Header Ads

test

මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට කියයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ගකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
''මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක්'' - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ මතය ජනාධිපතිවරයා වෙත යවමින් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක් බවයි.

මරණ දඬුවම යනු කෘර සහ අමානුෂික දණ්ඩනයක් බවත්, එය ජීවිතයට ඇති අයිතිය ද, කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදීමට ඇතිය අයිතිය ද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරන දඬුවමක් බවත්, අන්තගාමී හා වෙනස් කළ නොහැකි වූ මෙම දණ්ඩන ක්‍රමය අහෝසි කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා සමාජයට ඇතිවන බලපෑම සුළුපටු නොවන බව කියන එම කොමිෂන් සභාව එය සාර්ථක ලෙස මැඩ පැවැත්විය හැකි වන්නේ මරණ දඬුවම වැනි නිශ්පල දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් බවත් කොමිසම සඳහන් කරයි.

දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට නව තාක්ෂණය ඔස්සේ බාහිර ලෝකයත් සමඟ බද්ධ වී ජාවාරම්වල යෙදන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් නතරකිරීම යැයි ද සඳහන් කර ඇති මානව හිමිකම් කොමිසම, මත්ද්‍රව්‍ය ජාවාරම මේසා ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධාකයන් වන දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලින් ලැබෙන සහාය යන කාරණා ආමන්ත්‍රණය නොකර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාවලියකට යෑම නිෂ්ඵල බව ද අවධාරණය කර සිටී.

'මහා කුඩු මුදලාලිලා ඉන්නේ ඉහළ පෙලේ සභාපතිලා, උපාසකලා හැටියට' - මංගල
 මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කළත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්දනය කිරීමට ඇති හැකියාව ගැන ආණ්ඩුවේ මුල් පෙලේ අමාත්‍යවරයකු සැක පහල කරයි.
සිරගෙවල් තුල හිඳිමින් පවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන්ට පෝරකයට යැවීමට තීන්දුව ගත් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධත්වය පෑ එකම පුද්ගලයා වන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මහා කුඩු මුදලාලිලා අත් අඩංගුවට ගෙන නැති බවයි.
“මේ රටේ පළවැනි පෙළේ කුඩු බිස්නස් කාරයෝ ඔය කොහෙවත් නෙවෙයි ඉන්නේ, හොඳ හොඳ ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධාන වල සභාපති වරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරු, මහත්මීන් හැටියට ඉන්නේ,” යි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොළඹදී ඊයේ (13) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
බන්ධනාගාර තුලදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් එල්ලුම් ගස් යැවීම යුක්ති සහගත කිරීමට වීරිය කළ මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා කියා සිටියේ මුලින්ම දඬුවම් කළ යුත්තේ ජේලර්ලාට බවයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කරන කිසිම රටක අපරාධ අඩුවී නැති බව අවධාරණය කළ අමාත්‍ය මංගල සමරවීර මහතා, බරපතල අපරාධකරුවන් “නොමරා මරණ” ජීවිතාන්ත සිර දඬුවමක් යෝජනා කර සිටියේය.
“මම මරණ දඬුවමට එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි,” අමාත්‍යවරයා දැඩි ලෙස කියා සිටියේය.
2016 දී ඔස්ලෝ නුවර පැවති මරණීය දණ්ඩනයට එරෙහි හයවැනි ලෝක සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් ප්‍රගතිශීලි මහජන මතයක් ගොඩනගා අනාගතයේ ආසියානු කලාපය තුළ මරණීය දණ්ඩනයේ අවසානයක් දැකීමේ අභිලාෂය මහත් අපේක්ෂා සහගතව පල කොට තිබුනි.
ඇතැම් පොලිස් නිලධාරීන්ද මත් ජාවාරමට සම්බන්ධ බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා චෝදනා කර තිබුනි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ සාතිශය බහුතර අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මරණ දඬුවමට බෞද්ධ හා කතෝලික ප්‍රභූ නායකත්වයේ ආශිර්වාදය හිමිවී තිබේ.
 2016 දී ඔස්ලෝ නුවර පැවති මරණීය දණ්ඩනයට එරෙහි හයවැනි ලෝක සමුළුවේ සමාරම්භක දේශනයපවත්වමින්මංගල සමරවීර මහතා කල කතාව මෙතනින්
24,756 Viewers

No comments