Header Ads

test

ජන හිතසුව පිණිස සටන් කළ සුවපති




රාජිත සේනාරත්න යනු මෙරට දේශපාලනයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ, පරිණත දේශපාලනඥයෙකි. රාජිත සටන්කාමී දේශපාලනඥයෙකි. එම සටන්කාමීත්වය මී මුත්තන්ගෙන් ඔහුට උරුම වූවකි.

මෙරට නිදහස් සටනට පණ දුන් "නම්බුකාර හැළඹ" රාජිතගේ මීමුත්තාය. ඉංග්‍රීසීන්ට විරුද්ධව 1848දී මාතලේ කැරැල්ල මෙහෙයවූ ගොංගාලේගොඩ බණ්ඩා සමඟ උරෙනුර ගැටෙමින් සටනට දායක වූ නම්බුකාර හැළඹ දුටු තැන වෙඩි තබන ලෙස එදා ඉංග්‍රීසි ආණ්ඩුව නියම කළේය. ඔහුට දිවි බේරාගැනීම උදෙසා දකුණේ බෙන්තර ප්‍රදේශයට පලා එන්නට සිදුවිණි.

බටහිර වෛද්‍යවරයකු වූ ධර්මපාල සේනාරත්න හා විමලා බියටි්‍රස් සේනාරත්න යුවළට දාව එම පවුලේ වැඩිමහල් දරුවා 1950 මැයි 29දා කොළඹදී උපන්නේය. නාලන්දා විදුහලේ උගත් වෛද්‍ය ධර්මපාල සිංහල, සිංහල සාහිත්‍ය, ඉතිහාසය හා යුරෝපා ඉතිහාසය පිළිබඳ සුවිශාල දැනුමක් තිබූ උගතකු විය. එමෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය හා ලතින් භාෂාව පිළිබ¼ද ප්‍රවීණයකුද විය.

වෛද්‍ය ධර්මපාල සිය දෙටු පුතුට රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න යන තම තැබුවේය. රාජිත යන නම තබන ලද්දේ පාලි ශබ්ද කෝෂය ඇසුරෙනි; ජයග්‍රාහී යන අරුතිනි.
රාජිත මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ක්‍රිස්තු දේව විදුහලෙනි. අලුත්ගම දර්ගා නගරයේ රෝහල භාරව ඔහුගේ පියා පැමිණීමත් සමඟ 1958 ජනවාරියේ රාජිත කොළඹ නාලන්දා විදුහලේ තුන්වැනි ශේ්‍රණියට ඇතුළත් කෙරිණි. ඩී.එස්. පොන්නම්පෙරුම සීයාගේ නිවෙසේ නතර වී නාලන්දාවට ගියද ටික දිනකින් සීයා හෘදයාබාධයකින් මිය ගියේය. එහෙත් රාජිත එම නිවෙසේම විසුවේය. 1962දී රාජිත නාලන්දා විදුහලේ නේවාසිකාගාරයේ නතර විය. නාලන්දාවේ 9 වැනි පන්තියේ ඔහුගේ ගුරුවරයා වූ ඒ.ටී. ආරියරත්න සර්වෝදය ආරම්භ කළේ ඒ කාලයේය.

ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොළඹ ආනන්ද විදුහලට ඇතුළු කළේ 1966 දීය. බැසිල් රාජපක්ෂ හා බන්දුල පද්මකුමාර ආනන්දයේ ඔහුගේ කුලුපග මිතුරන් කිහිපදෙනෙක් අතර විය.

ආනන්ද විදුහල රාජිතගේ සටන්කාමී දේශපාලන ජීවිතයේ ආරම්භය සඳහා බීජ වැපුරුණු "කෙත" බව කීම අතිශයෝක්තියක් නොවේ. 1968දී ආනන්දයෙන් බීට් ෂෝ එකක් සංවිධාන කෙරිණි. රාජිත ඇතුළු ශිෂ්‍ය පිරිසක් ඊට විරුද්ධ වූහ. එම සිසු පිරිසට නායකත්වය දෙමින් රාජිත මුලින්ම පාසල් රැස්වීමක් සංවිධාන කළේ, සියලුම උසස් පෙළ සිසුන් ඊට සම්බන්ධ කරගත්තේය. රාජිතට ඒ සඳහා තිරය පසුබිමේ සිට බැසිල් රාජපක්ෂ සියලු සහයෝගය ලබා දුන්නේය. අවසානයේදී බීට් ෂෝ එක නවතා දැමීමට සංවිධායකයන්ට සිදුවිය. එම සිදුවීම වන විට ආනන්ද විදුහල්පති වූයේ කර්නල්
ජී. ඩබ්ලිව්. රාජපක්‍ෂය.

ඊළඟ වසරේද බීට් ෂෝ එකට සංවිධායකයන් උත්සාහ කළද ඒ වන විට දන්ත වෛද්‍ය පීඨයට තේරී සිටි රාජිත සටන ඇරැඹුවේය. කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද ඔහුගේ සහායට ආවේය. ශිෂ්‍ය සංගමයේ බලය හිමිව සිටි එම සමාජ තලයේ ජනදින පත්‍රය රාජිතලාගේ සටනට ප්‍රචාරයක් දුන්නේය. එවරද බීට් ෂෝ නතර කළ හැකි විය.
රාජිතගේ පියා කොළඹ මහ රෝහලට මාරු විය. ඉන්පසු රාජිත මවුපියන් සමඟ නුගේගොඩ මහ ගෙදරට පැමිණ පදිංචි විය.

රාජිත උසස් පෙළ සමත් වුණේ 1969දීය. හෙතෙම 1970 පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී රාජිත දේශපාලනයට සම්බන්ධ විය. ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති ලබුදුවේ සිරිධම්ම නාහිමි ළඟින්ම ඇසුරු කරන්නටද රාජිතට අවස්ථාව උදාවිය.

1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ පේරාදෙණිය දන්ත පීඨයේ රාජා විජේතුංග එම පෙරමුණට සම්බන්ධව සිටියේය. ඔහු කැරැල්ලට සිර භාරයට ගත් පසු රාජිත එම පීඨයේ එකම වාමාංශික ශිෂ්‍යයා බවට පත් විය. එවකට බොහෝ අය රාජිතද ජවිපෙ සාමාජිකයකු බවට සැක කළහ. ඒ ජවිපෙට පිළිතුරු දිය යුත්තේ දේශපාලනික වශයෙන් මිස වෙනත් ආකාරයකට නොවන බව රාජිත හැම විටම නොබියව ප්‍රකාශ කිරීම හේතුවෙනි. එහෙත් මහා ශිෂ්‍ය සංගමය රාජිත ආරක්ෂා කළේය.

හිල්ඩා ඔබේසේකර ශාලාවේ සෝෂල් එකට වැය කරන මුදල් දුප්පත් සිසුන්ට ලබාදිය යුතු යැයි සටන් කර පෙත්සම් අස්සන් කළ විරෝධතාව සංවිධාන කළේ රාජිතය. අනෙකුත් ශාලාවල

සෝෂල් විරෝධයට ජවිපෙ නායකත්වයද තිබිණි. ඒ නිසා ජවිපෙ රාජිතට උදව්වක් කර තිබූ බව ඔහු දැන ගත්තේ පසු කලෙකය.

1971 කැරැල්ලෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ එස්.ඒ. වික්‍රමසිංහ කණ්ඩායම සෑම විද්‍යාලයකම ශිෂ්‍ය සංගම් බලය තහවුරු කර ගනිද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයට රාජිත තෝරා ගත්තේය. දේශ විමුක්ති ශිෂ්‍ය සංගමය නමින් හැඳින්වූ එය රාජිත රැඩිකල් ශිෂ්‍ය ව්‍යාපාරයක් බවට පත් කළේය. 1972 වසර අවසන් වන විට රාජිත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේකම්වරයා බවට පත්විය.

1972දී රාජිතට සුනේත්‍රා බණ්ඩාරනායක හා චන්ද්‍රිකා බණ්ඩාරනායක හමු විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජපානයෙන් ලද ආරාධනාවකට ඇය නියෝජනය කරමින් ජපානයට යන ලෙස සුනේත්‍රා බණ්ඩාරනායක රාජිතට දිනක් දැනුම් දුන්නේය. ඒ අනුව නිපොන් මාරු නෞකාවෙන් මැලේසියාව, සිංගප්පූරුව හරහා ජපානයට ගිය රාජිත ශ්‍රී ලංකා අගමැතිනිය වෙනුවෙන් රැස්වීම්වලටද සහභාගි විය.

රාජිතට සිය දේශපාලන ගුරුවරයා වූ ලංකා සම සමාජ පක්ෂයේ න්‍යායාචාර්යවරයකු වූ මැක්සල් පෙරේරා හමුවුණේ පොල්ගම්පළ ඊ.ජේ. ද සිල්වාගේ නිවෙසේ නතරව සිටියදීය. ඔහුගේ ආභාසයෙන් මාක්ස්වාදයට ආකර්ෂණය වූ රාජිත මාක්ස්වාදය ගැඹුරින් හැදෑරීම ඇරැඹුවේය.

සුනේත්‍රා බණ්ඩාරනායකගේ සැමියා වූ කුමාර් රූපසිංහ හා රාජිත හමුවීම "ජනවේගය" කණ්ඩායමේ ආරම්භය විය.

1974 දී රාජිත දන්ත වෛද්‍ය පීඨයේ අවසන් විභාගය සමත්ව කොළඹට පැමිණියේය. රැඩිකල් වෛද්‍යවරයකු එන බවට පැතිර ගිය ආරංචි නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඔහු උඩුගමට මාරු කළේය. වාමාංශික වෘත්තීය සමිති නායක පියදාස ආදිපොළ එම මාරුවීම අවලංගු කර දුන්නේය.

1975දී රජයේ දන්ත වෛද්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස වැඩි ඡන්ද විශාල ගණනකින් ජය ගත්තේය.

වෛද්‍ය හා දන්ත වෛද්‍ය වැටුප සමාන කරන ලෙස ඉල්ලා 1976දී රාජිතගේ දායකත්වයෙන් ආරම්භ කළ පළමු වැඩ වර්ජනය හෙතෙම ජය ගත්තේය. දන්ත වෛද්‍යවරුන් අද භුක්ති විඳින වෛද්‍ය නිල නිවාස, පරිපාලන අයිතිය, නිල නිවාස අයිතිවාසිකම් දිනා දුන්නේ රාජිත විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත වෛද්‍ය සංගමය අතර අමනාපකම් නැති කළ රාජිත සංගම් දෙක මිත්‍ර කළේය.

1976දී රාජිත හිටපු ඇමැතිවරයකු වූ ටී.බී. සුබසිංහගේ නායකත්වයෙන් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බිහි කිරීමට මුල් විය. 1977දී ආචාර්ය
එන්.එම්. පෙරේරාගේ සමාජවාදී එක්සත් පෙරමුණට සම්බන්ධ වී රාජිත රට පුරා රැස්වීම් ඇමැතුවේ වාමාංශික නායකයන් සමඟිනි. 1972දී රාජිත නැවත ශ්‍රී ලනිපයට සම්බන්ධ වී ජනපති අපේක්ෂක

හෙක්ටර් කොබ්බෑකඩුවගේ ජයග්‍රහණය පතා රට පුරා රැස්වීම් ඇමැතුවේය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජය ලබා ජනාධිපති බවට පත් විය.
රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ට්ර්ර්ණීඒ) සමඟ එක්වී ජේ.ආර්. ජයවර්ධන රජය සමඟ සටන් කොට වෛද්‍යවරුන්ට තීරු බදු රහිත වාහන පර්මිට්, වෛද්‍ය පරිපාලන අයිතිවාසිකම් දිනා දුන් අතර රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ වූ නමුත් වෘත්තීය සමිති නායකයා ලෙස එම අයිතිය සඳහා සටන් කර වෛද්‍යවරුන්ට එය හිමිකර දුන්නේය.

1987 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එක්වුණේය. බඳගිරියේ මේධානන්ද හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය සමඟ එක්ව රට පුරා සටන් මෙහෙයවූ රාජිත එම සටන ජයග්‍රාහීව අවසන් කළේය.

1987දී විජය කුමාරතුංග නායකත්වය දුන් මහජන පක්ෂය බිහිවිය. ජාතික ප්‍රශ්නයට විජය ලබාදුන් විසඳුම සම්බන්ධයෙන් ඇතිවූ දැඩි කැමැත්ත හේතුකොටගෙන පසුව රාජිත එම පක්ෂයට එක් වුණේය.

විජය කුමාරතුංගගේ හදිසි මරණය රාජිතගේ ජීවිතය වෙනස් කළේය. මරණයෙන් සසල වූ රාජිත දින කිහිපයක්ම නිරාහාරව ගත කළේය. පසුව ඔසී අබේගුණසේකර සමඟ සම්බන්ධ වූ රාජිතට ග්‍රෑන්ඩ්පාස් මංගල රැලියේදී ජවිපෙ ගේ‍රනේඩ් බෝම්බ ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය. බරපතළ තුවාල ලද රාජිතගේ ජීවිතය බේරුණේ හාස්කමකින් මෙනි. ඉවත් කළ නොහැකි බෝම්බ කැබලි ගණනක් රාජිතගේ සිරුරේ තවමත් තිබේ.

විජයගේ ඝාතනයෙන් පසුව විදෙස්ගතව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙරටට ගෙන ආවේ රෙජිනෝල්ඩ් කුරේ හා සිසිල් බණ්ඩාර සමඟ එක්වී දැඩි පෙරැත්ත කිරීමකින් පසුවය. පසුව චන්ද්‍රිකා ශ්‍රී ලනිපයට එක් වූවාය. ප්‍රගතිශීලී පුළුල් පෙරමුණක් ගොඩනැඟීමට තම මතය වෙනුවෙන් රාජිත දිගටම සටන් කළේය. මහින්ද රාජපක්ෂ සමඟ පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් සංවිධානය කරමින් ඒ සඳහා නායකත්වය ලබා දුන්නේය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන්නැයි කළ ආරාධනා ප්‍රතික්ෂේප කළේය. ප්‍රේමදාස ජනපතිගේ මරණයෙන් පසුව ඩී.බී. විජේතුංග ජනාධිපති හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇරැයුමෙන් රාජිත එජාපයට එක් විය. රාජිත හා ඩී.බී. විජේතුංග ජනාධිපති අතර ඉතා සමීප සබඳතාවක් ඇති විය.

1994 ඔක්තෝබර් 23 ජනාධිපතිවරණය තොටළඟ රැස්වීමේදී එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයට ලක්වූ රාජිත එවර දිවි ගලවා ගත්තේ හාස්කමකිනි.
එම රැස්වීමේ පළමු පේළියේ සිටි අයගෙන් දිවි බේරුණේ රාජිතගේ පමණි. එම ප්‍රහාරයේ බෝම්බ කැබැල්ලක් රාජිතගේ වම් උරහිසේ තවමත් ඇත.

1994දී එජාපයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රාජිත 1998 කළුතර එජාප ආසන සංවිධායක වී 2000දී කළුතර ආසනය දිනා දුන්නේ 1977ට පසුවය. 2001දී නැවත ජයගත් හෙතෙම එජාප රජයේ ඉඩම් ඇමැති ධුරයට පත් විය. ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගෙන එමින් රජයේ ඉඩම් විකිණීමට තහනම් කළේය.

2007දී රාජිත මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක්වුණේ යුද්ධය ජයග්‍රහණය කරවීම සඳහාය. යුද්ධය ජයගත් පසු රට වෙනස් කළ යුතු බව රාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දුන්නේය. රජය පරාජයට පත් කර යුද ජයග්‍රහණය නවතාලන්නට ඇතැමුන් උත්සාහ කරද්දී ආණ්ඩුවට සහයෝගය දෙන්නට රාජිත පෙරමුණ ගත්තේය.
යුද්ධ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් කළ යුතු බව රාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දුන්නේය.

ධර්මාශෝක හා නෙල්සන් මැන්ඩෙලා චරිත උදාහරණයට ගත් රාජිත, මහින්දට නොබෙල් ත්‍යාගය දිනා දෙන්නට ඒ සඳහා අයැදුම් පත්‍රය පවා මහින්ද රාජපක්ෂට ගෙනැවිත් දුන්නේය.

එහෙත් අවසානයේ මහින්ද ඒ ගමන් මඟෙන් ඉවත් වන විට කලකිරුණු රාජිත අවසානයේ මහින්ද රාජපක්ෂගෙන් මෙන්ම රජයෙන්ද ඉවත්ව යහපාලන රජය පිහිටුවන්නට පෙරමුණ ගනිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව 2015 ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පෙරමුණු රජය පිහිටුවා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස පත්විය.

යළිත් 2015 අගෝස්තු 15දා එක්සත් ජාතික පෙරමුණෙන්් තරග කර ජය ගනිමින් යළිත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස පත් විය. නිදහස් සෞඛ්‍ය සේවය සැබෑ නිදහසේ සේවාවක් බවට පත් කිරීම පිණිස රාජිත සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ගනු ලැබූ පියවර රැසකි. සිය ගුරු අභාවප්‍රාප්ත මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල අඩු කිරීම, හෘද රෝග සඳහා අවශ්‍ය ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම, ඒවායේ මිල අඩු කිරීම, බෝ නොවන රෝග වැළැක්වීමට ගන්නා ලද පියවර, ජීවිතාන්තය දක්වා පිළිකා රෝගීන්ට ඔෟෂධ ලබාදීම පියවර කිහිපයක් වෙයි.

1978දී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න සමඟ විවාහ වූ රාජිත පුතුන් දෙදෙනකුගේ පියෙකි. චතුර හා එක්සත් රාජිත හා සුජාතාගේ පුතුන් දෙදෙනාය.
49,264 Viewers

No comments