රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (3) දින පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
මෙම වැඩවර්ජනයට එක් හේතුවක් ලෙස  ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා සියයට 12 ක්ව  පැවැති වැට් බද්ද සියයට 24 දක්වා වැඩි කර ඇති බව නමුත් වැට් බද්ද සියයට 24 දක්වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000 කට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බවත් මාසික ආදායම රුපියල් 350,000 අඩු ආදායම් සහිත වෛද්‍යවරුන්ගෙන් අයකරගනු ලබන්නේ පෙර පැවැති සියයට 12 ක බද්ද පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව සෞඛ්‍ය  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන   සමස්ත වෛද්‍යවරුන්ගෙන්ම සියයට 24 ක වැට් බද්දක් අය කරනු ලබන ප්‍රකාශය පදනම් විරහිත අසත්‍යක් බවය.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයට අදාලව සඳහන් කරන තවත් හේතුවක් වන  පෞද්ගලික රෝහල් සදහා පනවා ඇති සියයට 15 ක වැට් බද්ද ගැන කාරණය  පසුගිය මාසයේ සිට ඉවත්කර ඇති බවත් ඒ අනුව  පෞද්ගලික රෝහල් සදහා පනවා ඇති වැට් බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. 
වෛද්‍ය වර්ජනය අසාධාරණයි : සුව ඇමති කරුණු දක්වයි !
මෙසේ පෞද්ගලික රෝහල් සදහා වූ වැට් බද්ද ඉවත් කර ඇති බව සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ වෘත්තීය සමිතියක් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවත්  පෞද්ගලික රෝහල් මත පනවා ඇති වැට් බද්ද සම්පුර්ණයෙන්ම මෙම රජය විසින් ඉවත් කර ඇති නිසා කිසිදු ආකාරයකට රෝගීන්ගෙන් බදු අය නොකරන බව මතක් කර දිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එම නිසා මෙම වැඩවර්ජනය කිසිදු ආකාරයක ජනතාව ගැන සිතා කරන සාධාරණ වර්ජනයක් නොවන බවත් ඉදිරියේදී රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදු ඉවත් කිරිමට ද තීරණය කර ඇති අතර  මෙසේ සාමාන්‍ය ජනතාවට බලපාන වක්‍ර බදු ඉවත් කරන්නේ අධි ආදායම්ලාභීන්ගෙන් බදු අයකර ගනිමින් බව ද අමාත්‍ය රාජිත සේනාරත්න  වැඩිදුරටත් පවසයි.
15,432 Viewers