Header Ads

test

ලසන්ත ඝාතනයේ සාක්ෂි වසංකළ පොලිස් කෙරුමා හෙළිවෙයි


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැලවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබලදී ඇති බවට අද (15) අනාවරණය වූ බව අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දිනපොත අස්ථානගත කිරීම සහ පොලිස් වාර්තාවේ පිටු ගැලවීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබලදී ඇති බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශයෙන් හෙළිවී ඇති බවයි.

එසේම අදාළ ඝාතන සිදුවීම සම්බන්ධව පීරා පෙර අමාත්‍ය සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා වෙතින් මෙන්ම යුද හමුදා බුද්ධි 112 බලසේනාවේ යතුරු පැදි අංශයේ සාමාජිකයන් 7 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය දැනුම්දී ඇත.

කෙසේ වෙතත් ලසන්ත ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන සැකකරුවන් මාර්තු 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

3,669 Viewers

No comments