Header Ads

test

පදක්කම් සොයා සටනට බහින 12 දෙනාගේ කල්ලිය


මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නගරය  කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන 18 වැනි  ආසියානු ක්‍රීඩා  උළෙලට ශ්‍රී ලංකාව රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කරමින් ක්‍රීඩාවන් 28ක් සඳහා ක්‍රීක ක්‍රීඩිකාවන්  හා නිලධාරීන් 250ක කණ්ඩායමක් සහභාගි වී සිටිති.
මේ වනවිට එම ක්‍රීඩා උළෙ‍ලේ පළමු සතිය අවසන්වී ඇත. එම සතිය  තුළ කිසිදු පදක්කමක් දිනාගැනීමට  ශ්‍රී ලංකාව සමත් නොවීය.
ක්‍රීඩාවන් 28 කට ශ්‍රී ලංකාව ඉදිරිපත්ව සිටියද  බොහෝ දෙනකු අනුමාන කරන්නේ ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගැනීමේ ඉඩප්‍රස්ථාව ඇත්තේ මලල ක්‍රීඩාවෙන් හා බොක්සිං ක්‍රීඩාවෙන් බවය.
ඉතිහාසය දෙස ආපසු හැරීත බලන විට ක්‍රීඩ උළෙල ආරම්භ වූ 1951 වසරේ සිට මතෛක් පවත්වා ඇති තරගාවලි 17 තුළ ශ්‍රී ලංකාව දිනාගෙන ඇත්තේ පදක්කම් 44ක් බව දක්වා ඇත. ඊට   ඇතුළත්වන  රන් පදක්කම් සංඛ්‍යාව 11 වන අතර  රිදී පදක්කම් 10ක් ද ලෝකඩ පදක්කම් 23ක් ද ඒ අතර වේ.
එහිදී රන්පදක්කම් 11ම දිනාගෙන ඇත්තේ මලල ක්‍රීඩාවෙන් ජීවන්  තවමත් නොබිඳී පවතින වාර්තා දෙකක් ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ද මලල කීංඩාවෙන් වීම කැපී පෙනේ.
ඒ හැරුණු විට මේතාක් දිනා ඇති පදක්කම් 44න් 27ක් හිමිව ඇත්තේ මලල ක්‍රීඩාවටය. ඉතිරි පදක්කම් 17න්   5ක් බොක්සිං ක්‍රීඩාව හිමිකරගෙන ඇත.
එවිට ඉතිරි පදක්කම් 12 බෙදි ගොස් ඇත්තේ ටෙනිස්, ගොල්ෆ්, පාපැදි, රුවල් ඔරු හා ක්‍රිකට් යන ක්‍රිඩාවන්ටය.
කෙසේ වුවත් බොක්සිං, බැඩ්මින්ටන්,  වුෂු, ජූඩෝ හා මල්ලව‍පොර වැනි ක්‍රීඩාවන්හිදී තෙවැනි ස්ථාන දෙකකට ලෝකඩ පදක්කම් ප්‍රදානය කරන බැවින් පදක්කමක් දිනා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිව ඇතත් ශ්‍රී ලංකාව එම අවස්ථාවෙන්ද ප්‍රයෝජන ගන්ට සමත් වී නැති බව පැහැදිලිය.
තවද ශ්‍රී ලංකාව 1982, 1996 සහ  2010 යන වර්ෂයන්හි පවත්වන ලද ආසියානු ක්‍රීඩා  උළෙලවලදී එක පදක්කමක් හෝ දිනා ගන්නට සමත් නොවූ අතර පසුගිය 2014 තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගෙන තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස එක්කර තිබූ බැවින් බව ද සිහිපත් කළ යුතුය.
මීළඟට අප සැලකිල්ලට ගත යුත්තේ  2016 වසරේ රටවල් 8ක සහභාගිත්වයෙන් ඉන්දියාවේදී පවත්වන ලද 12 වැනි ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව අත්පත් කරගන්නා ලද ප්‍රතිඵල පිළිබඳවය.
එහිදී ශ්‍රී ලංකාව රන් 25, රිදී 63ක් හා ලෝකඩ 98ක් සහිතව පදක්කම් 186ක් දිනා  දෙවැනි ස්ථානයට පත්ව සිටියේය.
එහිදී ද ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිවූයේ මලල ක්‍රීඩාවෙනි. එය සංඛ්‍යාත්මකව සලකන විට රන් 9ක්, රිදී 10ක් හා ලෝකඩ 16ක් වශයෙන් පදක්කම්  35කි. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් හැරුණු විට රන් හෝ රිදී පදක්කම් දිනාගැනීමට සමත්ව තිබුණේ පිහිනුම්, වොලිබෝල්, පාපැදි, හා කාන්තා මල්ල‍පොර ආදී අතළොස්සකින් පමණි.
රටවල් 8ක සහභාගිත්වය ඇතිව පවත්වන  දකුණු ආසියා ක්‍රීඩා උළෙලට කලාපයේ බලවතා වන ඉන්දියාව බොහෝ විට සහභාගි කරවන්නේ  ඔවුන්ගේ තරු පන්තියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවට දෙවන පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව ද සිහිපත් කළ යුතුය.
ආසියානු මට්ටමේ අත්දැකීම් ලබාදිය යුත්තේ දකුණු ආසියානු කලාපයේ දී රන් රදී පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය. ජාතික ඔලිම්පික් කමිටුව මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ද එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම්  මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට  ශ්‍රී ලංකාවෙන් සහභාගි කළ යුත්තේ සියයකට නොඅඩු පිරිසකි.
එසේ කළේ නම් ශක්තිමත් ආර්ථික පසුබිමක් නැති ශ්‍රී ලංකාවට දරා ගැනීම අපහසු නැත. එහෙත් කාලයක් තිස්සේ  ජාතික ඔලිම්පික් කමිටුවේ  නිලතලවල රස බලන නිලධාරීන්ගේ අවශ්‍යතාව වන තමන් බලයට පත්කිරීමට උපකාර කළ සංගම්වලට  සැලකීමේ පිළිවෙත ක්‍රියාත්මක කරන තුරු දරාගත නොහැකි මූල්‍ය අපරාධයක් සිදුවීම වළක්වා ගත නොහැකිය.
ඒ අනුව සුදුස්සන් වෙනුවට හිතවතුන්ට සලකන ලෝකයේ එකම ඔලිම්පික් කමිටුව ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පැවසීම බැහැර කළ නොහැකි චෝදනාවකි.
මේවන විට කලක සිටම වූෂු ක්‍රීඩාවෙන් අපට වඩා බොහෝ පසුපසින් සිටි ඇෆ්ගනිස්තානය ද ඉන්දුනීසියාවේ දී  වූෂු ක්‍රීඩාව ඔස්සේ පදක්කම් සටහනට එක්වී අවසන්ය.  එහෙත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි වූෂු තරගාවලියට එක්ව සිටින  ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාව එම අවස්ථාව ලබා දී ඇත්තේ ද සදාචාරාත්මක ක්‍රමවලින් බැහැර වෙමින් තේරීම් තරගයක් ද නොපවත්වමින් බව වාර්තා වෙයි.
එවැනි අක්‍රමිකතා සිදුවන්නේ හිතවත්කම්වලට සැලකීම ජාතික ප්‍රතිපත්තිය බවට පත්ව ඇති නිසාය.
කෙසේ වුවත් පඩික්කම් පුරවා අවමානයට ලක්වීමේ අවධානමෙන් ගැලවීමට කිසියම් හෝ අවස්ථාවක් ලබාගත හැකි මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (25) ආරම්භ වූ අතර එම තරග 30 දක්වා පැවැත්වෙයි. එසේම බොක්සිං තරග ද සිකුරාදා (24)  ආරම්භ වූ අතර එම තරග අවසන් වන්නේ 31 දාය.

9,235 Viewers

No comments