Header Ads

test

දහනව වෙනිදා සිට '16 කණ්ඩායම' විපක්ෂයේ !


අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා, තව දුරටත් එම පදවිවල රැඳී සිටීම සදාචාරමය නොවන හෙයින් මීලඟ පාර්ලිමේන්තු දිනයේ දී විපක්ෂයේ අසුන් ගන්නා බව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ රාජ්‍ය ඇමතිවරයා, ඇමති පදවි වලින් ඉවත් වීමට අවසර ඉල්ලමින් තම කණ්ඩායම ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දුන් බවත් සඳහන් කළේය.

"අපි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා. එහෙම කළේ විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනාවලින් එකොළහක්ම බැඳුම්කරය සම්බන්ධයෙන් අප පක්ෂය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ වීම නිසා. අපි අගමැතිතුමාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒ නිසා අපි ඇමතිකම් දැරීමට අකැමැති බවත් ඉන් ඉවත් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් මීට දින කීපයකට පෙර ජනාධිපතිතුමාට ලිපියක් භාර දුන්නා" රාජ්‍ය ඇමතිවරයා පවසයි.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එකී කණ්ඩායමට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටියදීය.

"අපි කණ්ඩායම ලබන දහනව වෙනිදා විපක්ෂයේ වාඩි වෙනවා. ඒත් අපේ සමස්ත බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉවත් වුනොත් වඩා වැදගත් කියන එකයි" රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රකිනවා:

විපක්ෂයේ අසුන් ගන්නා තම කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විධියට කටයුතු කරන බව රාජ්‍ය ඇමතිවරයා පවසයි.

විපක්ෂයේ අසුන් ගන්නා නමුත් තම කණ්ඩායම රටේ වැදගත් කරුණු වලදී ඒවාට උදව් කරන අතර ජනාධිපතිවරයා ආරක්ෂා කරන බවත් කියා සිටියේය.

ආණ්ඩුව අස්ථාවර නොකරමින් එසේම ජනතා ප්‍රශ්නවලට ඇහුන්කන් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් බලයට ගෙන ඒම සඳහා පූර්ණ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලක් පෙරට ගෙනයන බව රාජ්‍ය ඇමතිවරයා පවසයි.

මධ්‍යම කාරක සභා තීන්දුව ?

ඉල්ලා අස්වීමට යන ඇමතිවරුන් එම ක්‍රියාමාර්ගයෙන් බැහැරව දිගටම ඇමති පදවිවල රැඳී සිටිය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යම් හෙයකින් තීන්දු කළොත් ගනු ලබන ඊළඟ පියවර කුමක්දැයි බීබීසිය ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

"නැහැ, අපි භාර ගන්නේ නැහැ. අපේ තීන්දුවේ වෙනසක් නැහැ"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව බැහැර කළ හැකි වුනත් එම ඇමති පදවිවල දිගටම රැඳී සිටින මෙන් ජනාධිපතිවරයා යම් හෙයකින් නිර්දේශ කළොත් ගනු ලබන පියවර කුමක්දැයි බීබීසිය පෙරළා ප්‍රශ්න කළ විට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙසේ කියා සිටියේය.

" නායකතුමාට අපේ ස්ථාවරය ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ජනාධිපතිතුමා එහෙම කරන්නේ නැහැ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන කෙනෙක්. ඔහු තනි බලයට කටයුතු කරන්නේ නැහැ. අපට හොඳින් ඇහුන්කන් දෙනවා"

අපි බය නැහැ

ජනාධිපතිවරයා අපේක්ෂා කරන උදව්ව තම කණ්ඩායමට විපක්ෂයේ සිට සිදු කළ හැකි බවත් ඒ සඳහා තනතුරු අවශ්‍ය නැති බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටි අතර, ඔවුන් දිගටම ආණ්ඩුවේ ඇමතිකම් දැරීමත් සමඟ පක්ෂයේ බෙදීමක්- විකෘති සහගත තත්වයක් ඇති වෙනවා නොවේදැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් ඇමතිවරයා , එවැනි තත්වයක් උද්ගත නොවන බව කියා සිටියේය.

"එහෙම වෙන්නේ නැහැ .ඒ අය දිගටම වැඩ කර ගෙන යාවි. ජනතාව ඒ අය ගැන තීන්දුවක් ගනීවි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය හැටියට පක්ෂය ප්‍රතිසංවිධානය කර ගෙන යනවා. ඇමති පදවිවලින් ඉවත් වෙන අය ගැන සහ ඇමති පදවිවල ඉන්න අය ගැන තීන්දුව ගැනීම ජනතාවට භාර දෙනවා. අපි බය නැහැ. අපට තේරෙනවා සිද්ධ වෙන වැඩේ මොකක්ද කියල. ඒ අනුව ඉදිරි වැඩ කටයුතු කර ගෙන යනවා"

ගනු ලබන මෙම දේශපාලන ක්‍රියා මාර්ගය 'පොහොට්ටුවත්' සමඟ එකතු වීමේ පළමු පියවර විය නොහැකිදැයි බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන "එවිට සිදු වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන 'පොහොට්ටු' කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම වෙත යළිත් ලඟා වීම බව" දැනටමත් ප්‍රකාශ වී ඇති බවත් සඳහන් කළේය.

එය හොඳ ප්‍රවණතාවක්ය යන්න රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ විග්‍රහය විය.

9,234 Viewers

No comments