Header Ads

test

ඇමැතිවරු දෙතුන්දෙනෙකුට එකතුවෙලා සාකච්ඡා කරන්න තහනම්ද ?


ප්‍රශ්නය : 2015 බලයට ඇවිත් යහපාලන ආණ්ඩුව හදනකොට මේ ආණ්ඩුව රටට කිව්වේ අපි නීතිය, සාමය ආරක්‍ෂා කරනවා කියායි. නීතිය ඉටු කරන කිසිම රාජ්‍ය ආයතනයකට බලපෑම් නොකරන බවයි. කොමිෂන් සභා පිහිටුවලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා කිව්වා. අත පෙවීම් නැතිව නිදහසේ රාජ්‍ය සේවකයන්ට වැඩ කර ගෙන යෑමට ඉඩ දෙනවා කිව්වා. නමුත් බලයට ඇවිත් ටික දිනකින් ඒ සියලු කතා බිඳිමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කිරීමට මේ ආණ්ඩුව පෙලඹුණා. එහෙම වුණේ ඇයි ?
පිළිතුර : මම කිසිදු ආකාරයකින් දේශපාලන බලපෑමක් කිසිදු තැනකට කරන්නේ නැහැ. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ටත් නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස පොලිසියටත් කිසිම ඇඟිලි ගැසීමක් කරන්නේ නැහැ. පොලිසියේ අයගේ මාරුවීම්, අනෙකුත් රාජ්‍ය සේවක මාරුවීම්, ඒ අයගේ උසස් වීම් සියල්ල අද ස්වාධීන කොමිෂන් සභා හරහා තමයි කරන්නේ. මම කොයිම විටෙකත් මේ ආයතනවලට බලපෑම් කරලා හෝ එහෙම නැත්නම් වෙනත් කිසිදු ආකාරයකින් කිසිදු දෙයකින්වත් කිසිවක් කරලා නැහැ.
ප්‍රශ්නය : ඔබ ගැන නොවෙයි ඔබේ ආණ්ඩුව ගැනයි මම අහන්නේ ?
පිළිතුර : අපි කිසිම ආකාරයකින් කිසිම බලපෑමක් කරලා නැහැ.
ප්‍රශ්නය : මොකද නැත්තේ, අල්ලස් කොමිසමේ ප්‍රධානියාව ඉවත් කරන්නේ අදාළ නීතිමය කටයුතු නිසි ලෙස කරන කොට. නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැතිතුමා පොලිස්පතිතුමාට දුරකථන ඇමැතුම් දීලා නීතිය නැමුවා. පොලිස්පතිතුමාත් ‘යර්ස් සර්, හා සර්, කරන්නම් සර්’ කියලා උත්තර දෙනවා. මේවා තමයි බලපෑම්. ඔබ කොපමණ නැහැ කීවත් දේශපාලන අතපෙවීම් සෘජුව සිදුවෙලා තියෙනවා නේද ?
පිළිතුර : ඔව්. එහෙම ඇඟිලි ගැසීම් දැන් නැහැ. මට කියන්න පුළුවන් මම ගැන විතරයි. අතීතයේ සිදුවූ සිද්ධීන් ගැන මට ප්‍රකාශයක් කරන්න බැහැ. හිටපු ඇමැති සාගල රත්නායක ඇමැතිතුමත් නීතිය හා සාමය ඇමැතිකම බොහොම සාධාරණව ඉටු කරන්න කැප වුණා. අපි අද නිදහසේ වැඩ කරනවා. ඇඟිලි ගැසීම් නැහැ. මේ නිසා අපරාධ විභාග කිරීම, අපරාධ හසු කර ගැනීම, අපරාධවලට විරුද්ධව නීත්‍යනුකූලව වැඩ කිරීමට ඇති හැකියාව තියෙනවා. මීට පෙර අපරාධ හසුකර ගැනීම තිබුණේ සියයට 55යි. දැන් එය සියයට 85 දක්වා වැඩි වෙලා.
ප්‍රශ්නය : ඔබේ කාලසීමාවේද ඔහොම වුණේ ?
පිළිතුර : නැහැ. පසුගිය අවුරුදු තුනේම.
ප්‍රශ්නය : ඔය කියන විදියට හොරකම්, දූෂණ, වංචා ඇල්ලුව නම් අද ගොඩක් අය ඉන්න ඕන හිරේ ?
පිළිතුර : අපි වැරැදිකරුවන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රශ්නය : නීතිය නැමීමක් කරලම නැද්ද?
පිළිතුර : නැහැ. අපරාධ වැඩියෙන් අල්ලා ගන්න හැකි වුණේ නීතිය හරියට කරපු නිසයි.
ප්‍රශ්නය : පසුගිය සතියේ අඟහරුවාදා දිනෙක රාත්‍රි 10.30ට පමණ ඔබ, තලතා අතුකෝරල ඇමැතිතුමිය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පොලිස්පතිතුමා, නීතිපතිතුමා හමුවුණා නේද ?
පිළිතුර : අගමැතිතුමා අපව කැඳවනවා. අපි විවිධ සාකච්ඡා විවිධ තැන්වල තියෙනවා.
ප්‍රශ්නය : මේ කළේ රහස් සාකච්ඡාවක්ද?
පිළිතුර : නැහැ. අපි හදිසියේ හමු වෙනවා. සමහර විට අරලියගහ මැඳුරේ තියෙනවා. නැත්නම් අමාත්‍යාංශවල තියෙනවා.
ප්‍රශ්නය : මේ රහස් සමුළුව අගමැතිවරයා දැනුවත්ව වුණ දෙයක් කියානේ ඔබ කියන්නේ ?
පිළිතුර : අගමැතිතුමා අපව කැඳවනවා. එදා කියලා නැහැ. අපි සාකච්ඡා පවත්වනවා. නොයෙක් තැන්වල පහසු ස්ථානවල අපි සාකච්ඡා තියනවා. සමහර සාකච්ඡාවලට අගමැතිවරයාත් සම්බන්ධ වෙනවා.
ප්‍රශ්නය : නීතිමය කටයුතු හරියට සිදු වෙනවා නම් අධිකරණ කටයුතු හරියට සිදු වෙනවා නම් පොලිසියේ කාර්යභාරය හරියට සිදුවෙනවා නම් රෑ තිස්සේ රහස් සාකච්ඡා තියන්නේ ඇයි ?
පිළිතුර : අපි රැස්වෙලා රටේ සිදුවන යම් යම් ක්‍රියා ගැන, රටේ යම් යම් තීන්දු ගැන, රට බලාපොරොත්තු වන ඒ තීන්දු මොනවද කියා අපි සාකච්ඡා කරනවා. අපි පසුගිය අඟහරුවාදාත් සාකච්ඡා කළා. ඒක ජනාධිපතිතුමාත් එක්කත් තියෙනවා. අගමැතිතුමා එක්කත් තියෙනවා. එතැන රහස් සාකච්ඡා නැහැ.
ප්‍රශ්නය : ඔබ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමා නේද ?
පිළිතුර : ඔව්.
ප්‍රශ්නය : එහෙම නම් ඔබ ඇමැතිතුමා වුණා කියා නීතිපතිවරයාට වෙනත් පාර්ශ්වලට බලපෑම් කරන්න බැහැ. නමුත් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා මේ රහස් සාකච්ඡාවට ගෙනැවිත් බලපෑමක් නෙමෙයිද කළේ ?
පිළිතුර : නැහැ, මම විෂය භාර ඇමැතිවරයා ලෙස මේ රටේ සිදුවන අපරාධ ගැන, මත්කුඩු, පාතාල ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කරනවා. එතකොට අදාළ නිලධාරීන් හමු වෙන්න වෙනවා. එහෙම කියා එතැන බලපෑම් කරන්නේ නැහැ.
ප්‍රශ්නය : මේ හරහා නීතිය හා සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට සෘජු හා වක්‍ර ලෙස බලපෑමක් නේද ඔබලා කරන්නේ ?
පිළිතුර : කිසිසේත්ම නැහැ. අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා කියා බලපෑමක් කළා කියා කියන්න බැහැ. මම ඒ සාකච්ඡා කරන්නේ නීතිය හා සාමය ඇමැතිතුමා විදියට. තලතා ඇමැතිතුමිය අධිකරණය ඇමැතිතුමියට අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න වෙනවා. යම් යම් තීන්දුවලදී අදාළ ක්‍රියාකාරකම් ගත යුතු ආකාරය ගැන අපි සාකච්ඡා කරනවා. ආණ්ඩුව තීන්දු තීරණ ක්‍රියාත්මක කළත් දැන් බනිනවා, නැතත් බනිනවා. 2015 ජනවාරි 8 වැනිදා දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට අපි කටයුතු කරනවා.
ප්‍රශ්නය : මේ රහස් හමුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අවශ්‍ය නෑනේ. ඔබ සහ තලතා ඇමැතිතුමිය හමුවීම හරි කිව්වොත් සෞඛ්‍ය ඇමැතිවරයා මේ සාකච්ඡාවට පැමිණීම සැකයට තුඩු දෙනවා නේද ?
පිළිතුර : සෞඛ්‍ය ඇමැතිතුමා මගේ අමාත්‍යාංශයට ඇවිත් සාකච්ඡා කරනවා. මම ගිහින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමැතිතුමාගේ කාර්යාලට ගිහින් සාකච්ඡා කරනවා. ඇයි ඇමැතිවරු දෙන්නකුට තුන්දෙනකුට එකතුවෙලා සාකච්ඡා කරන්න තහනම්ද ? මම සෞඛ්‍ය ඇමැතිතුමා එක්ක ඕන තරම් සාකච්ඡා පවත්වලා තියෙනවා. අධිකරණ ඇමැතිතුමිය එක්කත් සාකච්ඡා පවත්වලා තියෙනවා. අනික ඔබට මතක නැතුව ඇති පහුගිය පෙබරවාරි මාසයේ දූෂණ හා වංචා සම්බන්ධව සිදුකරන විමර්ශන ක්‍රියාමාර්ග කඩිනම් කරන්න අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් අගමැතිතුමා පත් කලා. ඒ කමිටුවේ සභාපතිවරයා තමයි සෞඛ්‍ය ඇමැතිතුමා. එතුමා මේ සාකච්චා වලට අනිවාර්යෙන් සහභාගී වෙනවා. අනික කවුද සහභාගී වෙන්න ඕන කෙනා, නැති කෙනා තීරණය කරන්න ඔබට බැහැ.
ප්‍රශ්නය : 2019දී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන ගේමක් නේද මේ ගහන්නේ ?
පිළිතුර : නැහැ.
ප්‍රශ්නය : එ.ජා.ප.ය මේ වන විට දිනෙන් දින අප්‍රසාදයට පත් වෙනවා. ජනතාව නැවත ඉල්ලන්නේ මහින්ද පාලනයක්. මේ නිසා බලයට එනකොට කියපු නඩු – හබ කරළියට ගේන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ ?
පිළිතුර : මහින්ද රාජපක්‍ෂගේ නඩුව නෙවෙයි. යම් යම් දේවල් එතැන කතා කරන්නේ. ක්‍ෂේත්‍රයට අදාළ කරුණු එතැන අපි කතා කරනවා. කොහොමද අපි වර්ජන සම්බන්ධව කටයුතු කරන්නේ කියා. අද වැඩියෙන්ම වර්ජන කරන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ. සෞඛ්‍ය ඇමැතිතුමයි නීතිය හා සාමය ඇමැතිතුමයි සාකච්ඡා කළාට මොකද වෙන්නේ.
ප්‍රශ්නය : ඒ කියන්නේ වෛද්‍ය සිසු වර්ජනවලදී වර්ජන නවත්වන්න ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගහන්න කියලා සෞඛ්‍ය ඇමැතිවරයා ඔබෙන් ඉල්ලනවද ?
පිළිතුර : වෛද්‍ය සිසුන්ට ගහන්න කියලා මගෙන් ඉල්ලන්නේ නැහැ. වර්ජනවලදී අපි රාජ්‍ය දේපළ ආරක්‍ෂා කරන්න ඕන. ඒ වර්ජන නවත්වන්න දුරදිග නොයා කටයුතු කරන්න ඕන. ඒකට අපට අයිතියක් තියෙනවා. අනික මේ වර්ජන පිටුපස තියන බංකොලොත් දේශපාලන උවමනාව මොකක්ද කියලා ඔබ දන්නවනේ.
ප්‍රශ්නය : යහපාලන ප්‍රතිපත්ති හරියට කළා නම් කෝ අල්ලපු හොරු ?
පිළිතුර : දැනටමත් මේ රටේ සිදුවූ විශාල අපරාධ 25ක් පමණ මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් හා අපරාධ විමර්ශන අංශයෙන් විමර්ශන කළා. ඒවාට නඩු පවරලා තියෙනවා. නමුත් අපේ අධිකරණ ක්‍රියාවලිය කල් යනවා. සමහර විටෙක මාස 6 – 7 නඩු කල් දානවා. මේ නිසා සමහර අය ඇවිත් කියනවා නඩුකාරයෝ වෙනස් කරන්න ඕන කියලා. මේ විදියට නොයෙක් නොයෙක් ප්‍රශ්න තියෙනවා. මේ රටේ අධිකරණ ක්‍රියාවලියට අනුව නඩුවක් ඉවර වෙන්න අවුරුදු 7 -8ක් නැත්නම් අවුරුදු 10 – 15ක් ගත වෙනවා. නමුත් 78දී අපරාධ විනිශ්චය කොමිෂන් සභාව විශේෂ කොමිසමක් පත් කරලා දූෂණ, වංචා සහ ඉඩම් මංකොල්ලයට අධිකරණයක් පිහිටෙව්වා. ඒ වගේ සැරින් සැරේට විශේෂ අධිකරණ පිහිටුවලා තියෙනවා. එහෙම පිහිටුවලා තමයි යම් යම් තීන්දු තීරණ ගත්තේ. ඒ නිසා සිදුවී ඇති අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවලා නඩු අහන්න කටයුතු කරනවා.
ප්‍රශ්නය : දැන් ආණ්ඩුව කියන විදියට ලොකුම නඩුව තමයි මිග් ගනුදෙනුව. ඒ වෙනුවෙන් උදයංග වීරතුංගව ලංකාවට ගේන්න ඕන ගේනවා කිය කියා කතා කිව්වා. ඒත් තවම බැරිවෙලා. ඒ වගේම දාපු නඩු නිසි ක්‍රමවේදයකට කරලා නැහැ කියා චෝදනා තියෙනවා. බොරු චෝදනා කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දාපු නඩුවලට නේද මෙහෙම වෙන්නේ ?
පිළිතුර : අපි පටු අරමුණුවලින් කාටවත් නඩු දාලා නැහැ. උදයංග වීරතුංගටත් දැන් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. නමුත් යම් රටවල් අතර තියෙන ගිවිසුම් රටවල් අතර ක්‍රියාත්මක වීමේදී යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒවත් බේරගෙන තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයා කිව්වා උදයංගව ගෙනැල්ලා දෙන්නම් කියලා. අපි කියන්නේ ගෙනත් දෙන්න කියලා.
ප්‍රශ්නය : හිටපු ජනාධිපතිවරයා ඕන නම් උදයංගව ගෙනැල්ලා දෙන්නම් කියලා ප්‍රසිද්ධියේ කිව්ව නේද ?
පිළිතුර : ඔව්.
ප්‍රශ්නය : අර්ජුන මහේන්ද්‍රන්ට බැඳුම්කර වංචාවේ චෝදනා එල්ල වෙලා තියෙද්දී සිංගප්පූරු යෑමට අවසර දුන්නේ අගමැති. එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කිව්වේ මහේන්ද්‍රන් සිංගප්පූරු යන්නේ විවාහ උත්සවයකට, අවශ්‍ය ඕනෑම වෙලාවක ලංකාවට ගෙනැවිත් දෙන්න පුළුවන් කියා. නමුත් අගමැතිතුමාටත් අද වෙනකොට අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරිවෙලා ?
පිළිතුර : අගමැතිවරයා එම ප්‍රකාශය කළේ මීට වසරකට පෙර බැඳුම්කර කොමිසම ආරම්භ කරපු වෙලාවේ. නමුත් අද වෙනකොට මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය මොකක්ද කියා අපි උගන්වලා තියෙනවා අපි බලයේ ඉන්න කොටම.
ප්‍රශ්නය : මහ දවල් මහ බැංකුව කොල්ලකාලා රට පනින්න දුන්නේ ඒකද ?
පිළිතුර : නැහැ. අපි බලයේ ඉද්දි මේ රටේ ඉතිහාසයේ නොවුණු විදියට අපේ මහ බැංකුවේ සිදුවූ වංචාවක් ගැන විමර්ශනයක් කළා. අගමැතිතුමා කොමිසමට ගිහින් ප්‍රසිද්ධියේ සාක්ෂි දෙනවා. ඒ වගේම බැඳුම්කර වංචාවට අදාළ දෙන්නෙක් රිමන්ඩ් එකේ ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ ගිණුම් අත්හිටුවලා තියෙනවා. ඇලෝසියස් ලංකාවට ගේන්න රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. සන්ධානයේ අය එහෙම කළේ නෑනේ. ගෝඨාභය උසාවියට ගේනකොට අධිකරණ නියෝග අරගෙන නවතිනවා. තව සමහරු හැංගෙනවා. තවත් අයව උසාවි දවසට සර්පයෝ කනවා. මේ වගේ තත්ත්ව ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් එ.ජා.ප.ය මේ ප්‍රශ්නයේදී බොහෝම සාධාරණව කටයුතු කරලා තියෙනවා.
ප්‍රශ්නය : සමහර නඩු නිශ්ප්‍රභ වුණේ නඩුව ගොනු කිරීමේදී ඇති වූ දුර්වලතා නිසා. ඒකයි ඇත්ත කතාව ?
පිළිතුර : නැහැ. මේ අයට පුළුවන්නේ ඇවිත් සාක්‍ෂි දෙන්න. අගමැතිවරයා කළා වගේ.
ප්‍රශ්නය : එහෙනම් අර්ජුන මහේන්ද්‍රන්වත් ගෙන්වලා මහ බැංකු හොරකම විසඳන්න බැරි ඇයි ? අගමැතිවරයා ඔහුට රටින් යන්න ඉඩදීලා දැන් මඟඅරිනවා ?
පිළිතුර : අගමැතිවරයාට ඔහුව ගෙන්වන්න කාලයක් තියෙනවා. ඔහුට විරුද්ධව උසාවිවල නඩු තියෙනවා. නීතිමය කටයුතු සිදු වෙනවා. එවැනි අවස්ථාවක මහේන්ද්‍රන්ව ගේන්න අගමැතිවරයාට පුළුවන්ද බැරිද කියන එක බලන්න ඕන. අගමැතිවරයා කියන්නේ රටේ නීතියට අනුව වැඩ කරන නායකයෙක්. සමහර විට අද තියෙන වාතාවරණය අනුව අගමැතිවරයාට ඔහුව ගේන්න පුළුවන් හැකියාවක් නැති නිසා තමයි ඔහුව ගේන්නේ නැත්තේ. පුළුවන්කමක් තිබුණා නම් අගමැතිවරයා ඔහුව ගෙන්නනවා.
ප්‍රශ්නය : ඔබ නීතිය හා සාමය ඇමැතිකම භාරගෙන මාස 3ක් ඇති. මේ කාලය තුළ තමයි පාතාලය එළිපිට මරා ගත්තේ. පසුගිය රජය පැවැති කාලයට වඩා අද මිනීමැරුම් වැඩියි. එහෙමයි පෙනෙන්නේ. පාතාලයේ මේ එළිපිට හැසිරීම පොලිසියට පාලනය කරන්න බැරි ඇයි ?
පිළිතුර : මේ රටේ අපරාධ සංඛ්‍යාව දැන් අඩුවෙලා තියෙනවා. මංකොල්ලකෑම් අඩුවෙලා තියෙනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ අඩුවෙලා තියෙනවා. 2008 වසරේදී මිනීමැරුම් 1370ක් සිදුවුණා. 2010 541යි. 2013දී 586යි. 2014දී 548යි. 2015දී 476යි. 2017දී 452යි. මේ මිනීමැරුම්වලින් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය නිසා සිදුවෙලා තියෙන්නේ. ඒ වගේම අපි හොරුන් අල්ලනවා. හොරු අල්ලන්න යනකොට එක එක කතා කියනවා. මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කරපු අයව අල්ලලා නඩු දානවා. වැරදි කළානම් අපට තරාතිරම වැඩක් නැහැ. පක්‍ෂ, පාට වැඩක් නැහැ.
ප්‍රශ්නය : ආණ්ඩුව, පාතාල කණ්ඩායම් අතර දවල්ටත් ගැටුම් ඇති කරගන්න, මරා ගන්න ඉඩදීලා බලාගෙන ඉන්නවාද ?
පිළිතුර : අපි ගැටුම් ඇති කරවන්නේ නැහැ. කුඩු අල්ලනකොට, වෙන වෙන දේවල් නිසාත් පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. මේ මැරෙන අය සාමාන්‍ය අය නෙවෙයි. පාතාල ගැටුම් නිසා ඒ අයමයි නැති වෙන්නේ. අද මාධ්‍යවේදීන් උස්සලා නැහැ.
ප්‍රශ්නය : පසුගිය මාස හයට 28 දෙනෙක් මරලා දාලා තියෙනවා. පාතාලය පාලනය කරන්න අද පොලිසියටත් බැහැ නේද ?
පිළිතුර : පොලිසිය පාතාලය පාලනය කරලා තියෙනවා. පොලිසිය අවශ්‍ය පරීක්‍ෂණ කරලා තියෙනවා. වැටලීම් කරනවා. අත්අඩංගුවට ගෙන තියෙනවා. ගිය වසරට වඩා මේ වසරේ මරණ සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. මේ රටේ නීතිය සාමය, සාධාරණත්වය දකින්න පුළුවන්. ඒක හරියට වැහි නැති වෙලාවට හෙණ වදිනවා වගේ.වහින වෙලාවට හෙණ වදින එක සාමාන්‍ය දෙයක්. දැන් මාධ්‍ය අපට කොච්චර මඩ ගහනවද? විරුද්ධව ලියනවද ?
එහෙම නෙවෙයි, පාතාලය මර්දනය කරන්න අපිට මාධ්‍යයේ උදවු ඕන. මාධ්‍ය මඟින් පාතාලය වීරයෝ කරන්න හොඳ නැහැ. අපේ නිලධාරීන් දුර්වල කරන්නත් හොඳ නැහැ. පාතාලය මර්දනය කරන්න ගිහින් අපේ නිලධාරීන් කී දෙනෙක් ජීවිත පූජා කරලා තියෙනවාද ?
ප්‍රශ්නය : උසාවියකින් වැරැදිකරුවකු වනතුරු ඔහු සැකකරුවෙක් පමණයි නේද ?
පිළිතුර : ඔව්.
ප්‍රශ්නය : අනුරාධපුර සිද්ධියේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ හැසිරීම ඔබ අනුමත කරනවාද ? මියගිය පුද්ගලයා මරපු එක හොදයි කියා ඔහු සාධාරණය කරන්න උත්සාහ කරන බවට ජනතාව චෝදනා කරනවා. පොලිසියට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද ? විෂයභාර ඇමැති ලෙස ඔබ මේ ගැන දකින්නේ කොහොමද ?
පිළිතුර : මම හිතන්නේ ඒ සිදුවීමේදී සමාජජාල වෙබ් අඩවි සහ මාධ්‍ය හරහා පොලිසිය එක පැත්තක් ගත්තා කියා ප්‍රකාශ නිකුත් වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ සාධාරණ දේ. මේ දෙගොල්ලෝ අතර වුණු ගැටුමක ප්‍රතිඵලයක් කියායි ඔහු කිව්වේ. පොලිසියට එල්ල වූ චෝදනාවලටයි පිළිතුරු දුන්නේ. මේ සම්බන්ධව පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධ අනෙක් වටපිටාව මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා. මේකට දේශපාලනඥයෝ ගහ ගත්තා. මේ මිනීමැරුමට අදාළ විත්තිකරුවන්ව අත්අඩංගුවට ගත්තා.
ප්‍රශ්නය : මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය හරහා මියගිය පාර්ශ්වයට යම් අගතියක් වුණා කියා ඔබ හිතන්නේ නැද්ද ?
පිළිතුර : මම ඒ ප්‍රකාශය ආපසු බලලා අගතියක් වෙලා තියේ නම් අපි ඒක නිවැරැදි කරනවා.
ප්‍රශ්නය : ඔබ නීතිය භාර ඇමැතිවරයා. තලතා අතුකෝරල ඇමැතිතුමිය අධිකරණ කටයුතු ඇමැති.
ඔබ දෙදෙනා සිටියදී අනෙක් ඇමැතිවරුන් ඔබලාගේ විෂය පථය අතට ගෙන සමාජ වීරයෝ වෙන්න හදනවා. එහෙම ඉඩ දෙන්නේ ඇයි ?
පිළිතුර : එහෙම වෙන්නේ නැහැ. ඔබ ඉදිරිපත් කරන්නේ විජයකලා මන්ත්‍රිවරියගේ ප්‍රශ්නය වෙන්න පුළුවන්. ඒ ගැන පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණයක් තියෙනවා. ඇමැතිකමින් එතුමිය අයින් වුණා. ඒ ගැන පොලිසියට පැමිණිලි ලැබිලා තියෙනවා. අපි ඒ ගැන පරීක්‍ෂණ කරනවා. හැබැයි පසුගිය කාලේ වගේ නීතිය අතට අරගෙන කටයුතු කළ ඇමැතිවරු අද නැහැ. පොලිසිවලට ගිහින් බැනපු, පොලිසිවලට ගහපු අය අද නැහැ. ඒ සමහරු කුඩු ජාවාරමට උදවු කළා. මේ ඉන්න පාතාලය නිර්මාණය කරපු අය හිටියා. අද අපි පොලිසියට ඇඟිලි ගහන්නේ නැහැ. එ.ජා.ප.යෙන් අපට තිබෙන චෝදනාව තමයි පොලිසිය ඒ අයට විරුද්ධකම් කරනවා කියන එක.
ප්‍රශ්නය : පසුගියදා ලංකාවේ ලොකුම කුඩු තොගය ඇල්ලුවා කිව්වා. නමුත් මීට පෙර ලංකාවට කුඩු කන්ටේනර් පිටින් ගෙනවා කියලා හිටපු රජයට චෝදනා කළා. දැන් ඊටත් වඩා කුඩු එනවා. යහපාලනයෙන් රටට ලැබුණේ කුඩු විතරද ?
පිළිතුර : එදා කුඩු ආවා. හැබැයි ඇල්ලුවේ නැහැ. දැන් කුඩු එනවා. අපි ඒවා අල්ලනවා. ඒකයි වෙනස. එදා කන්ටේනර් පිටින් එතනොල් ආවා. දැන් එහෙම ගේන්නේ නැහැ. එදා රේගුවටවත්, පොලිසියටවත් ඒවා අල්ලන්න බලය දුන්නේ නැහැ. ඒවා ගැන අද කතා නැහැ.
අපේ දේශපාලකයෝ ඒ වාගේ දේවල්වලට අද සම්බන්ධ වෙන්නේ නැහැ. අද දේශපාලනඥන්ගේ විනයක් තියෙනවා පොලිසියට නිදහසේ වැඩ කරන්න ඉඩ දීලා තියෙනවා.
ප්‍රශ්නය : ඇත්තටම පසුගියදා රාත්‍රියේ හොර රහසේ කතා කළේ කුඩු අල්ලන එක ගැන නෙවෙයිනේ. දේශපාලන බලය අල්ලන හැටි නේද ?
පිළිතුර : අපිට නොයෙක් දේවල් කතා කරන්න පුළුවන්. ඒවා මාධ්‍යයට එළි කරන්න බැහැ. අපි කුඩු ගැන සංවිධානාත්මක අපරාධ ගැන මිනීමැරුම් ගැන කතා කළා. ඒවා කතා කරන්න එපා කියලද කියන්නේ.
ප්‍රශ්නය : සිරගෙදර මරණ දණ්ඩනයට නියම වුණු අය කුඩු ජාවාරමේ යෙදෙනවා නම් ඒ ගැන අදාළ අංශවලට නොපෙනෙන්නේ ඇයි ? හිරගෙදර ඇතුළේ මේවාට නිදහසක් තියෙනවාද ?
පිළිතුර : ඒක ලොකු ප්‍රශ්නයක්. අපටත් ඕන ඒක මැඬපවත්වන්න. සමහර වෙලාවට සිරගෙදර ඇතුළේ ඉඳලා තමයි මේ ක්‍රියාකාරකම් කරන්නේ. කුඩු ව්‍යාපාර මෙහෙයවනවා. පාතාලය මෙහෙයවනවා. ඒවා නවත්වන්න අවශ්‍ය පියවර ගන්නවා. සිරගෙදර ඇතුළේ එක දුරකථන ඇමැතුමක් වෙනුවෙන් රුපියල් 2000, 3000 ගෙවනවා. දුරකථන භාවිතය තහනම් වුවත් පරීක්‍ෂා කිරීමේදී ජංගම දුරකථන අහුවෙනවා. දුරකථන ඇමැතුම් ගන්න බැරි විදියට ජෑමර් හයි කරලා තිබුණත් ඒවායේ තරංග වෙනස් කරනවා. මේ නිසා මරණ දඬුවම හිමි වෙලත් සිරගෙදර ඇතුළේ ඉඳන් කුඩු ව්‍යාපාර කරනවා නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ජනාධිපතිතුමාත් ඊට අස්සන් කරන්න බලාපොරාත්තු වෙනවා.
ප්‍රශ්නය : ජ්ඛ්ධ්ච්ය නිසා රාජ්‍ය නිලධාරීන්ට බාධා වෙනවා. නිදහසේ වැඩ කිරීමේ අවස්ථාව නැති කර ඇති බවට යුක්තියේ හඬ පසුගියදා චෝදනා කළා. ජ්ඛ්ධ්ච් එක දරුණු විදියට රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන්නේ ඇයි ?
පිළිතුර : එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශ කිරීමට ආපු හය දෙනාටම චෝදනා එල්ල වෙලා තියෙනවා. ජ්ඛ්ධ්ච් එක මේවා ගැන පරීක්‍ෂා කරන විට බයක් සැකයක් ඇති වෙන්නේ වැරැදි කරපු අයට. සාධාරණ මිනිසුන්ට මේ රටේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන අයට ජ්ඛ්ධ්ච් එක විරුද්ධ කටයුතු කරලා නැහැ. ලැබිලා තියෙන පැමිණිලි අනුවයි ජ්ඛ්ධ්ච් එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතිව පළිගැනීමක් කරන්නේ නැහැ.
ප්‍රශ්නය : බුද්ධි අංශ දුර්වල කරලා කියා බරපතළ චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා. යාපනයේ අවි ආයුධ හමුවීම, එල්.ටී.ටී.ඊ.ය නැවත නැඟී සිටීමට උත්සාහ දැරීම ආදී හේතූන් නිසි ලෙස වාර්තා වුණේ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා යැයි යන චෝදනාවට ඔබ මොකද කියන්නේ ?
පිළිතුර : බුද්ධි අංශ දුර්වල නැහැ. මේ හැම කාරණයක්ම බුද්ධි අංශ අපට වාර්තා වෙනවා. බුද්ධි අංශ අපට ලබාදෙන තොරතුරු ගැන රටට කියන්නේ නැහැ. ඒවා ප්‍රසිද්ධ කරන දේවල් නෙවෙයි. බුද්ධි අංශ තොරතුරු මත තමයි ආයුධ අල්ලගන්න හැකි වුණේ.
ප්‍රශ්නය : මේ ඇමැතිකම ගැන තෘප්තිමත්ද ?
පිළිතුර : ඔව්. මේක අභියෝගයක්. අභියෝගය භාර ගත්තේ අභියෝග මැද. මහනුවර කලබල ඇතිවෙලා තියෙන මොහොතක මම උපරිමයෙන් ඒක විසඳුවා.
ප්‍රශ්නය : පක්‍ෂය ඇතුළේ වෙනසක් විය යුතුයි කියා ඔබ අරගල කළා. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස කට වස්සවන්න අභියෝගයක් විදියට මේ ඇමැතිකම ලැබුණා කියා හිතන්න බැරිද ?
පිළිතුර : මට මේ තනතුර දුන්නේ විශ්වාසය මතයි.
ප්‍රශ්නය : මට කියන්නේ අගමැතිවරයා ගැනද ?
පිළිතුර : ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි මම ගැන විශ්වාස නිසයි මේ ඇමැතිකම දුන්නේ. ඒ විශ්වාසය කඩ නොකොට මම කටයුතු කරනවා.
ප්‍රශ්නය : 2019 එජාප අපේක්‍ෂකයා කවුද?
පිළිතුර : එජාප අපේක්‍ෂකයා කවුද කියා කියන්න තවම කල් වැඩියි. මේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා තේරුවේ අන්තිම වෙලාවේ. 94 චන්ද්‍රිකා මැතිනිය නම් කළේ අන්තිම වෙලාවේ. මහින්ද රාජපක්‍ෂ තීරණය කළේ අන්තිම වෙලාවෙ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව තේරුවේ අන්තිම විනාඩියේදී. ඒ නිසා අපේ අපේක්‍ෂකයා කවුද කියන එක එදාට එළි කරන්නම්.
ප්‍රශ්නය : පක්‍ෂ මහ ලේකම්වරයා කියන්නේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2019 ජනාධිපති අපේක්‍ෂකයා කියායි ?
පිළිතුර : අපේ නායකයා අගමැතිවරයා. පක්‍ෂය තීන්දුවක් ගත්තම අපි වැඩ කරනවා.
ප්‍රශ්නය : ඔබ ඒකට කැමැති නැද්ද ?
පිළිතුර : තවම ජනාධිපතිවරණයක් නැහැ. කල් තියෙනවා. ඔය ගැන කතා කරන්න වේලාසන වැඩියි. විරුද්ධ පක්‍ෂයට බැරි නම් කවුද අපේක්‍ෂකයා කියන්න, ඇයි අපි කියන්නේ. කෝ පොහොට්ටුවේ අපේක්‍ෂකයා. බැසිල්ද ගෝඨාද තවම කියලා නෑනේ.
ප්‍රශ්නය : බැසිල් රාජපක්‍ෂ මහතා නෙවෙයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා ඉඟි දීලා තියෙනවා ?
පිළිතුර : අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා.
ප්‍රශ්නය : ශ්‍රී ලනිපය – එජාපය දෙපැත්තට බෙදිලා ගහ ගන්නවා වගේ පෙනුණාට 2019 පොදු අපේක්‍ෂකයෙක් ගෙන්න නේද නැවත බලන්නේ ?
පිළිතුර : ඒක ගැන දැන්ම කියන්න බැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය අරගෙන අපි ජයග්‍රහණය කරනවා.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක – මව්බිම පුවත්පත
උ: ගැ: http://lankagossipweb.com/
7,046 Viewers

No comments