Header Ads

test

මිනිසත් බවයෙන් ගව් ගණනාවක් ඈතට පලාගිය ආගම


වර්තමාන ලෝකයා දෙස මැදිහත් සිතින් බලන විට ආගම යනු කවරෙක් වෙනුවෙන් පෙනී සිටින සමාජ බලවේගයක්ද යන්න කුකුසකි. මීට වසර දහස් ගණනකට පෙර ලොව හමුවේ පෙනී සිටි බුද්ධිමත් මිනිසුන් විසින් පීඩාවට දුකට පත් ජනයා ඉන් මුදවා ගැනීම උදෙසා කියූ මග ආගම බවට පත් විය. (ආ )ත්මය (ග )ලවා ගැනීමේ (ම )ග ආගම වූ අතර , අද වන විට ඉහතමි ආගමික ශාස්තෘවරුන්ගේ ග්‍රහණයෙන් ආගම විවිධාකාර දිශාවන් ඔස්සේ පාවෙමින් සිටි. විටෙක එය ඇමෙරිකානු සී.අයි .ඒ බළල් අතකි. තවත් විටෙක එක් ජාතියකට අයත් ව්‍යාපාරිකයින්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්ත කල්ලියකි. තවත් විටෙක ජාතින් අතර ලේ වැගිරීම් ඇති කිරීමට මානන කුහක අක්ෂයකි. පැරණි සෝවියට් දේශය බිඳ දැමීම වෙනුවෙන් හා කියුබාව සමාජවාදයෙන් ගැලවා ගැනීම පිණිස කතෝලික පල්ලි ඉමහත් වෙහෙසක් ගන්නා ලදී. එමෙනම් 1971 පසුව මේ රටේ බිහිවන සමාජ පරිවර්තනය හමුවේ වමට නැඹුරුවන තරුණ තරුණියන් ඉන් ගලවා ගැනීම සඳහා මර්ජ් ආයතනය හරහා පිහිටවූ දෙවසරණිය වැනි ක්‍රිස්තියානු බලවේගයන්ද ක්‍රියාත්මක වුයේ බටහිරෙන් ලැබෙන ඩොලර් වලට අනුකුලවය. නමුත් කතෝලික හෝ ක්‍රිස්තියානු දහම ගොඩ නැගු ජේසු ස්වාමි දරුවන්ගේ මුලික අරමුණ වී තිබුනේ මෙයද ? පැවති ජනපීඩක මිත්යාදෘෂ්ඨික පුජක පාලනයට එරෙහිව නැගී සිටිමින් ජනතාව වෙනුවෙන්ම හඬ නගා එතුමා ජීවිතය මුදා හලේය. ඔහුට අලගු තැබීමට හෝ කිසිවෙකු ඒ ආගමික සමාජයේ දැන් නැත. සියල්ල ඇත හැර නවීන පන්නයට සියල්ල හුරු කර ඇත.

අල්කයිඩා , අයි එස් , බොකෝ හරාම් , තලේබාන් වැනි ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන බිහි කරනු ලබන්නේ මොහොමඩ් නබි දෙසු සාමය සහජීවනය පිරි ඉස්ලාමය පදනම් කරගෙන නොවේ. ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම් වලින් පරි බාහිරව ගොඩනගා ගත් විවිධ මිත්යාදෘෂ්ඨික මතවාදයන්ට අරාබියේ ඔලමොට්ටල මිනිසුන් ඔහුගේ වියෝවෙන් පසුව ගොදුරු විය. ගෝත්‍රවලට අනුව ඇදහීම් වෙනස් වන්නට පටන් ගන්නා ලදී. ඉන් පසුව අරාබි අර්ධද්වීපය පුරා විසිරී ගිය ජන කොටස් තුලින් සියා සුන්නි වැනි විවිධ ගෝත්‍ර කුල සිරිත් අනුව ආගම තව දුරටත් විකෘති විය. මෙන්න මේ විකෘතිය හඹා ආ ඇමෙරිකානු සිඅයිඒ සංවිධානය විසින් එහි නායකත්වය සමග කුළුපග සම්බන්ද කම් පවත්වන ලදී . ඉන් පසුව කුප්‍රකට සිඅයිඒ සංවිධානයේ මැදිහත් වීමෙන් මෙම ඉස්ලාම් කල්ලි සන්නද්ධ කිරීම ආරම්භ කරන ලදී. බින්ලාඩන් මේ ලොවට හඳුන්වා දෙනු ලබන්නේ ඉස්ලාමය විසින් නොවේ. රුසියානු හමුදා ඇෆ්ඝ්නිස්තානය ආක්‍රමණය කිරිමෙන් පසුව බින්ලාඩන් සමග සන්නද්ධ කණ්ඩායම් ඇෆ්ඝනිස්තානයට පිටත් කර හැරියේය. ඉස්ලාමයේ සළු පිලි දවටාගෙන ඇමෙරිකානු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියේය. ඔහුගේ අවසානය දක්වාම ඉස්ලාමය තම ගැලවීමේ පලිහ වශයෙන් උපයෝගී කරමින් ඇමෙරිකාව වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කර රහසිගත ස්ථානයකදී මරා දැමිය. ඉන් පසුව බිහි වූ ඉස්ලාම් දේශයක් වෙනුවෙන් පෙනී සිටි අයිඑස් සංවිධානයේ නිර්මාතෘ ඇල් බැග්ඩාගි යනු ඉරාන ඉරාක යුද්ධයේදී ඉරානයට එරෙහිව ඇමෙරිකාව විසින් මානන ලද පුද්ගලයෙකි. ඔහු ඇතුළු සියලු සටන් කරුවන්ගේ පුහුණුවීම් සියල්ල සිදුවුයේ ජෝර්දාන දේශසීමාවේදී ඉශ්රායෙල් මොසාඩ් ඔත්තු සේවය විසිනි. ඇමෙරිකාවට හිතැති පාලනයක් සිරියාව තුලද , ඉරාකය තුලද , ඉන් පසුව ඉරානය තුලද බිහි කිරීම මේ ත්‍රස්ත කල්ලි නායකයා හරහා ඇමෙරිකාව බලාපොරොත්තු විය. ඉස්ලාමයේ ශෝස්ත්‍ර ගායනා කරමින් , එහි ඇති ශාරියා නීතියද අති අමානුෂික ලෙස විකෘති කරමින් ඔවුන්ටම ආවේනික මිලේච්ඡත්වය කරා ආගම පීලි ගත කළේය. ඇමෙරිකානු උවමනා එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම නව ආගමික මොඩලය වටා ලොව පුරා තකතීරු ඉස්ලාම් තරුණ තරුණියන් අතර ඇත්තේ උන්මාදයකි . ශුද්ධ වූ යුද්ධයකට පැමිණ ජීවිතය පරිත්‍යාග කිරීම තමාට මෝක්ෂය උදා කරගත හැකි බව නුතන ඉගැන්වීමයි. ඇමෙරිකානු නිර්මාණයන්ට අනුව මෙහෙය වන නුතන ඉස්ලාමයට අනුව හැඩ ගැසෙන බොහෝ රටවල් දැඩි පිළිකුලට භාජනය වී අවසන්ය. තතු මෙසේ තිබියදී ටියුනීසියාව , සුධී අරාබිය වැනි රටවල තමන්ගේ ගල් යුගයේ ගෝත්‍ර නීතිරීති වෙනස් කරමින් ශිෂ්ඨත්වය කරා පා නගන අයුරු මේ දිනවල පෙනෙන්නට තිබේ. සැබෑ ඉස්ලාමය පවා විකෘති කරමින් ක්‍රියාත්මක වන ශාරියා නීතිය තුලින් කාන්තාවන් දැඩිව ග්‍රහණයට නතු වූ සෞදි අරාබිය තුල මේ වන විට කාන්තා අයිතීන් එකින් එක පිරිහෙමින් පවතී. ඒ වත්මන් නායකත්වය තුලින් ලැබෙන අභාෂය තුලය. එහෙත් ලංකාව වැනි නබි තුමා පහල වීමටත් පෙර ශිෂ්ඨත්වය ලැබූ රටක විසු මිනිසුන් ලෝකයට ආදර්ශමත්ව ජීවත්ව ඇත. මීට වසර 500 කට ආසන්න යුගයේදී මෙරටට ලඟා වූ මුස්ලිම් වරුන් තුල තිබී ඇත්තේ මේ රටට අනුකුල සිරිත් විරිත් මිසක , අරාබියේ ගල් යුගයෙන් කරපිනාගෙන ආ දේ නොවේ. ඔවුන් මේ සමාජයේ අනෙකුත් මිනිසුන් සමග වෙලහෙලඳම් කරමින් චිරාත් කාලයක් කටයුතු කල මිනිසුන් වුහ. එහෙත් මීට වසර කිහිපයකට පෙර හුදු මුදල් ඉපැයීමේ පරමාර්ථය පෙරදැරි කරගත් මෙරට අන්තවාදී කොටස් අරාබියේ වහාබ් සංවිධාන සමග එක්ව මේ රටේ එතෙක් පවතී සහජීවනය අවුලින් අවුලට පත් කරමින් ගල් යුගයේ සිරිත් විරිත් වලට සම්ප්‍රධායික ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාව පමණක් නොව ඉස්ලාම් පල්ලියද යට කරගත්තේය. මේ පිටුපස ඇත්තේ සැබෑ ඉස්ලාමය නොව අරාබියේ දිනාර් හා රියාල්ය. අප නැවත හරි බැලිය යුත්තේ නබි තුමාගේ ඉස්ලාමයට මිසක බින්ලාඩන්, අල් බැග්ඩාගි, මෙරට ජමාත් කල්ලි වල ඊනියා ඉස්ලාමයට නොවේ.

බුදුන් වහන්සේ මීට වසර තුන් දහසකට ආසන්න කාලයේදී ලොවට ජනිත වුයේ අශිෂ්ඨ වූ ලෝකය ශිෂ්ඨ සම්පන්න කිරීමටය. ලෝකයේ ඉපැරණිම දහමක් වන බුදු සමය, මෙලොවට දායාද වන විට සමාජය තුල දැකිය හැකි වුයේ මිලේච්ඡත්වයයි. විවිධ පන්තීන්ට , කුලයන්ට , ජාතීන්ට බෙදා වෙන්කර තිබු ලෝකය තුල , බලය පීඩාකාරී ලෙස සමාජ ගත කර තිබුනේ කුලවතුන් විසිනි. මිනිසාට මිනිසෙකු ලෙස උදාරවත් ජීවිතයක් වෙනුවට සදාකාලික අඳුර ඔවුන් අත් විඳිමින් සිටියේය. බුදුන් තම ප්‍රථම අභියෝගය එල්ල කලේ තමා උපන් මහේශාක්‍ය රාජකියත්වයට එරෙහිවය. ඔහු තම ගමන ආරම්භ කලේ ජනතාව දුකට පත් වූ හේතුන් සොයා ඉන් මුදවාගත හැකි විමුක්තිකාමය දෙසටය. ඔහු ගේ ධර්මයේ මුලික ඉගැන්වීම් වන්නේ සියල්ල අත්හැර කෙලෙස් ධමනය කර දැහැමි ජීවිතයකට මිනිසා හුරු විය යුතු බවය. වෛරය වෙනුවට ශාන්තිය, භේදය වෙනුවට සහජීවනය, ජාතිය වෙනුවට මනුෂ්‍යත්වය අසමානත්වය වෙනුවට සමානත්වය පිරුණු බුදු දහම ලොවට බෙදා හැරියේය. ඔහුගේ මග ගත බොහෝ ශ්‍රමණයින් මේ අමාදහර ලොව පුරා බෙදා දීමට උත්සුක වුයේද , ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුවය. ශ්‍රී ලංකාවට මිහිඳු හිමි ධර්මය රැගෙන එනවිටද , මේ රටේ රජුද සතුන් මරා කමින් ජීවත් වූ මිලේච්ච සමාජයේ එක් චරිතයක් පමණක් විය. මිහිඳු ගේ ආගමනයත් සමගම මේ රට ශිෂ්ඨත්වය කරා පැමිණියේ බුදු දහමේ බලපෑම මතය.

ආගමකින් සමාජය ගලවා ගත හැකි මග ඉහතකී කි සෑම ශාතෘවරයෙකු මෙන්ම ගෞතම බුදුන්ද එකසේ දේශනා කල දහම වේ. ශාන්තිය , ඉවසීම, සහජීවනය පිරි බුදු මග ඔස්සේ පියමැන්න අයෙකුට වෛරයෙන් මුසපත්ව පොලු මුගුරු අතැතිව තවත් මිනිසෙකුගේ ගේ උණු ලේ දැකිය හැකි නම් ඒ බුදු දහම දැයි ප්‍රශ්නයක් වී ඇත. බුරුමයේ විරාතු වැනි අශීලාචාර භික්ෂුන් බිහිවන්නේ බුදු දහමේ ප්‍රතිපලයක් මත නොවේ. එරට ගිල ගනිමින් ආ චීන වෙළඳ අධිකාරිය විසින් සමස්ත බුරුමයම පාලනය කෙරෙන අදෘශ්‍යමාන බලවේගය බවට පත් විය. එය බටහිර නුතන අධිරාජ්‍යවාදය කෙසේවත් ඉවසා නොසිටියයේ. ඒ වෙනුවෙන් 1945 යුගයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් රැගෙන ආ රෝහින්යා ජන කොටස එරටේ පදිංචි කළේය. ඒ අනාගත අර්බුධයකට අවැසි වස්තු බීජය ලෙසය. ඉන් පසුව රෝහින්යා ජනයා ඉතා ශුක්ෂම ලෙස සන්නද්ධ කරනු ලැබුවේ බෞද්ධ බහුතරයකින් ගොඩ නගන ලද 969 ව්‍යාපාරයට එරෙහිවය. වර්තමානයේ විරාතු හිමියන් විසින් මෙයට නායකත්වය දුන්නද , බුරුම සමාජය තුල මෙයට දීර්ග ඉතිහාසයක් ඇති සංවිධානයකි. නමුත් වර්තමානය වන විට මෙම සංවිධානය මෙහෙයවනු ලබන්නේ බටහිර බලවේගයන් විසිනි. ඔවුන් තනි බෞද්ධ රටක් වෙනුවෙන් ප්‍රචන්ඩත්වය අවුලවන්නේ දේශීය උවමනාවන් වෙනුවෙන් නොවේ. බටහිර අපේක්ෂාව වන්නේ රට තුල අභ්‍යන්තර සිවිල් යුද්ධයකි. ඉන් වඩාත්ම පහර වදින්නේ චීනයට වන නිසාත් , නැවත එරට දේශපාලනයට මැදිහත් වීමට සුදුසු පරිසරය ගොඩ නැගෙන්නේ ඉන් අනතුරුවය. බුරුමය තුල මෙවැනි ගිනි අවුලමින් බටහිර මෙතරම් දත කන හේතුවද දැන් අනාවරණය වී ඇත. ලෝකයේ නොඉඳුල් ස්වභාවික සම්පත්වලින් අනුන් රටක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, එරට තුල නිදන් ගතව ඇති මැණික් සම්පත මිලකළ නොහැකි වටිනාකමින් යුත් බව මේ වන විට සොයාගෙන ඇත.


විරාතු ගේ මගගත් බොදු බල සේනා, රාවණා බලය වැනි කුප්‍රකට සංවිධාන මෙරටේ ස්ථාපනය වන්නේ යුද්ධය අවසන් වී වසර ගණනාවක් ඉක්ම යාමෙන් අනතුරුවය. වසර තිස් ගණනක ශාපලත් ලේ වැගිරීමට නිමාව තබමින් සිංහල දමිල මුස්ලිම් ජනයා සැනසුම් සුසුම් හෙලුවා පමණකි. එහෙත් විදේශ බලවේගයන්ට ගොදුරු වූ අප වැනි පසුගාමී , ණය බරින් හෙම්බත් වූ රටවලට උන්ගේ අභිමතයන් වලට එරෙහිව යා නොහැක. අප ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුවය. මේ රටේ බෙදුම්වාදයේ ඉතිහාසය අපට කියන්නේ කුමක්ද ? ඔබ කොතැනකදී හෝ අපට හමුවන සාමන්‍ය දෙමල ජාතිකයෙකු බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවක් දැක තිබේද ? නැත . මෙම ගැටුමේ ආරම්භය වන්නේ මෙරටේ අවස්ථාවාදී දමිල දේශපාලුවන් හා විදේශ බලවේගයන් අතර පැවති දීර්ඝ සාකච්චාවල ප්‍රතිපලයක් වශයෙන් ප්‍රභාකරන් කෙනෙකු බිහි කිරීමය. අවසානයේ දමිල සමාජයෙන් ලැබුණු සහය මතම යුද්ධය මහා ලේ වැගිරීමකින් කෙලවර වූ අතර, මිනිස් ජීවිත ලක්ෂ ගණනින් මේ මව්බිමට අහිමි විය. වසර 30 ක යුද්ධයේ ඉතාමත් අවාසනාවන්ත ප්‍රතිපලය අතරින් කැපි පෙනෙන සිදුවීම් වන්නේ වැන්දඹුවන් ලක්ෂයක් පමණ මේ රටේ බිහිවීමය. එවන් අභාවාචක අත්දැකීම් උත´රුම වූ ජාතියකට නැවත කුමන අපදනමකින් හෝ යුද්ධයක් හෝ අවිගත් ගැටුමක් අවැසි නැත. මේ රටේ 99% ක් වූ ලාංකීය ජනයාට අවශ්‍ය වන්නේ සහජීවනයෙන් යුතු සාමකාමී ලංකාවකි. එහෙත් ඒ සීමාව නැවත බිඳ දමන්නට විදේශ බලවේග සමත් විය. වසර තිස් ගණනක් දෙමල සමාජය මත මුදාහැර තිබු මිලේච්ඡත්වය, පීඩනය, මිලිටරි බලය නැවත හැරෙන්නේ මේ රටේ ජනගනත්වය අනුව තෙවන බලවේගය වන මුස්ලිම් සමාජයටය. එයද ඕපපාතිකව බිහි වන්නක් නොවේ. ඉතා ශුක්ෂම ලෙස මේ රටේ ඉස්ලාමය විකෘති ලෙස අදහන ඉතා සුළුතරයක් තෝරාගන්නා ලදී. ඔවුන් හා අරාබියේ වහාබ් , සුන්නි කල්ලි අතර ඉතා කුළුපග සබඳතා බිහිකළේය. මෙම කල්ලි විසින් මේ රටේ නැගෙනහිර ප්‍රදේශවල හා කොළඹ තෝරාගත් ප්‍රදේශවලදී ශාරියා නීතියට අනුව ජීවත් වීමට හුරු කරමින් යටබිම්ගත ව්‍යාපාරයක් ගෙන තහුජිත් ජමාත් වැනි අන්තවාදී කල්ලි විසින් ගෙන ගියහ. මෙවැනි පසු බිමක් නොවන්නට බෞද්ධ අන්තවාදී කල්ලි මේ රටේ රෝපණය කල නොහැක. බොදු බලසේනා, රාවණා බලය වැනි අන්තවාදී කල්ලි මේ රටේ ස්ථාපිත වන්නේ තහුජිත් ජාමාත් වැනි ඉස්ලාම් අන්තවාදයට පිළිතුරු දීමට බව ඕනෑම කෙනෙකුට බලු බැල්මට පෙනෙන්නේද ?. නැත..! ඒ වටා එති ඇත්තේ වෙනම බංකොලොත් දේශපාලන ප්‍රපංචයන් ගණනාවක් බව හෙළිවන්නේ එය ආරම්භ වී වසර ගණනාවක් ඉක්ම යාමෙන් පසුවය. බොදු බල සේනාව, රාවණා බලය  විසින් මෙරට මුස්ලිම් ජනයාට එල්ලවන පීඩනය යම් තාක් දුරට අදු වන විට මහසෝන් බලකාය බිහිවේ. ඒ වනවිට රට පුරා තරුණ සිංහල කොටස් අතර උන්මාදයක් සේ පැතිර යන මුස්ලිම් විරෝධය හරහා මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවට එය පත් විය. ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික සිංහල ශ්‍රමිකයින්ගෙන් එයට නොමසුරුව ආධාර උපකාර ලැබුණි. එමෙන්ම මේ මේ රටේ සිංහල ව්‍යාපාරිකයින්ගෙන් ද යහමින් මුදල් ලැබී ඇත. නගරයක මුස්ලිම් කඩ වැඩිවීමට එරෙහිව ඔවුන් විටෙන් විට අරගල කරන ලද්දේ එකී උවමනාව පිණිසය. මුස්ලිම් කඩ වර්ජනය කිරීම ඔවුන්ගේ තවත් සටන් පාඨයකි. නමුත් බොදු බල සේනා සහ රාවණා බලය  පෙනී සිටියේ සත්‍ය වශයෙන්ම වෙනම බංකොලොත් දේශපාලන න්‍යාය පත්‍රයකටය.

මේ රට තිස් වසරක යුද්ධයෙන් ජය ගැනීමට නොහැකි වූ උතුරේ බෙදුම්වාදය , වෙනත් දෘෂ්ඨි කෝණයකින් රැගෙන ඒමට මෙම අන්තවාදී බෞද්ධ කල්ලි යොදාගෙන ඇත. වරෙක මෙහි න්‍යායචාර්ය වූ ඥානසාර හිමියන් නොර්වේ, ප්‍රංශයේ හා ඇමෙරිකාවේ වැඩමුළු කිහිපයකට සහභාගී වී ඇත. ඒ පිලිබදව එවකට පැවති රාජපක්ෂ රෙජීමය පවා කෙල බිඳක් හෙළුවේ නැත. වර්තමානයේ දී ලෝකයේ බෙදුම්වාදය ජයග්‍රහණය කරනු ලබන්නේ අවි අමෝරාගෙන කෙරෙන දීර්ඝ කාලින යුද්ධයකින් නොවේ. ඊට වෙනස් ඉතා සරල විසඳුමක් ඔවුන් මේ වනවිට නිර්මාණය කර ඇත. පින්ලන්ත හිටපු ජනපති අස්වාරි විසින් ස්ථාපනය කර ඇති INTERNATIONAL CRISSI GROUP ආයතනය වූ කලි එම සංවිධානයට අනුගත ආයතනයකි. සර්බියාවෙන් කොසොවෝ වෙන් කිරීමට පාධක වුයේ භාෂාවේ ඇති වෙනස්කම මතය. එයම අනුගමනය කරමින් රුසියාවේ පුටින් විසින් යුක්රේනයට අයත් ව තිබු ක්‍රිමියාව රුසියානු බස කතාකිරීමේ පදනම මත බෙදා වෙන් කරගත්තේය. මේ ඓතිහාසික කරුණු පදනම් කර ගනිමින් , මෙතෙක් සිංහල බහුතර සමාජය සමග සමීප සබැඳියාවක් ගොඩනගා ගෙන සිටි මුස්ලිම් සමාජය විරසක කිරීමේ මාර්ගය ගොඩනැගිය. ඔවුන් එක පසෙකින් තහුජිත් ජමාත් කල්ලියට අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව ලබාදෙන අතර , අනෙක් පසෙකින් බොදු බල සේනා , සිංහලේ , රාවනා , මහසෝන් කල්ලි අටවනු ලබයි. ගැටුම උත්සන්න වන විට එහි අවසානයෙදී දැකිය හැක්කේ අවිගත් දෙපිරිසකි. එවැනි අවසානයකට පැමිණෙන තුරු ලෝකයේ බෙදුම්වාදය නිර්මාණය කරන බලවතුන් හොර ගල් අහුලමින් සිටි. යම් දිනක ගැටුමේ උද්වේගකර අවස්ථාව එළඹුණු විට සුදු පරෙවියන් දෝතින් රැගෙන කටුනායකින් මෙරටට අවතීර්ණ වනු ඇත. උතුරේ හා නැගෙනහිර ජීවත්වන බහුතරය වන දෙමල හා මුස්ලිම් ජනයා අතර ජනමත විචාරණයක් පවත්වා බෙදී වෙන් වීමට අවැසි අවසරය පතනු ඇත. එය යෝජනාවක් සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර වෙනම රටක් ලෙස ලෝක බලවතුන් විසින් පිළිගනු ඇත. එසේ නම් මේ දියත්වන්නේ සැබෑ බුද්ධ පුත්‍රයන්ගේ බෞද්ධාගම රක ගැනීමේ උත්සාහයක්ද යන්න විමසිය යුතුය. ඉස්ලාමය දඩමීමා කරගනිමින් බිහිවන අන්තවාදී කල්ලි තුල ඇත්තේද කාගේ හෝ උවමනාවකි . එමෙන්ම බෞද්ධ අන්තවාදී කල්ලි ගොඩ නගා ඇත්තේද මේ රටේ සාමන්‍ය බෞද්ධ ජනයාගේ උවමනාවකට නොවේ.

6,115 Viewers

No comments