාමාන්‍ය පුරවැසියෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එංගලන්ත හමුදාවේ, තරු පහේ ජෙනරාල්ලා, අද්මිරාල්ලා, එයාර් මාර්ෂල්ලා, හමුදාපතිවරු ලෙස සක‍්‍රීය සේවයේ සිටිනවා. ඔවුන් හමුදාපති තනතුරුවලින් ඉවත් වුණ අවස්ථාවල, උසස්වීම ලබා දෙනවා. නිල ඇඳුම අ`දිනවා. සම්ප‍්‍රදායානුකුල වැටුප ගෙවනවා. නිල නිවාස දෙනවා. වාහන පහසුකම් දෙනවා. අපේ රටේ එහෙම කිසිම සම්ප‍්‍රදායක් අනුව වැඩක් කරන්නේ නැහැනේ... ඒ නිසා, අපේ රටේ මට ෆීල්ඞ් මාර්ෂල් තනතුර දුන්නා. නමුත් තාම ජෙනරාල් හැටියට, මට තරු හතරේ ජෙනරාල්ගේ විශ‍්‍රාම වැටුප ලැබෙනවා. ඒක තමයි මගේ පැත්තෙන් තත්ත්වය... ෆීල්ඞ් මාර්ෂල් කියන්නේ විශේෂිත තනතුරක්. ඒ තනතුර දරන පුද්ගලයා රාජකාරියෙන් මිදුනත්, රාජකාරියේ සිටියදී ලැබුණු වරප‍්‍රසාද ආදිය ලැබෙනවා. මම නිල ඇඳුම භාවිතා කරනවා. මම රාජකාරියට නිල ඇඳුම ඇඳලා යනකොට වාහනයක් එවනවා. ඒ වෙලාවට ආරක්ෂක මුරයකුත් එවනවා. ඒක වෙන වෙලාවට ලබා දෙන්නේ නැහැ. අනිත් රටවල ෆීල්ඞ් මාර්ෂල්වරුන්ට තමන්ගේම කාර්යය මණ්ඩලයක් සිටිනවා. කාර්යාලයක් තිබෙනවා.

ප‍්‍රශ්නය - සක‍්‍රීය හමුදාවට මැදිහත් වෙන්න හෝ එහි පරිපාලනය සඳහා මැදිහත්වීමට ඔබට හැකියාවක් තිබෙනවාද...?

පිළිතුර - මට නම් එහෙම කිසිම අවස්ථාවක් නැහැ. එංගලන්තය උදාහරණයක් විදිහට ගත්තොත්, ෆීල්ඞ් මාර්ෂල් ලෙස විශ‍්‍රාම යන සියලූදෙනා රැජිනගේ ආරක්ෂක උපදේශකයෝ විදිහට පත් කරනවා. ඒ රටවල ෆීල්ඞ් මාර්ෂල් කියන තනතුර සම්ප‍්‍රදායානුකුලව විශේෂිත වූ තනතුරක්. අපේ තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය සඳහන් කරන ලද ලියුමක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. ඒකේ මාව පෙන්වලා තියෙන්නේ, ඇමැතිවරුන්ට පහළින්. ඒත් ලෝකයේ සම්ප‍්‍රදාය තමයි, ෆීල්ඞ් මාර්ෂල් කෙනෙක් ආචාර කරන්නේ රටේ ප‍්‍රධානියාට පමණයි කියන එක. ඒ කියන්නේ ෆීල්ඞ් මාර්ෂල්, ඇමැතිවරුන්ට සහ අගමැතිට උඩින් ඉන්නවා කියන එකනේ. එංගලන්තේ ඇමැතිවරු නෙමෙයි ඉන්නේ, කැබිනට් ලේකම්වරු... ඒ රටේ පැහැදිලිවම කියලා තියෙනවා, ඒ කැබිනට් ලේකම්ලාට වඩා ෆීල්ඞ් මාර්ෂල්ලා ජ්‍යෙෂ්ඨයි කියලා. ඉන්දියාවේ ෆීල්ඞ් මාර්ෂල් කෙනෙක් ප‍්‍රාන්තයක සිට වෙනත් ප‍්‍රාන්තයකට යනවා නම්, රතු කාපට් එකක් දාලා, රාජ්‍ය ගෞරව දීලා පිළිගන්නවා. අපේ පාලකයින්ට මේවා තේරුම් ගන්න බැහැ. ඒ නිසා මේ තනතුරුවල ඒ මට්ටම පවත්වාගෙන යන්න, ඒගොල්ලන්ට උනන්දුවක් නැහැ.

ප‍්‍රශ්නය - ඔබ කලකිරීමකින් කතා කරන බව අපට පේනවා...

පිළිතුර - මම ඇත්ත කතා කරන්න ඕනෙනේ... මම ඇත්ත කතා කරනකොට, ඔබට හිතෙනවා ඇති මම කලකිරීමෙන් ඉන්නවා කියලා... මම මේ සිද්ධ වෙන දේවල් කතා කරන්නේ... ඔව්... ඇත්තටම විය යුතු දේ සහ වෙලා තියෙන දේ සංසන්දනය කළොත් ඕනෑම කෙනෙකුට කලකිරීමක් ඇතිවෙනවා. නොවිය යුතු දෙයක් වුණහම කලකිරීමක් එනවනේ...

ප‍්‍රශ්නය - චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ රජය සමයේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන්, ඔබ ලිඛිතව විරෝධය පළ කළා. එවකට ඔබ සේවය කළේ, යාපනයේ ආඥාපතිවරයා ලෙසයි. ඔබ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස සේවය කරන මේ ආණ්ඩුවත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට මේ වන විට කටයුතු යොදමින් සිටිනවා...

පිළිතුර - මීට මාස පහකට පෙර පුවත්පත්වල ප‍්‍රධාන පුවත ලෙස ‘කඳවුරු අසූවක් වසා දැම්මා...’ කියා සඳහන් වුණා. ඒ සඳහා කිසිවෙක් විරෝධයක් දැක්වූවේ නැහැ. එය රාජකාරීමය වශයෙන් ලබා දුන්න ප‍්‍රකාශයක්... හමුදාවේ බල ඇණි තිස් තුනක් ඉවත් කිරීම සඳහා මේ වන විට කටයුතු යොදා තිබෙනවා. බලඇණි තිස් තුනක් කියන්නේ, සෙනග විසි දාහකට කිට්ටු ප‍්‍රමාණයක්... කඳවුරු වසා දැමුවත් එකයි, පන්සියයක් ඉන්න කඳවුරකට සියයක් දැම්මත් එකයි. හමුදාවේ ඉන්න හැමදෙනාම ඉතා කලකිරීමෙන් මේ ගැන කතා කරනවා. බලඇණි තිස් තුනක් කියන්නේ බලසේනා එකොළහක්... බලසේනා එකොළහක් කියන්නේ, සේනාංක හතරක්... යුද්ධයේ ප‍්‍රහාර සඳහා මම ප‍්‍රහාරක සේනාංක පහයි පාවිච්චි කළේ... අනික් අය හිටියේ, බංකර් අල්ලා ගැනීම ආදී මුර රාජකාරි සඳහායි. සේනාංක හතරක් කියන්නේ, මම යුද්ධයේ ප‍්‍රහාර සඳහා පාවිච්චි කරපු බලයෙන් සීයයට අසූවක්. එහෙම අයින් කළාම ලූතිනන් කර්නල්ලා තිස් තුන් දෙනෙකුට රැකියාව නැති වෙනවා. බි‍්‍රගේඩියර්ලා එකොළහක් අයින් වෙනවා. මෙහෙම හමුදාවෙන් යන්නේ පළපුරුදු පිරිසක්... හමුදාපති කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන් හමුදාවක් ශක්තිමත් කරලා, හමුදාවේ අභිමානය වැඩි කළොත්නේ... තියෙන හමුදාව හරි ප‍්‍රමාණයට ගන්නවා කියලා, අඩු කරලා, අඩු කරලා දාන්න, හමුදාපති කෙනෙක් ඕනේ නැහැ... ඒක සාජන් මේජර් කෙනෙකුටත් කරන්න පුළුවන්... මෙයා හරි ප‍්‍රමාණයට හමුදාව හදනවා නම්. අපි සටන් කරන කොට මේ හමුදාව තිබ්බේ, වැරදි ප‍්‍රමාණයට ද...? ඒ වගේ එක එක මෝඩ තර්ක ගෙනහල්ලා, හිතුමතයට වැඩ කර එකේ, නරක ප‍්‍රතිපල, අද පේන්නේ නැහැ. තව අවුරුදු හත අටක් ගියාට පස්සේ, ඒවා පෙනෙයි. අපි කොච්චර මහන්සි වෙලා, කැපකිරීමක් කරලද හමුදාව ඔය තැනට ගෙනාවේ...

ප‍්‍රශ්නය - යුද්ධයක් නැති අවස්ථාවක මෙතරම් හමුදාවක් කුමට ද යන්න සමහරු ප‍්‍රශ්න කරනවා. 

පිළිතුර - ඔය දැන් ඉන්න හමුදාපති ගේන මෝඩ තර්ක... ලක්ෂ දොළහක ඉන්දියානු හමුදාව සහ ඊට අමතරව බෝඩර් ගාඞ් කියන තව ලක්ෂ 15ක විතර හමුදාවක් ඉන්නවා. ඒ අයට තියෙන්නේ හමුදා අවි ආයුධමයි. යුද්ධයක් නැහැ කියලා, මේ පිරිස අඩු කරනවාද...? පාකිස්තානයේ ස්ථිර හමුදාව ලක්ෂ හයක් ඉන්නවා. ඒ අයගේත් බෝඩර්

ගාඞ්ලා ලක්ෂ දහයක් විතර ඉන්නවා. ඉන්දු - පකිස්තාන් යුද්ධය හැමදාම නැහැ කියලා, ඒ අය හමුදාව අඩු කරනවාද...? විදේශ තර්ජන නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් මොන රටටද...? දේශපාලන ගැටුම් එන්න වැඩිවෙලා යන්නේ නැහැනේ... ඒ වෙලාවට හමුදාවක් හදන්න බැහැනේ... හමුදාව කියන්නේ ඕන වෙච්චි වෙලාවට හදපු එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු කොහොමද රටකට ආරක්ෂාව සපයන්නේ.

ප‍්‍රශ්නය - මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා ඔබත්  උද්යෝගිමත් සහයක් දැක්වූවා... රාජපක්ෂ ආණ්ඩුවෙන් විශාල පීඩනයකට ඔබ ලක්වුණා... මේ නිසා යහපාලන ආණ්ඩුව තුළ ඔබට හොඳ හඬක් තිබෙනවා. මේ හමුදාපතිවරයා පවා පත් කරන්න ඔබ මැදිහත් වුණ බව සඳහන් වුණා... එහෙම ඔබ ඇයි මේ හමුදාපතිවරයා සමග ගැටුමකට යන්නේ...

පිළිතුර - අපි නැත්නම් මේ ආණ්ඩුව එන්නෙත් නැහැ. මේ අය රට බෙදනවා කියලා, රාජපක්ෂ පෙරමුණ පැත්තෙන් චෝදනා කරන කොට, එහෙම කරන්න දෙන්නේ නැහැ කියලා මම කියපු වචනය තමයි රටේ මිනිස්සු පිළිගත්තේ... මම එදා කියපු වචනය මම ජනතාවට රකින්න ඕනේ... ඒ වෙලාවේ මේ අයට අපිව ඕනේ වුණාට ඒවායේ වටිනාකමක් පස්සේ නැහැනේ... මම හමුදාවේ ඉන්න කොට ඔය කිසිම කෙනෙක් සමග විශේෂ සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඔය කිසිම කෙනෙක් එක්ක මම එකට වාඩිවෙලා තේ එකක්වත් බීලා නැහැ. කිසිම ගෝලයකුට මම තේ එකක් දීලත් නැහැ. කිසිම ගෝලයෙක් එක්ක මම එකට වාඩිවෙලා අරක්කු වීදුරුවක් අරගෙන නැහැ... ඒ කාලයේ මම බොනවා. දැන් මම බොන්නේ නැහැ... අඩුම ගාණේ බොන තැනක ඉන්නෙවත් නැහැ... දේශපාලනය කියන්නේ බීලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කාලයේ මම කිසිම කල්ලියක් හැදුවේ නැහැ. නමුත් මගේ කාර්යය මණ්ඩලයේ හිටපු නිසා, තිස් පස් දෙනෙක් එළවලා, ඒ හිටපු ආණ්ඩුව මගෙන් පළිගත්තා. එයින් කෙනෙක් තමයි මෙයා. ඒ නිසා ඒ පිරිසට සාධාරණයක් වෙන්න ඕනේ කියන මතයේ මම හිටියා. එයින් සමහරු විශ‍්‍රාම ගිහිල්ලා හිටියේ... විශ‍්‍රාම නොගියපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට මෙයා තමයි ඉතුරුවෙලා හිටියේ... ඒ නිසා, යුතුකමක් හැටියට, මේ මිනිස්සුන්ට අසාධාරණයක් වුණා, ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න ඕනේ කියලා තමයි, මම මේ අයට උදව් කළේ. එහෙම නොකළා නම් හමුදාවේ එයාට තිබ්බ ජ්‍යෙෂ්ඨත්වය අනුව, හමුදාවේ හතර වෙනියා විදිහට එයා විශ‍්‍රාම යන්නයි තිබුණේ... අපි යම් කිසි කැපකිරීමක් නොකරන්න එයාට හමුදාපති වෙන්න ලැබෙන්නේ නැහැ. මෙයා හමුදාපති වෙන්න ඉස්සෙල්ලා අපි යන යන තැන හිටගෙන ඉන්නවා. මම හිරේ ඉඳලා ඇවිල්ලා, වෛද්‍ය සායනයකට සහභාගි වෙන්න, සිංගප්පූරුවට ගියා. එතකොට මෙයා හිටියේ ඩුබායිවල. මෙයා ඩුබායිවල ඉඳලා සිංගප්පූරුවට ආවා, මගේ බෑග් උස්සගෙන යන්න... හමුදාපති වෙන්න ඉස්සෙල්ලා අපේ ඕන දෙයක් කරන මට්ටමක තමයි හිටියේ. හමුදාපති වුණාට පස්සේ මෙයා, ජනාධිපතිතුමා හමුවෙලා ඇවිල්ලා මට කෝල් එකක් දුන්නා... එයා එතැනදී කියපු කරුණු නිසා මම එයාව කෙලින්ම අතේ දුරින් තිබ්බා. ”ජනාධිපතිතුමා මොකද කිව්වේ...’’ කියලා මම ඇහැව්වා. ඔබතුමාට තියෙන දැනුම ඇති හමුදාවට අණදෙන්න... කාගෙන්වත් උපදෙස් ඔවදන් ගන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඔය විශ‍්‍රාමික අයගෙන් එහෙම උපදෙස් ගන්න ඕනේ නැහැ. ඔබතුමාට හරි කියලා හිතෙන හැටියට ඔබතුමා හමුදාව කරගෙන යන්න කියලා කිව්වා...’’ කියලා එයා මට කිව්වා. එහෙම කියපුවහම මම විහිළුවට වගේ ඇහැව්වා ”ඒ තමුන්ට කිව්වේ. මගෙන් උපදෙස් ගන්න එපා කියලද...’’ කියලා. ”එහෙම වෙන්නත් පුළුවන් නේද සර්...’’ කියලා මිනිහා මට කිව්වා. එදායින් පස්සේ මම මිනිහ සමග කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ. මම එයාට උසස්වීම් දෙන්න කියලා බලපෑම් කළා කියලා කිව්වා. මම එයාට එහෙම උපදෙස් දුන්නේ දෙන්නෙක් ගැන විතරයි.

මනුෂ නානායක්කාරගේ සහෝදරියට මෙයා උසස්වීමක් නොදී අසාධාරණයක් කළා. ඒ වෙලාවේ මනුෂ නානායක්කාර ඇවිල්ලා මට ඒ ගැන කිව්වා. නිර්මාල් ධර්මරත්න කියලා ඉතාම දක්ෂ නිලධාරියෙක් ඉන්නවා. එයාට ප‍්‍රශ්නයක් වෙලා තිබ්බා. මේ නිලධාරියා බලඇණියක් අණදුන්නා. මම යුද්ධය මෙහෙයවන කොට එස්.එෆ්. බි‍්‍රගේඞ් එකේ අණදෙන නිලධාරියා... ඒ වෙලාවේ එස්.එෆ්.බි‍්‍රගේඞ් එකේ අණදෙන නිලධාරියා කියන්නේ විශාල මෙහෙවරක්... එයා සේනාංකාධිපතිවරයෙකුත් වෙලා හිටියා. මෙයත් එකක් පරණ ප‍්‍රශ්නයක් තිබිලා තියෙනවා. නිර්මාල් ධර්මරත්න ආඥාපති වෙන්න ආවාම මෙයා පරණ වැඩක් නැති කේස් එකක් ඇදලා ඒක නැවැත්තුවා. ඒක සාධාරණද...? ඔය කේස් දෙක මම මෙයාට කිව්වේ නැහැ. මෙයා එක්ක අර කතාවෙන් පස්සේ, මම සම්බන්ධය නවත්වලයි තිබ්බේ... මම මේ ගැන ජනාධිපතිට කිව්වා. මේ දෙන්නාගේ නම් දෙක කොළයක ලියලා, ඒ ගැන සටහනක් දාලා මම පොඩි කොළයක් ජනාධිපතිට දුන්නා. ”මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙනවා. ඔබතුමා මැදිහත්වෙලා මේ වැඬේ නතර කරන්න’’ කියලා මම කිව්වා. ජනාධිපති එයාට ඒ ගැන කියලා තියෙනවා. ඊට පස්සේ ඔය මිනිහා, අර කාන්තා නිලධාරිනිය ගෙනහල්ලා ”දේශපාලනඥයන්ට මේවා කියන්න එපා...’’ කියලා බැන්නලූ...මේ ඇමැති කෙනෙක්ගේ සහෝදරියක්... ජනාධිපති තමයි එයාට කතා කළේ... මේ මිනිහ ඒවා ගැනවත් හිතන්නේ නැහැ... ඕවායින් පේනවනේ මිනිහගේ ඔ`ථව ඉදිමිලා තියෙන තරම... මේ නිසා මගේ විශාල කලකිරීමක් තියෙනවා එයා ගැන. මම මිනිහගෙන් කවදාවත් උදව්වක් ඉල්ලන්න ගිහිල්ලා නැහැ.

ප‍්‍රශ්නය - ඔබ වෙනදාට රාජපක්ෂලාට වැරෙන් වාග් ප‍්‍රහාර එල්ල කරපු චරිතයක්. එසේ කරන ලද ඔබම ”රාජපක්ෂලා මට වද දුන්නා... මාව හිරේ දැම්මා, ඒ වුණාට මගේ ආධාරකරුවන්ට කුඩු දාලා අල්ලගෙන ගියේ නැහැ...’’ කියලා, ළඟදී පවසනවා. මේ වෙනස මොකක්ද...? ඔබේ දේශපාලන සිතියමේ වෙනසක් පෙන්වන පෙරමග ලකුණුද මේ...?

පිළිතුර - නැහැ... නැහැ... එහෙම දෙයක් නැහැ. නමුත් මේ වෙන දේවල් සංසන්දනය කළාම, තියෙන තත්ත්වය තමයි මම කිව්වේ... රාජපක්ෂලා මගේ දරුවන්ට පවා කරදර කළා. දුටු තැන අල්ලන්න කියලා රටේ පෝස්ටර් ගැහැව්වා. ඒවා නිවැරැදියි කියලා මම කියන්නේ නැහැ. මගේ පිරිස හැටක් හැත්තෑවක් විතර ඒ කාලයේ අල්ලලා හිරේ දාලා තිබ්බා. මාස හතර හිටියා සමහරු. සේනක සිල්වා දවස් හාරසියයක් හිරේ හිටියා. ඒ මිනිස්සු මා එක්ක පුදුම වෛරයකින් හිටියේ. ඒ අයට තිබ්බනේ මගේ මිනිස්සුන්ට කුඩු දාලා, ජීවිතාන්තය දක්වා හිරේ දාන්න... එතැනට ගියේ නැහැනේ... ආණ්ඩුව හදන්න දායක වෙච්ච මිනිස්සුන්ටම, දේශපාලන න්‍යාය පත‍්‍රවල ඉන්න සමහර පොලිස් නිලධාරීන් හිරිහැර කරනවා. අපේ රජයක් තිබිලා ඒ අය බේරගන්න අපිට බැරි නම් ඒ රජය ගැනත් මට කලකිරීමක් ඇතිවෙනවා...

ප‍්‍රශ්නය - දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුව හැසිරෙන පොලිස් නිලධාරීන් ලෙස ඔබ හඳුන්වන්නේ කාවද...?

පිළිතුර - එස්.ටී.එෆ්. කමඩාන්ට් ලතීෆ් එක් කෙනෙක්... එයා මේ සඳහා තනිකරම වගකියන්න ඕනේ... එයා ළඟ කමල් සිල්වා කියලා මිනිහෙක් ඉන්නවා... ඒ අය දැනුවත්ව තමයි මේ දේවල් වෙන්නේ. ඒ ගොල්ලෝ දැනුවත්ව තමයි මේ දේවල් කරන්නේ... ඒගොල්ලෝ පිටිපස්සේ කවුරු ඉන්නවා ද කියලා මම දන්නේ නැහැ. කමල් සිල්වා කියන්නේ එයා තමන්ගේ පොලිස් ජීවිතය පුරාවටම දේශපාලනය කරපු එක්කෙනෙක්. ලතීෆ් ගැන අපි එහෙම දෙයක් අහලා තිබ්බේ නැහැ. නමුත් එයා කමල් සිල්වා එක්ක එකතුවෙලා මේවා කරන කොට, මට එයා ගැනත් ප‍්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ලතීෆ් යටතේ වැඩ කරන, කමල් ප‍්‍රනාන්දු කියලා ඒ.එස්.පී. කෙනෙක් ඉන්නවා. තව ඒ.එස්.පී කෙනෙක් ඉන්නවා, එයාගේ නම මහේෂ් ප‍්‍රනාන්දු. මේ මිනිස්සු ඔක්කොම මේවාට වග කියන්න ඕනේ. මා ළඟ ඉන්න මිනිස්සු එහෙම කරා නම් මම ඒවාට ඉඩ තියෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය - ඔබ කැබිනට් ඇමැතිවරයෙක්. මේ ගැන ඉහළ තනතුරුධාරීන්ගේ අවධානය යොමු කරවන්න ඔබට අවස්ථාව තිබෙනවා...

පිළිතුර - මම මේ ගැන අගමැතිතුමාට කිව්වා. ඒ ගැන මම ලිඛිතවම අගමැතිතුමාට දැනුම් දුන්නා. නීතිය සහ සාමය ඇමැතිතුමාටත් කිව්වා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ සී.අයි.ඞී. පරීක්ෂණයක් තියන්න කියලා. මට සී.අයි.ඞී.එකේ ඉන්න අය ගැන විශ්වාසයක් තියෙනවා. පොලිසියේ ඉන්න මිනිහෙක් වරදක් කළොත් ඒ අය රාජකාරිය කරනවා. අගමැතිතුමා මට දැනුම් දුන්නේ, මුලින්ම කමිටුවක් දාලා පරීක්ෂණයක් කරනවා කියලා. ඊට පස්සේ කමිටු තීරණය අනුව සී.අයි.ඞී. එකට පරීක්ෂණය සඳහා යොමු කරනවා කිව්වා. ඒ අහිංසක තරුණයන් වෙනුවෙන් මම මැදිහත් වෙලා මානව හිමිකම් නඩුවක් කියනවා.

ප‍්‍රශ්නය - ඔබ මේ ගැන ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද...?

පිළිතුර - මම ඒ ගැන ජනාධිපතිතුමාට කිව්වේ නැහැ... අගමැතිතුමාට කිව්වා... ඇමැතිතුමාට කිව්වා. ඒ දෙන්නට විතරක් මේ ගැන කිව්වාම ඇති කියලා මම හිතුවා.

ප‍්‍රශ්නය - ජනාධිපතිතුමා සමග ඔබේ යම් විරසකයක් තියෙනවද...?

පිළිතුර - විරසකයක් නැහැ. නීතිය සහ සාමය අමාත්‍යාංශය මට ලබාදීම එතුමා ප‍්‍රතික්ෂේප කළාට පස්සෙ, මට එතුමා ගැන යම් කලකිරීමක් ඇතිවුණා. එතුමා ගැන ඊට කලින් මගේ විශාල භක්තියක් තිබුණා. පුද්ගලිකව ළඟින්ම ඇසුරු කළා. එහෙම ඇසුරු කරද්දීත් මෙහෙම කරපු නිසා මට එතුමා ගැන යම් කිසි කලකිරීමක් ඇතිවුණා. රාජකාරි මට්ටමෙන් මම එතුමා සමග වැඩ කරනවා. අපි කරපු කැපකිරීම්වල හැටියට එතුමා එසේ නොකළ යුතුව තිබුණා කියන එකයි මගේ මතය.


 සාකච්ඡ කළේ : මනෝජ් අබයදීර

19,785 Viewers

No comments