Header Ads

test

ප්‍රංශකාරයෝ ගල් අරක්කු බොන්නේ විස්කි වගේ කියලා


මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේරාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක අටවැන්නයි. මෙවර අපේ කථානායකයා වන්නේ මොහොමඩ් සහිබ් මහතා ය. ඔහු ප්‍රංශ සහ ස්පාඤ්ඥ භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන පළපුරැදු ගයිඩ් මහතෙකි. 
අපට මෙතෙක් හමුවූයේ ඉංග්‍රීසි සහ ජර්මන් යන භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන ගයිඩ් මහත්වරුය. එනිසා පළමුකොටම ප්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා උගෙනීමට මොහොමඩ් මහතා යොමුවූ හැටි අහන්නට සිත්විය. 
“මම ජීවිතේ පටන් ගත්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහටයි. මට ඒ කාලේ ඉඳන්ම විදේශ භාෂා ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බා. මුලින්ම කැලණිය කැම්පස් එකෙන් ප්‍රංශ, රුසියන් සහ ජර්මන් භාෂා ඉගෙන ගත්තා. පස්සේ ස්පාඤ්ඤ භාෂාවත් ඉගෙන ගත්තා” 
ඔහු අසූව දශකයේ මැද භාගයේදී සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස ඊට අදාළ බලපත්‍රය ලබාගත්ත ද පසුව විවිධ රැකියාවලට යොමුවීම නිසා 2004 වනතෙක්ම ඔහු ගයිඩ් වෘත්තියට පූර්ණකාලීනව පිවිසුණේ නැත. “භාෂා කිහිපයක්ම කතාකරන්න පුළුවන් වුණත් මම සේවය කරන්නේ ප්‍රංශ සහ ස්පාඤ්ඤ ටුවරිස්ට්ලට විතරයි” 
හිත උණුවෙන ප්‍රංශකාරයෝ
“ප්‍රංශ අයගේ මම දැකපු විශේෂම දෙයක් තමයි හරි ඉක්මනට හිත උණු වෙනවා. හරිම මානව දයාවෙන් පිරුණු ජාතියක්” ඔහු ප්‍රංශ ජාතිකයන් ගැන කතාවට එළඹුණේ එසේ ය. 
සාමාන්‍යයෙන් හෝටලයක නවාතැන් ගැනීමේදී අදාළ සංචාරකයාට හිමිවන පහසුකම් ඒ අයුරින්ම වාගේ ගයිඩ් මහතාටත් හිමිවේ. ඒ හා සමාන හෝටල් කාමරයක්, ඒ හා සමාන ආහාර ආදී සියල්ල ඔහුට හිමිවේ. නමුත් ඔවුන් සමඟ යන රියදුරු සහ රියදුරු සහායක නවාතැන් ගන්නේ වෙනම ස්ථානයක ය. ඔවුන් ආහාර ගන්නේ ද වෙනම ය. 
“ෆ්‍රෙන්ච් ටුවරිස්ට්ලා ගොඩක් වෙලාවට හොටෙල් එකේ කෑම කන්න ගියාම මගෙන් ඩ්‍රයිවර් ගැනයි හෙල්පර් ගැනයි අහනවා. එයාලාටත් අපිත් එක්ක කන්න පුළුවන්නෙ කියලා අපිට කියනවා. අපි හිතන්නෙවත් නැති ඒ වගේ දේවල් ගැන එයාලා ගොඩක් හිතනවා” 
මීට මාසයකට පමණ ඉහතදී ගිය සංචාරයක් අතරතුරදී ද ප්‍රංශකාරයන්ගේ සංවේදී මානුෂික ගුණාංග මැනවින් පිළිබිඹු වූ සංසිද්ධියක් ඔහු අත්වින්දේය. 
“අපි තේ වත්තකට ගිහිල්ලා ඉන්දැද්දි අහළ පහළ ඉන්න ළමයි කීපදෙනෙක් ටුවරිස්ට්ලගෙන් ස්වීට්ස් ජාති ඉල්ලගෙන ආවා. ඒ ළමයිව දැකලා දුක හිතුණු අපේ කට්ටියට එයාලගෙ ගෙවල් බලන්න යන්න ඕනෙ කිව්වා. අර ලැයින් කාමර දැකලා එයාලා හරියට කම්පා වුණා. අන්තිමට මගෙන් ඇහුවා ඔයාලගෙ ආණ්ඩුව මේ මිනිස්සුන්ට සලකන්නෙ නැත්තේ ඇයි කියලා”
තවත් වතාවක පින්නවලදී එක් ප්‍රංශ තරුණියක් කොයිතරම් සංවේදී වූවාද කියතොත් ඇය පින්නවල ගත කළ පැයකට ආසන්න කාලයම ගත කළේ කඳුළු පිරුණු දෑසිනි. 
“අර බලන්න අර සතාගේ කකුල්වලට දම්වැල් දාලා. ඒ තැන් හම ගිහින් සුදුවෙලා. කොයිතරම් වදයක් ද ඒ සතාට දෙන්නෙ?” ඇය මොහොමඩ්ට පැවසුවාය. 
“මෙහෙමයි මැඩම්. ඕකෙ දෙපැත්තක් තියෙනවා. ඔය සතා කැලේ හිටියා නම් ගම් වැදිලා මිනිස්සු අතින් මැරෙන්නත් ඉඩ තිබ්බා. නමුත් මෙතන ඉන්න නිසා වෙලාවට කන්න බොන්න නාන්න සේරම එයාට ලැබෙනවා. ඒ ගැනත් අමතක කරන්න බෑ”
ආපසු යන අතරේදී ඔවුන් මිලදී ගන්නා සමරු භාණ්ඩ අතර වැඩිම තැනක් හිමිවන්නේ ද ලීයෙන් තැනූ කුඩා අලි පැටවුන්ට ය. තම පවුලේ මිතුරන්ට, කාර්යාලයේ මිතුරන්ට තෑගි දෙන්නට එවැනි කුඩා කුඩා තෑගි මිලදී ගැනීම අනිවාර්ය දෙයකි. 
ඉංග්‍රීසිකාරයන්ව පේන්න බෑ
ප්‍රංශයට මධ්‍යතන යුගයේ සිට බ්‍රිතාන්‍ය සමඟ ඇත්තේ සීතල ආරවුලකි. මේ නිසාම ඔවුන් බ්‍රිතාන්‍යයට එතරම් කැමති නැත. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පවා කිසිම උනන්දුවක් ඔවුන්ට නැත. 
“එයාලා අපිට පෙන්නුවේ නැති වුණාට පාර තොටේදී හරි ඉංග්‍රීසි ජාතිකයෙක් මුණගැහුණම මෙයාලගේ මූණ එච්චර හරි නෑ. එයාලා අතර අතීතේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බනේ. ඔය නැපෝලියන් යුද්ධෙ එහෙම. ඉතින් අසල්වැසියෝ වුණාට මෙයාලට ඉංග්‍රීසිකාරයන්ව පේන්න බෑ. ඉංග්‍රීසි අයට වගේම අමෙරිකන් අයටත් එයාලා එච්චර කැමති නෑ” 
ප්‍රංශ ජාතිකයන් බොහෝවිට ඉන්දියාව කෙරෙහි දක්වන්නේ ද වෙනස් ආකල්පයකි. ලංකාවට, දකුණු ආසියාවට පැමිණි ගමනේදී මාලදිවයිනටත් ගොඩවෙන්නට අමතක නොකරන බොහෝ ප්‍රංශ සංචාරකයෝ කිසිසේත් ඉන්දියාවට යන්නට උනන්දුවක් නොදක්වති. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙන අපිරිසිදුකම ඊට ප්‍රධානම හේතුව බව මොහොමඩ් පවසයි. 
“එයාලා කියන්නේ අපිට ඉන්දියාවේ දුප්පත්කම බලන්න ඕන නෑ. ඒක හරිම අමාරැ දෙයක් කියලයි. ඒ කිව්වට මට නම් හිතෙන්නෙ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අපිරිසිදුකම තමයි එයාලා ඉන්දියාවට නොයන්න ලොකුම හේතුව” 
ෆුල්ටොස් මැද්දට යෝකර්
ප්‍රංශ ජාතිකයන් ලංකාවට එන්නේ ලංකාව ගැන හොඳ අවබෝධයකිනි. ලංකාවේ දේශපාලනය, සංස්කෘතිය, ආර්ථිකය, ක්‍රීඩාව වැනි බොහෝ තොරතුරු ගැන අන්තර්ජාලයෙන් මෙන්ම මාර්ගෝපදේශන පොත්වලින් උගන්නා ඔවුන් ලංකාව එන්නේ උඩින් පල්ලෙන් විස්තර දැනගන්නට නොව ගැඹුරට කරුණු හාරා අවුස්සා දැනගන්නට ය. 
“මම දන්න විදිහට අනිත් කිසිම ජාතියකට වඩා ප්‍රංශ ජාතිකයෝ තමන් දකින දේවල් ගැන ගොඩක් ගැඹුරට හොයනවා. එයාලත් එක්ක වැඩකරන එක ලේසි නෑ ඉතින්” 
ගයිඩ් මහතකු හරියට ඇවිදින විශ්වකෝෂයක් බඳු තැනැත්තෙකි. අඩුම තරමේ සංචාරකයා තම ගයිඩ්වරයා දෙස බලන්නේ එවැනි ඇසකිනි. ෆුල්ටොස් වැනි පහසු පන්දු අතරේ යෝකර් පන්දු වැනි ප්‍රශ්න ද ඔවුන් එල්ල කරන්නේ එහෙයිනි. 
“ඔයාලගේ රටේ වැඩිදෙනෙක් බෞද්ධයොනෙ. පන්සිල්වල තියෙනවා බෞද්ධයන්ට මත්පැන් බොන්න හොඳ නැහැ කියලා. ඒත් බලන්න මේ හැමතැනම බාර් නෙ” ලක්ෂරි බසයේ නැඟී යන අතරේදී වරක් ප්‍රංශකාරයෙකු දැමූ යෝකරයට ඔහුට කරකියා ගන්නට දෙයක් නැතිවිය. 
සූර්වෙන සුද්දෝ 
බෞද්ධයන් නොවන ප්‍රංශ ජාතිකයන්ට නම් මත්පැන් යනු දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයකි. ලංකාවට පැමිණියද ඒ පුරුද්දෙහි වෙනසක් නැත. 
“අර ගල් අරක්කු කියලා බීමක් තියෙන්නෙ. අන්න ඒකට ප්‍රංශකාරයෝ හරිම කැමතියි. ඒක හරියට විස්කි වගේ කිය කිය බොනවා. හැබැයි සෝඩා ටිකකුත් කලවම් කරගෙන කඩල හරි චිප්ස් හරි තියාගෙන හරියට අපේ මිනිස්සු අරක්කු බොනවා වගේම තමයි එයාලත් බොන්නෙ. ඒ හැරුණම ලංකාවේ බියර්වලටත් ඒගොල්ලෝ ආසයි”
වරක් පමණට වඩා සූර්වුණු ප්‍රංශකාරයෙක් නිසා මොහොමඩ් ලොකු අකරතැබ්බකට ද මුහුණදුන්නේ ය.
“අපි එදා ගාල්ල කිට්ටුව හෝටලේක නැවතිලා හිටියේ. කට්ටියම කාලා බීලා ඉවරවෙලා කාමරවලට ගියාට පස්සෙත් අපේ ග_ප් එකේ තනියම හිටපු ප්‍රංශ මනුස්සයෙක් බාර් එකට ගිහින් හොඳටම බීලා. අන්තිමට බීලා බීලා හෝටලේ පැත්තක වැටිලා ඉඳලා හොයාගත්තේ පහුවෙනිදා උදේයි. වැටිච්ච පාර මිනිහගේ නළල තුවාල වෙලා ලේ පවා ගලලා තිබුණා. අන්තිමේදී එයාට බෙහෙත් දාලා හෝටලේම නවත්තලා අපි ටුවර් එක ගියා”
කිස් කරන්න තහනම්! 
ප්‍රංශයේ පැරිස් නුවර සැලකෙන්නේ ආදරයේ අගනුවර වශයෙනි. රෝමාන්තික බවින් පිරුණු පැරීසිය යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලත් බොහෝ ආදරවන්තයන්ගේ සිහින නගරයකි. එවන් ආදරණීයත්වයකින් සිත් පුරවාගෙන සිටින ප්‍රංශ ජාතිකයන්ට ලංකාවේ වටපිටාව තරමක් නුහුරු වන්නට පුළුවනි. 
“මම ටුවර් එකක් පටන් ගනිද්දිම කියන දෙයක් තමයි මේක ලංකාව. අපේ සංස්කෘතිය ඔයාලගේ සංස්කෘතියට වඩා වෙනස්. ඒ නිසා පොදු ස්ථානවලදී කිස් කරන්න එහෙම එපා කියලා”
“ඉතින් කියන දේ අහනවද?” 
“අනේ ඔව්. කවුරුවත් ඒ ගැන තර්ක කරන්න එන්නෙ නෑ. හැබැයි ඉතින් ටුවර් අතරතුරේදී ඒ අය කිස් කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් දෙන්නෙක් කිස් කරද්දි අපිට ඒක නවත්තන්නත් බෑනෙ. හැබැයි එයාලා වුවමනාවෙන්ම එයාලගේ හැඟීම් පාලනය කරගන්න උත්සාහ ගන්න බවකුත් පේනවා”
ලංකාවේ ගෑනු පව්ලු... 
මොහොමඩ් පවසන ආකාරයට අපේ රටේ කාන්තාවන් සහ පිරිමින් අතරින් වැඩියෙන් වැඩ කරන්නේ කාන්තාවන් කියන අදහස මෙරට සංචාරය කරන බොහෝ ප්‍රංශ මෙන්ම ස්පාඤ්ඥ සංචාරකයන් තුළ ද පැළපදියම්ව ඇති අදහසකි. 
“අපි තේ වත්තකට ගියත් එතැන අව්වට පිච්චි පිච්චි දලු කඩන්නේ ගෑනු කට්ටිය. විලේජ් ටුවර්ස් ගියාම එතැන උයන්නේ කරන්නෙ ගෑනු අය. ඔය පාර අයිනේ ඉස්කෝල එහෙම හම්බවුණාම ළමයිව ගන්න ඉස්කෝලෙට ඇවිත් ඉන්නෙත් ගෑනු අය. ඉතින් ඕව දැක්කම හිනාවෙවී මගෙන් අහනවා ලංකාවේ පිරිමි අය මොකද කරන්නෙ? ගෙවල්වලට වෙලා බිබී ඉන්නවද කියලා?
(ස්පාඤ්ඤ සංචාරකයන්ගේ තවත් වින්දනීය අත්දැකීම් සමුදායක් සමඟ ලබන සතියේ මුණගැසෙමු) 

14,267 Viewers

No comments