එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට යලි ඇමතිධුරය ලබාදෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
 ' සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග  සඳහන් කරන ආකාරයට පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව දැනුවත් කර ඇති අතර යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමටත් කොළඹ දිස්ත්‍රීක්කය තුල එක්සත් ජාතික පක්ෂයේ බලය අඛණ්ඩව පවත්වා ගේනයාමටත් විශාල කාර්ය භාරයක් ඉටුකළ රවී කරුණානායක මහතා මේ මොහොතේ ඇමති ධුරයෙන් ඉවත්කර තැබීම පක්ෂයට බරපතල ලෙස අවාසිදායක බවද එහිදී  එම මන්ත්‍රීවරුන් පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් SL News Web වෙත අදහස් දැක්වූ එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ, පක්ෂයේ බල කේන්ද්‍රය වන කොළඹට එජාප ප්‍රබල ඇමතිවරයකු නොමැතිවීම බරපතල අඩුවක් බවත් විපක්ෂය එල්ල කළ චෝදනා සියල්ලෙන් රවී මන්ත්‍රීවරයා නිදොස්ව ඇති බැවින් අමාත්‍යධුරයක් ලබාදීමේ ගැටළුවක් නොමැති බවය.
එසේම රවී කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (09) අගමැතිවරයා හමුවී තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇතැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
තවද  රවී කරුණානායක මන්ත්‍රීවරයා  පසුගිය අගෝස්තු මාසයේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූයේ, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසමේ සඳහන් කාරණයක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන තෙක් මාස දෙක තුනකට ඔහුට ඇමතිකමෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරෝධයක් පලව නැති බැවින් අමාත්‍යධුරයක් ලබාදීමේ කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවද ඔහු පැවසීය.
14,432 Viewers