තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ මුස්ලීම් ජනතාව ඉලක්ක කර දියත් කළ මිලේච්ඡ ප්‍රහාරය වැලැක්වීමට පොලිසිය නිසි පරිදි කටයුතු කර නොමැති බව වාර්තා වෙයි.
මේ පිළිබඳ රහස්‍ය වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධව 6 වනදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීද අනාවරණය වූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
මහින්දට ලකුණු දෙන්න ගිය ASP සහ IP ට වැඩ වරදින ලකුණු
වාර්තා වන ආකාරයට මේ වන විටත් තෙල්දෙණියේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ දිගන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද ගැටුමක් ඇතිවීම වළක්වාලීම සඳහා නිසි ලෙස රාජකාරී මට්ටමින් කටයුතු කර නොමැති අතර ඒ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා මේ වන විටත් පොලිස්පතිවරයාට උපදෙස් නිකුත්ව ඇත.
එසේම තෙල්දෙණියේ සහකාර පොලිස් අධිකාරීවරයා හිටපු ජනපතිවරයාගේ සමීපතම අයෙකු බව පැවසේ. ඔහු කලක් තංගල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිට ඇති බවද හෙළිව තිබේ. තවද දිගන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද දැඩි රාජපක්ෂවාදී පිළිවෙතක සිට කටයුතු කරන්නෙකු බවත් ඔහුද කලක් සූරියවැව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු රාජකාරී කර ඇති බවත් වාර්තා වෙයි.
ආරක්ෂාව ඉල්ලුවත් දුන්නේ නෑ - ඇමති රිෂාඩ්
මේ පිළිබඳ වාර්තා වන වැඩිදුර තොරතුරු අනුව බීමත් මුස්ලීම් තරුණයන් වෙතින් පහරකෑ ලොරි රථ රියදුරෙක් වූ සිංහල තරුණයා මියගොස් ඇත්තේ මාර්තු 3 දිනය. කෙසේ වුවත් අම්පාර ප්‍රදේශයේද සිදුවීමක් සිදුව තිබීම හේතුවෙන් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු කිහිප පාර්ශවයක්ම පොලිසියේ ඉහල නිලධාරීන් දැනුවත් කර තිබී ඇත.
මේ පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාධ්‍ය වෙතද ප්‍රකාශයක් ලබාදුන් අතර එහිදී අදාළ ප්‍රහාරය වලක්වාලීම සඳහා පොලිසිය සිය රාජකාරි මැදිහත්වීම සිදුනොකළ බවට සෘජුවම චෝදනා කර සිටියේය.
කෙසේ වුවත් සිංහල තරුණයාගේ මරණය සැළවූ වහා චීවරධාරීන් කිහිප දෙනෙකුගේ මුලිකත්වයෙන් තරුණ පිරිසක් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන වෙත ඒ ගැන දැනුම්දී මුස්ලීම් ප්‍රජාවට එරෙහි ප්‍රහාරය සැලසුම් කර ඇත. මේ පිළිබඳ මුස්ලීම් ප්‍රජාව සිය නායකයින් අමතා දැනුම්දී ඇති අතර ඊට ආණ්ඩුව සිදුකල විමසීම් වෙතද ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පෙර පිළිතුරම ලබාදී ඇත.
එහෙත් මරණය සිදුවීමෙන් පසුව සෙනසුරාදා දිනයේ (3) තෙල්දෙණියේ කඩ සහ නිවාස කිහිපයකට පහරදී තිබුණි. ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 24 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. අනතුරුව ඉරිදා (4) පෙරවරුවේ මෙම අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස තෙල්දෙණිය නගරයේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
1
ප්‍රදේශයේ විදුලිය බිඳ දැමු වෙලාවේ පොලිසිය නිදාගෙන හිටියද ?
එසේම 4 වනදා ද එම ප්‍රදේශයේ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර මෙම දින තුළ අවස්ථා ගණනකදී ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් සිදුවූ බවද වාර්තා වී ඇත. එහිදී එල්ල කල ප්‍රහාර උත්සන්න වූ බවත් ඒ සඳහා පෙට්‍රල් බෝම්බ පවා යොදාගැනුන බවද වාර්තා වල සඳහන්ව ඇත. මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාරය දියත්වූ අවස්ථාවේ පොලිසිය නිසි ලෙස කටයුතු කළා නම් රාත්‍රී විදුලි බිඳ වැටීම් ඇතුළු ප්‍රහාර උත්සන්නවීම් වලකා ගන්නට හැකියාව තිබු බවය.
කෙසේ වුවත් මාර්තු 4 දින මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍ර‍කාශ කර සිටියේ අවමගුල් කටයුතු සිදුවන දින (5) අවශ්‍ය පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්‍රදේශය පුරා යොදවන බව සහ කිසිදු සාමය කඩවීමකට ඉඩක් නොමැති බවයි. 5 වනදා පෙරවරු 7 පමණ සිට පොලීසිය තෙල්දෙණිය ප්‍රදේශයේ මුර සංචාර කිහිපයක්ද සිදුකර ඇත.
2
හම්බයන්ට ගහන්න සිංහලයනි තෙල්දෙණියට එන්න - FB live ප්‍රචාරයක්
නමුත් 5 වනදා පෙරවරුවේ සිට සමාජ ජාලා හරහා පෙ.ව. 10 ට තෙල්දෙණිය නගරය වෙත පැමිණෙන ලෙස සිංහල ජනතාවට ඉල්ලීම් කර තිබුණි. ඒ බවට සාක්ෂිද මේ වන විටත් ලැබී තහවුරුව ඇති අතර ඒ කිසිවක් සම්බන්ධව පොලිසිය නොදැනුවත් සිටියේද යන්නද ප්‍රශ්නයක් වී ඇත.
එසේම 5 වනදා පෙ.ව. 11 වන විට ගැටුමක් ඇති විය හැකි තත්වයක් නිර්මාණය වී තිබුණි. එදින පෙරවරුවේ සිට සංවිධානාත්මක පිරිස් තෙල්දෙණිය සැරිසැරූ අතර ඒ අතර මඩකලපුව, ගල්කිස්ස, බේරුවල වැනි ස්ථානයන් හි ජාතිකවාදී ගැටුම් සම්බන්ධයෙන් මෙයට පෙර නම් කියැවී ඇති පිරිසක් ද මේ ප්‍රදේශයට පැමිණ ඇති බවද මේ වන විටත් තහවුරුව තිබේ.
3
4 1
එම පිරිස් 5 වනදා දහවල් 10.30 වන තෙක් සංවිධානාත්මකව බස්රථ වලින් පවා පැමිණ ඇති අතර පොලිසිය ඒ කිසිවක් වලක්වාලන්නට කටයුතු කර නොමැති බවද දැනගන්නට ඇත. එසේම පෙව 10.30 සිට දහවල් 1 ට කඩවල් ගිණි තැබීම අරඹන තෙක් පොලීසිය මෙම සිදුවීම පාලනය කිරීමට මැදිහත්ව නොමැති බවත් සංවිධානාත්මක ප්‍රහාරය ආරම්භ කිරීමට පෙර මුහුණු ආවරණය කරගත් පිරිස් පොලිසිය අසලද සිටි බවටත් වාර්තා ලැබී ඇත. එමෙන්ම අම්පිටියේ සුමන නම් චීවරධාරියා චීවරයට පවා නොගැලපෙන තරම් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් ප්‍රහාරය මෙහෙයවූ බවත් පොලිසිය එය දැක දැකත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි බවද එය ඇසින් දුටු ජනතාව පවසා ඇති බව සඳහන් වේ.
5
නියෝග නිකුත් කිරීම ප්‍රමාද කරලා
ප්‍රහාරය සඳහා සැලසුම් සහගතව පැමිණි පිරිස් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ විරෝධය පළ කරන්න වූ බවත් උදෑසන සිට කැඳවා තිබු කැරලි මර්දන පොලිස් කණ්ඩායම් වෙත ඒ වන විටත් පිරිස විසුරවා හැරීමට නියෝග නිකුත්කර නොතිබූ බවද වාර්තා වල සඳහන්ව තිබේ.
මුස්ලිම් වෙළෙදසැල්, නිවාස සහ වාහන ගිණි තැබීම ආරම්භ වූයේ සවස 1 ට පමණ වන අතර ඊට පෙර පොලු මුගුරු සහ අවි ආයුධ සහිත පිරිස් වාහන සහ පාගමනින් ප්‍රදේශයේ සැරිසැරූ බවද වාර්තා වන අතර සිදුවීම් පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව කැඳවීමට පමාවීම සම්බන්ධවද පොලිසිය වෙත චෝදනා එල්ලවී තිබේ.
එම නිසාම ප්‍රහාරය ආරම්භ කර පැය කිහිපයක් ගතවන තුරු ආරක්ෂක අංශ පිරිස විසුරවා හැරීමට අසමත් වී ඇති බවත් ඒ කාලය තුළ මුස්ලීම් පල්ලි 4ක්, නිවාස 37ක්, වෙළඳසැල් 46ක් සහ රථවාහන 35 කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ලවී ඇති බවද වාර්තා වෙයි. එසේම එක් මුස්ලීම් තරුණයකු මේ නිසා ඝානතය විය.
6
7
























මේ අනුව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති තොරතුරු අනුව පොලිසිය අදාළ සිදුවීමේදී නිසිලෙස කටයුතු කර නොමැති බවත් එම හැසිරීම ජාතික ආරක්ෂාව පවා අවධානමේ හෙලන බරපතල සැකසංකා මතුකරන බවට පෙන්වා දී ඇති බවද වාර්තා වෙයි.
8,114 Viewers