Header Ads

test

හොරුන්ට සක්විති කිරුළ


ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජී.එල්. පීරිස්ගේ පක්ෂය අතර මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා සාර්ථක වෙමින් තිබෙන බව අනාවරණය වන අතර මෙම තත්ත්වය තුළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිශ්චිතව හඳුනාගෙන ඇති මූල්‍ය අපරාධකරුවන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග නොගනු ඇති බව තහවුරු වී තිබේ.

මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිෂන් සභාව රාජ්‍ය ආයතන 34ක මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම් හඳුනාගෙන දණ්ඩනීති සංග්‍රහය යටතේ චූදිතයන් අධිකරණය ඉදිරියට පැමිණැවිය හැකි බව නිර්දේශ කර ඇත.

මේ අනුව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නන්දසේන ගෝඨාභය යන රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් තිදෙනෙකු ඇතුළු චූදිතයන් රැසක් හඳුනාගෙන ඇත. ඉතා පැහැදිළිව රාජ්‍ය ආයතනවල මහජන මුදල් සහ සම්පත් අවභාවිතය, මිලේච්ඡ මිනීමැරුම් සම්බන්ධ කරුණු මොවුන්ට විරුද්ධව තහවුරු වී තිබේ.

එසේ තිබියදී මෙවුන් එක් වී පිහිටුවාගෙන තිබෙන පක්ෂය සහ ජනාධිපතිවරයා නායකත්වය දෙන සංවිධාන අතර මූලික එකඟතා හතරක් යටතේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග දියත් කිරිමට එකඟ වී ඇත.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දෙපිරිස එක්ව කටයුතු කිරීම, මැයි දිනය ඒකාබද්ධව පැවැත්වීම, ඉදිරි පළාත් සභා මැතිවරණයට දෙපිරිස එක්ව තරඟ කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකු තෝරා ඉදිරිපත් කිරීම යන කරුණුවලට එකඟව ඊට අදාළ සැළසුම් සකස් කිරීමට තීරණය කර තිබේ.

පහුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හමුවී සෘජුව සාකච්ඡා කිරීමෙන් පසුව ඉතා පැහැදිළි එකඟතාවයකට පැමිණ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දෙපිරිසම නියෝජිත කමිටුවක්ද පත් කර ඇති බව අනාවරණය වේ.

6,775 Viewers

No comments