Header Ads

test

ශ්‍රීලනිප ඇමතිලා නිසා ජනාධිපති අර්බුදයක : මහින්දත් පොරොන්දුවක් දීලා


විශ්වාසභංග යෝජනාවට සහයදීම සම්බන්ධ තීරණය තම පෞද්ගලික තීරණයක් නොවන බවත් එය පක්ෂයේ සභාපතිවරයාගේ අනුදැනුම මත ගනුලැබූ තීරණයක් බව ඊයේ (04) දිනයේ පැවති විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට විරුද්ධව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප කණ්ඩායමක් දැඩිව අවධාරණය කරයි.
ජනාධිපතිට රහසේ ගත්ත තීන්දුවක් නෙවෙයි : ඇමතිකම් අත්හරින්නේ නෑ
ඊයේ (04) SL News Web අනාවරණය කළ පුවත් දෙකක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් එම කණ්ඩායමේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධව තම පාර්ශවයේ තීන්දුව ජනාධිපතිවරයාට රහසින් ගනු ලැබුවක් නොව ජනාධිපතිවරයාද සිටි පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී ඉතා විවෘතව ගත් තීන්දුවක් බවය.
තම තීන්දුව ජනාධිපතිවරයාට අප්‍රේල් 4 වනදා මෙන්ම එදිනට පෙරත් අවස්ථා ගණනකදී දැනුම්දුන් බවත් එහිදී එම තීන්දුව අනුමත කරමින් ජනාධිපතිවරයා "හෘද සාක්ෂියට" අනුව කටයුතු කරන්නැයි පැවසූ බවත් ඔහු පැවසීය. ඒ අනුව ඔවුන් අවධාරණය කර සිටින්නේ පක්ෂ නායකත්වය දැනුවත්කොට එහි උපදෙස් සහ පූර්ණ ආශීර්වාදය යටතේ තමන් ක්‍රියාකර ඇති බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව අමාත්‍යධුර අත්හැරීමේ කිසිඳු කළබලයක් තමන්ට නොමැති බවය.
මේ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන,ටී.බී.ඒකනායක, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ඉතා දැඩිව මෙම ස්ථාවරයේ සිටින බව දේශපාලන ආරංචිමාර්ගද තහවුරු කරයි.
00001













අපි වැඩ කරන්නේ පක්ෂ සභාපති කියන විදිහට : එජාපයට බැහැ ශ්‍රීලනිප ඇමතිවරු ගැන තීන්දු ගන්න
ඊයේ (04) බීබීසී වෙත ප්‍රකාශයක් ලබාදෙමින් දයාසිරි ජයසේකර මේ බව තවදුරටත් සනාථකර ඇති අතර විශ්වාසභංග යෝජනාවට සහය පළකරන අතර පක්‍ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණයකට එකග බවත් ඇමතිකම් දැරීම හෝ නොදැරීමත් ආණ්ඩුවේ සිටීම හෝ නොසිටීමත් ගැන තීන්දුව පක්ෂයක් ලෙස ගතයුත්තක් බවද පවසා ඇත.
ශ‍්‍රීලනිප ඇමතිවරුන් ගැන තීරණය කිරීම ඇත්තේ ජනාධිපතිවරයා අත බවත් මිස එජාපයට උවමනා ලෙස නොවන බව පවසමින් අමාත්‍ය එස්.බී දිසානායකද මාධ්‍යවෙත ප්‍රකාශයක් සිදුකර ඇති අතර රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රධානියා මෙන්ම ශ‍්‍රීලනිප ප‍්‍රධානියාද ජනාධිපතිවරයා නිසා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගය ගැන ඔහු සමඟ සාකච්ඡා කර තීරණය කරන බවය.
ද්‍රෝහී ඇමතිලා වහාම එළියට දාන්න : එජාප නායකත්වයට බලපෑම්
කෙසේ වුවත් එජාප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් කිසිවෙකුට ආණ්ඩුවේ අමාත්‍යධුර දැරීමට ඉඩනොදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත බරපතල පීඩනයක් එල්ල කරමින් සිටින බව තහවුරුවී ඇත.
ඊට අදාළව මේ වන විට මන්ත්‍රීවරුන් 33 කගේ අත්සනින් යුතු ලිපියක් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර කැබිනට් අමාත්‍යධුර දරන 6 දෙනෙකු වහා එයින් ඉවත් කරන්නට කටයුතු කරන ලෙස එයින් දැනුම්දී ඇත.
ශ්‍රීලනිප ඇමතිලා ගත්තට ආසන සංවිධායක ධූර දෙන්න බෑ - පොහොට්ටුවේ පිරිසක් දැඩි මතයක
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම හමුවේ අර්බුදයට ගොස් තිබෙන ශ්‍රීලනිප ඇමතිවරුන් තම පක්ෂයේ ආසන සංවිධායක පත්වීම් ඉල්ලා බලපෑම් කරන්නට ගෙන ඇති බවය.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළ ආකාරයට මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමුවූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් 12 කට අධික සංඛ්‍යාවක් මෙසේ ආසන සංවිධායකධුර ලබාගෙන පක්ෂයට එක්වීමට ඉල්ලා ඇත. එසේම තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ වෙතද ඇමතුම් ලබාදෙමින් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇත.
0002දුන්න සහය දිගටම දෙන්න : නාම යෝජනා ගැන මං බලාගන්නම් - මහින්දගෙන් පොරොන්දුවක්
එහෙත් මේ පිරිස වෙත පොදුවේ පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම්දී ඇත්තේ මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සියළු ආසන සඳහා සංවිධායකයින් පත්කර අවසන් බැවින් දැන් එය සංශෝධනය කිරීමට යාම දුෂ්කරව ඇති බවය.
දයාසිරිට ටිකක් ඉවසන්න කියන්න
විශේෂයෙන් දයාසිරි ඇමතිවරයාට පඬුවස්නුවර හෝ බිංගිරිය ආසන ලබාදීම බරපතල ගැටළුවක් බවත් ඒ ගැන ප්‍රබල විරෝධයක් පවතින බව හිටපු ජනාධිපතිවරයා දන්වා තිබෙන බවද වාර්තා වෙයි.
කෙසේ නමුත් තමන් බැසිල් රාජපක්ෂ සමඟද මේ ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ බවත් ආසන සංවිධායකයන් ඉවත්කර ශ්‍රීලනිප පාර්ශවයට ඒ ලබාදීමට යාම මේ මොහොතේ අවධානමක් බව ඔහුගේ ස්ථාවරය වූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසට දැනුම්දී ඇත්තේ, මාස කිහිපයක් ආණ්ඩුවේ සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙසත් මේ මොහොතේ ආසන සංවිධායකධුර ලබාදීමට නොහැකි වුවත් ඉදිරි මහමැතිවරණයකදී අනිවාර්යයෙන් තමන් මැදිහත්වී නාමයෝජනා ලබාදීමට පොරොන්දු වන බවය.
එසේම ආණ්ඩුවේ තවදුරටත් රැඳීසිටීමට තම පාර්ශවයේ හැකි සෑම සහයක්ම ලබාදීමට සුදානම් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී තිබෙන බවද වාර්තා වෙයි.
16.867 Viewers

No comments