Header Ads

test

සියලු බලාපොරොත්තු දිනෙන් දින සුන්වන ගෝඨාභය රාජපක්ෂ


රජයට අයත් ජනතා මුදල් රුපියල් මිලියන 83ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනාවක් මුල් කරගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගෝඨාභය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය බව කියන්නේ මාස 7 ක කාලයක සිටය. ඒ වෙනුවෙන් නැවත ඔහු විසින් ගොනුකළ "අත්අඩංගුවට ගන්න එපා "යයි ඉල්ලු පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල , නැවත ජුනි මස 7 වෙනිදා දක්වා බලපාන ලෙස එය දිගු කළේය. එසේ දිගු කිරීමට සාධාරණ හේතු තිබෙන බව එතුමන්ලා පැවසුවද , ඒවා මහජනතාවගේ අවබෝධය පිණිස පිටතට නොපැමිණුනි. ඔහු කල මුල්‍ය වංචා සම්බන්ධයෙන් සලකා බලන කල තම දෙමාපියන්ගේ සොහොනක් ඉදිකිරීම වෙනුවෙන් මහජන මුදල් මිලියන 83 ක් සොරකම් කිරීම ඇමති රාජිත කීවාක් මෙන් ලුණු සිවියක තරම් වැදගැම්මකට නැති නඩුවක් විය නොහැක. එසේ නම් සිරිසේන ජනපති සහ අගමැති රනිල් විසින් ගෝඨාභය රැකගැනීම වෙනුවෙන් මේ තරම් දරදිය අදින්නේ මන්ද ? ජනපති සිරිසේන විධායකයට මුවාව නීතියේ දෙවගන ගෝඨාභය රාජපක්ෂ ලවා දුෂණය කර ඇති බව මෙයින් සනාතව ඇත.

යම් ආකාරයකින් මෙම කුඩා සිදුවීම මත නීතිය ක්‍රියාත්මක වේ නම් , ඉන් අනතුරුව ඔහුට එරෙහි ඇති සියලු නඩුවලට සුදුසු ඉඩ ප්‍රස්තාව නිතැතින්ම ගොඩ නැගේ. 
ඔහු මේ රටේ යුද්ධය බුර බුරා නැගෙන විට තම ජීවිත ආරක්ෂාව පතා ඇමෙරිකාවට ගිය අතර , ඉන් පසුව වසර 20 කට පසුව නැවත ලංකාවට පැමිණෙන්නේ තම සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුවය. එම රෙජීමයේ බලගතු නිලයක් හොබවමින් ත්‍රිවිධ හමුදාව පොලිසිය අල්ලේ නටවමින් තම සොයුරාගේ බලය සතර දෙසට විහිදා රටේ ආරක්ෂක අංශ හා එහි සිදුවන අභ්‍යන්තර ගණුදෙනු පාලනය කළේය. මිග්යානා හොර ගණුදෙනුව සිදුවන්නේ ඒ අතර කාලයේදීය.එවකට රුසියානු තානාපති වූ උදයංග වීරතුංග ගේ මැදිහත් වීමෙන් හඳුනාගත් හොර කල්ලියක් හරහාය. එම යානා මිලදී ගැනීමේ අතරමැදියන් ලෙස කටයුතු කළ බවට සඳහන් වුයේ බ්‍රිතානයේ ලන්ඩන් නුවර පිහිටි Billimissa Holdings. සමාගමය. නමුත් එවැනි සමාගමක් පරීක්ෂණ කටයුතු වලදී බ්‍රිතාන්‍ය තුල නොවීය. 2000 වසරේදී ගුවන් හමුදාව විසින් යුක්රේනයේ නිෂ්පාදනය කල නවීන මිග්යානාවක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 1.5 කටය. ඉන් පසුව එවැනිම මිග් ප්‍රහාරක යානාවක් එම වසරේම ඔක්තෝබර් මස 24 වෙනි දින මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 1.6 කටය. නමුත් 1998 වසරේදී නිෂ්පාදනය කල අලුත්වැඩියා තත්වයේ තිබු මිග්යාන හතරක් මිලදී ගෙන තිබුනේ එකක් ඩොලර් මිලියන 2.462 ක දැවැන්ත මිලකටය. ඔබ සිතන්න .., එක් මිග්යානාවකින් ගෝඨාභය පිල්ලි ගැසූ දේශප්‍රේමී කොටස දෙස.පමණක් .!! මෙම ගනුදෙනුව හෙලිකල ලසන්ත පමණක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඔහුගේ මරණය සම්බන්ධ සියල්ල හෙළිදරව් වී තිබියදීත් නීතිය ප්‍රමාදය.

ඉන් පසුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂණ සමාගම හරහා සිදුවූ මුල්‍ය අක්‍රමිකතා හරහා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 12 කි. එය සමාන වන්නේ රනිල් , ,මහේන්ද්‍රන් ඇතුළු පිරිස මේ රටේ මහා බැංකුව කඩා සොරා ගත් මුදලටය. මේ පිළිබඳව සියලු ලිපි ගොනු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සතුව ඇත. එමෙන්ම රක්නා ලංකා ආරක්ෂක සමාගම හරහා සිදුකල මගඩි සම්බන්ධව සියලු තොරතුරු පොලිසිය සතුව ඇත. එහෙත් නීතිය ප්‍රමාදය. තවද මෙයින් ප්‍රතිලාබ ගෙන පරීක්ෂණ යට ගැසූ අය යහපාලන ආණ්ඩුවේ වගකියයුතු තනතුරුද දරයි ( විදේශ ඇමති තිලක් මාරපන, හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙන්ම ඔහුගේ පුත් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් රඛිත රාජපක්ෂ) මොවූන් යහපාලනයේ සිටින තාක් නීතියේ සාධාරණයක් ඉටු වේ යැයි සිතිය නොහැක. 

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කලහකාරී තත්වය උපයෝගී කරගනිමින් සිදු වුයේ රාජපක්ෂ කල්ලියට එරෙහිව සියල්ල හෙළි කරන්නට සිටි එවකට දියවඩන නිලමේ කෙනෙකු වූ මංජු ශ්‍රී මනුප්‍රිය , එසේ නැතහොත් දුටුගැමුණු රජුගේ කඩුව වර්තමාන රජුට ලබාදීමට කෝට්ටේ රජමහා විහාරයට පැමිණ භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කල තැනැත්තා පලමුව සිර මැදිරියෙන් එලියට ගෙන මරා දැමීමය. මිනිස් ජීවිත 27 ක් ඇතුලත් ඝාතන වැල මෙහෙය වූ මහා මොලය වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව මේ වනවිට හෙළි වී ඇත. එහෙත් නීතිය ප්‍රමාදය .

ඉහත සඳහන් වන්නේ ඔහුගේ සේවා කාලය තුල සිදුවූ අපරාධ වලින් කිහිපයකි. යම් ආකාරයකින් පළමුවෙන් සඳහන් කල මිලියන 83 ක වංචාවට ඔහු නීතියෙන් වැරදිකරු වෙන විට , ඉතිරි චෝදනා විභාග කිරීම පහසු වනු ඇත. එහෙත් එයට සුදුසු නිදහස් වාතාවරණය සිරිසේනගේ විධායක බලතල වලට යට වී ඇත. මන්ද , අභියාචනාධිකරණයට විනිසුරන් පත් කිරීමේ වරම ඇත්තේද සිරිසේන සතුවය. ගෝඨාභය ආරක්ෂා කිරීමෙන් සිරිසේන ජනපති අපේක්ෂා කල අරමුණක් තිබුණි. . ඒ , 2020 ජනපතිවරණයට ඔහු ඉදිරිපත් වීමේදී අගමැති තනතුරට ගෝඨාභය ගෙන්වා මේ රටේ සිංහල අන්තවාදී කොටස් වලින් සිරිසේනට අහිමි වූ ඡන්ද ගොඩ ලබාගැනීමටය. මහින්ද , බැසිල් ඇතුළු පොහොට්ටුවේ දේශපාලනයෙන් කැපී විසිවී සිටින ගෝඨාභයට එල්ලෙන්නට ඇති එකම වැල සිරිසේන නියෝජනය කරන කල්ලිය පමණි. බලය නැති කල හේ යන මේ පරපුරට, ඕනෑම පාවාදීමක් හෝ සිදුකර බලයට ඉව ඇල්ලිය යුතුය. මහින්ද හා රනිල් ගේ කුමන්ත්‍රණ හමුවේ යාන්තමින් බේරී සිටීමට හැකි වුයේ සිරිසේනගේ සෙවනේ ගතකල කාලයෙනි. නමුත් විශ්වාසභංගය හරහා ඉස්මතු වුනු නව තත්වය හමුවේ සිරිසේනට අකමැත්තෙන් හෝ ගෝඨාභය අත්හැර මහින්ද සමග දේශපාලන දීගයකට යා යුතුය. එසේ නොවන කල එජාපය දේශපාලනිකව ශක්තිමත් වනු ඇත. එබැවින් මේ සියලු තත්වයන්ගෙන් බැට කෑමට සිදුව ඇත්තේ සිංහල අන්තවාදීන්ගේ අධාත්මික නායක ගෝඨාභය රාජපක්ෂටය. 

18,765 Viewers

No comments