Header Ads

test

ආර්ථික ඝාතකයන්ගේ මැදමුලන පංගුව


”අරාබියේ තියනවා ජනප‍්‍රිය කියමනක්. ඒ ලිංගික ක‍්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය, අනෙක ඒඞ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක‍්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඞ්ස් හැදුනා. ඒ නිසා රට පිම්මක් පනින්න නම් ආර්ථිකයට වැලඳී ඇති ඒඞ්ස් සුව කළ යුතු බවය.”
මේ උපුටා ගැනීම අප සිදු කළේ පසුගිය 11 වනදා අයවැය විවාදයට එක්වෙමින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සිදු කළ කතාවෙන්ය. එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවුල්වාදය සහ ගමට සලකන්න සිදු කළ මජර දේශපාලනය හැසිරීම හේතුවෙන් රටේ ආර්ථිකය ඒඞ්ස් ආසාදිතයකු වැන්නකුගේ තත්ත්වයට පත්ව ඇති බවය. කෙසේ වුවත් 2018 අයවැය සම්බන්ධව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුරින් සැලකිය යුතු වැදගත් කාරණා රැසක් අමාත්‍යවරයාගේ කතාවෙහි තිබු බව අපගේද අදහසය.
අයවැය සම්බන්ධ විවාදයක දී බොහෝ දෙනෙකු අයවැය ලේඛනයේ මතුපිට දකින්නට ඇති කාරණා කෙරෙහි උනන්දු වූ නමුත් පාඨලී අමාත්‍යවරයාගේ කතාවේ වූ විශේෂත්වය වූයේ ඔහු අයවැය මෙන්ම ආර්ථික අර්බුදයේ නියම මුල් ස්පර්ශ කිරීම කෙරෙහි දැක් වූ අවධානයයි.
සැබවින්ම මෙරට ආර්ථික අර්බුදයට අදාළව බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ ණය අර්බුදය ආර්ථික අර්බුදයට හේතුව ලෙස සලකමින්ය. එහෙත් එය මුළුමනින්ම නිවැරදි විග‍්‍රහයක් නොවේය. ණය අර්බුදය කියන්නේ පවතින අර්බුදයේ ප‍්‍රකාශනය. ආර්ථික අර්බුදයේ සැබෑ මුල් ඇත්තේ රාජ්‍ය වියදම සහ ආදායම අතර පරතරය දරාගත නොහැකි මට්ටමකට පත්වීමය. එම තත්ත්වය අඛණ්ඩව වර්ධනය වීමක් පෙන්නුම් කිරීම තුළ ය.
ඒ අනුව පවතින ආර්ථික අර්බුදය නිවැරදිව අල්ලගත්තා වන්නේ සහ ඊට නිවැරදිව විසඳුමක් සැපයුවා වන්නේ රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමට අයවැය කොතරම් දුරට මෙහෙයවූවා ද යන්න මතය. රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවේ යොදවන්නට අයවැය යෝජනා කොතරම් දායක වන්නේද යන්න මතය. 2018 අයවැය තුළ දක්නට ඇති වැදගත්ම කාරණය වන්නේ ද මෙයයි. පාඨලී අමාත්‍යවරයා මෙම කලාපය ඉතා නිවැරදිව මතුකර දක්වන අතර එහි දී, අයවැය හරහා කිසියම් දුරකට රටේ රාජ්‍ය අදායම වැඩි කර ගැනීම, ප‍්‍රාථමික ශේෂය දශක ගණනාවකට පසුව ධනාත්මකව පරිවර්තනය කර ගැනීමේ වැදගත් කම සහ සමස්ත අයවැය හිඟය කිසියම් දුරකට පාලනය කර ගැනීමත්, පැවති විෂම සංවර්ධන ප‍්‍රතිපත්තිය හමුවේ කොතරම් දියුණු ආර්ථික පිළිවෙතක් වුවත් ක‍්‍රියාවේ යෙදවීමේ ඇති අපහසුව යනාදී කාරණා විශේෂය.
බදු ප‍්‍රතිපත්තියේ වෙනස
පාඨලී අමාත්‍යවරයා මතුකර දැක්වූ ආකාරයට රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් රජයේ බදු ප‍්‍රතිපත්තියේ සිදු කිරීමට යෝජිත ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ තීරණාත්මක බලපෑමක් සිදු කරයි. ඊට නිදර්ශන ලෙස පාඨලී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2014 දී මුළු බදු අදායම බිලියන 1050ක් වූ අතර 2018 දී යෝජිත බදු අදායම බිලියන 2034ක් ලෙස වසර 3 වැනි කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුවේ රාජ්‍ය අදායම දෙගුණ කර ගැනීමට ක‍්‍රියා කිරීම විශිෂ්ට ප‍්‍රවේශයක් ලෙසය.
සැබවින්ම 2006 වසර වන විට මෙරට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 17.3%ක් ලෙස පැවතියත් 2014 වසර අවසානය වන විට එය සටහන් වුයේ 11.6%ක් වශයෙන්ය. ඒ අනුව දේශපේ‍්‍රමී ආර්ථිකය ගැන අද නන්දොඩවන මැදමුලන කල්ලිය ඉතා පැහැදිලිව පවතින ආර්ථික අර්බුදයට පාර කැපූ බව පැහැදිලිය. ඉතිහාසය තුළ අනුක‍්‍රමයෙන් පහළ ගිය බදු අදායම ඉහළ මට්ටමකට ගෙන ඒම සහ ඒ වෙනුවෙන් නව දේශීය ආදායම් බදු පනත ඉතා වැදගත් කටයුත්තක් ලෙස සිහිපත් කළයුතු වන්නේද මෙතනදීය. ඒ බව පාඨලී අමාත්‍යවරයා සිය අයවැය විවාදයේ දී කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, රාජ්‍ය බදු අදායම ශක් තිමත් කර ගැනීමට මෙවර අයවැය හරහා ගෙන ඇති ප‍්‍රවේශය හරහා 2014 වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩිකර ගැනීමට හැකියාව ලැබී ඇති බව පෙන්වා දෙමින්ය. එසේම 2020 පමණ වන විට රජයේ ඉලක්කය වන සෘජු බදු හා වක‍්‍ර බදු අදායම 40%,60% බවට පත් කර ගැනීම තුළින් සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන වක‍්‍ර බදු අවම කර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පවතින බදු ක‍්‍රමය තුළ සෘජු හා වක‍්‍ර බදු ආදායම පිළිවෙලින් 18% - 82% වන අතර සාමාන්‍ය ජනතාව මත බර තැබූ ප‍්‍රතිපත්තියක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ වැඩි පරිභෝජනයක් ඇති භාණ්ඩ වෙත පනවන වක‍්‍ර බදු හරහා පැවති රජයන් සිය බදු ආදායම තර කර ගත්තා මිස සෘජු බදු ප‍්‍රතිශතය ඉහළ දමා ගැනීම වෙනුවෙන් මැදිහත් වුයේ නැති තරම්ය. ඒ තුළ සිදු වූයේ සෘජු බදු ගෙවීම පැහැර හරින්නන් වැඩිවීම සහ ජනතාව මත පැටවෙන බදු බර අඛණ්ඩව වැඩිවීම පමණය. ජනතාව යන්තමින් හෝ සහනයක් ලැබුවේ මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ සම්ප‍්‍රදායික අයවැයක් හමුවේ තාවකාලිකව සිදු කළ භාණ්ඩ හා සේවා කිහිපයක බදු පහළ දැමීමේ දී පමණය. එහෙත් ඒ පරණ සෙල්ලම තාවකාලිකව ජනතාවට සහනයක් ගෙනාවත් රාජ්‍ය අදායම අඛණ්ඩව පහළ යවමින් ජනතාව පීඩනයට පත්වන වක‍්‍ර බදු වැඩිවීම ලෙස ක‍්‍රියාත්මක විය.
මේ ආකාරයට රාජ්‍ය බදු ආදායම අඛණ්ඩව දුර්වලවීම සඳහා පැවති පාලන සිදු කළේ රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීමටත් ණය ලබා ගැනීමය. එම කටයුත්ත ඉතිහාසයේ පෙර නොවූවිරූ ලෙස සහ වඩාත් අත්තනෝමතික ලෙස සිදු කළේ මැදමුලන පාලන සමයේදී ය. එම 2005-2014 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍ය ණයබරතාව 233% කින් ඉහළ ගිය අතර එනම් රුපියල් බිලියන 7391ක් දක්වා රාජ්‍ය ණයබර වර්ධනය විය. මේ කතාව කොතරම් අවධාරණය කර දැක්වුවත් මැදමුලන චෞර පවුල නොමැතිව ඇවිදින්න හෝ නැගිටින්න නොහැකි අය කීවේ ඒ කතා සියල්ල දේශපාලන මඩ කියාය.
කෙසේ වුවත් දැන් වන විට අර්බුදය දත් විලිස්සන්නට ගෙන ඇති නිසා විවිධ සළුවලින් වසං කරගෙන සිටි සැබෑ නිරුවත එළියට පැමිණ ඇත. නැතිනම් දැන් එළැඹ තිබෙන්නේ මැදමුලන පව් වලට සමස්ත ජනතාවක් වන්දි ගෙවන මොහොතය. ඒ බව ද පාඨලී අමාත්‍යවරයා අයවැය විවාදය තුළ තර්කානුකුලව පෙන්වා දුන්නේය. ඒ අනුව 2018 වසරේ රජයේ සමස්ත වියදම බිලියන 4079 ක් වන විට මුලික ණය කොටස් ගෙවීමට බිලියන 1150ක් හා පොලිය ගෙවීම සඳහා බිලියන 820 ක් පමණ වෙන්කරන්නට රජයට සිදුව ඇත. ඒ අනුව 2018 වසර සඳහා පමණක් සමස්ත ණය ගෙවීමට බිලියන 1970ක් අවශ්‍යව තිබේ. මෙය ඉතා විශාල මුදලක් වන අතර එම ප‍්‍රමාණය ජනගහනයෙන් බෙදූ විට සැම පුරවැසියෙකුම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ලබන වසර ණය ගෙවීම සදහා වැය කිරීමට සිදු වෙයි. එයින් රුපියල් 85,000 ක් පමණ රාජපක්ෂ පාලනය විසින් ගනු ලැබූ ණය ගෙවීමට යෙදවිය යුතු මුදල්ය. මැදමුලන චෞර පවුල් පාලනය මේ ණය කන්ද ගැන නිතර කියා සිටියේ රටේ සංවර්ධනයට අදාළ ණය ලබාගත් බවය. එහෙත් මේ වන විට ඉතා පැහැදිලිව හෙළිවී ඇති සත්‍ය වන්නේ ලබන වසරේ ගෙවීමට තිබෙන ණය සංවර්ධනය උදෙසා ලබා ගත් ණයම නොවන බවය. ගෙවීමට නියමිත සමස්ත ණය වාරිකයෙන් 84%ක් වෙන් කරන්නට සිදුව ඇත්තේ 2008, 2009 කාලය තුළ කරන ලද මහා පරිමාණයේ බැ`දුම්කර නිකුතුන් කල්පිරෙන බැවින් ඒවා පියවීමටය. ඒ අනුව 2018 වසරේ රුපියල් බිලියන 1970ක් අප ගෙවන විට පෙරලා රුපියල් බිලියන 1900ක් ණයට ගැනීමට රටට සිදුව ඇත.
ඒ අනුව රටේ ආර්ථිකය ඉතිහාසයේ අතිශය දුෂ්කරම කාලපරිච්ඡ්දය ගෙවමින් සිටින බව ද පැහැදිලිය. පාඨලී අමාත්‍යවරයා සිය අයවැය කතාවේ දැක්වූ ලෙස සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂයක් බැගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ණය ගෙවීමට දායක වන විට පෙරලා තවත් රුපියල් ලක්ෂයකින් ණයකාරයකු බවට පත්වෙමින් ඇත. සැබවින්ම මෙවැනි ඉරණමක් දක්වා රටේ ආර්ථිකය ගමන් කළ හේතුව කුමක්ද? රටේ කොතරම් දියුණු ආර්ථික ප‍්‍රතිපත්තියක් වෙත ගමන් කරවන්නට සැලසුම් සකස් කළත් එය අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්වන්නේ කෙසේද?
විෂම සංවර්ධනය
සැබවින්ම ඊට හේතු වූයේ අන් කිසිවක් නොව මැදමුලන චෞර පවුලේ හීනමානය මැකීම වෙනුවෙන් දියත් කළ විෂම සංවර්ධනයයි. කවුරු කොතරම් අකමැති වුවත්, කාට කෙතරම් තිත්ත වුවත් ඇත්ත කතාව එය නම් කරන්නට දෙයක් නැත. පාඨලී අමාත්‍යවරයා ඉතා පැහැදිළිව දැක්වූ ආකාරයට පැවති පාලනය ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් ජාතික අභිලාෂ මුදුන්පමුණුවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේ නැත. ඒ බව සනාථ කරන වැදගත් නිදර්ශන දෙකක් පාඨලී අමාත්‍යවරයාගේ අය වැය කතාවේ තිබිණ. එයින් එක් නිදර්ශනයක් වන්නේ කොළඹ වරාය සංවර්ධනය කිරීම පසෙක තබා සියල්ලට පළමුව හම්බන්තොට වරායක් ඉදිකිරීම වෙනුවෙන් ණය ලබා ගැනීමය. එහි දී ආර්ථික සංවර්ධනයට අදාළ ජාතික අභිලාෂය වුයේ කොළඹ වරායේ නැගෙනගිර සහ බටහිර පර්යන්ත කඩිනමින් සංවර්ධනය කර මතුව එන නාවුක ඉල්ලූමට සරිලන ලෙස වරායේ ධාරිතාව පුළුල් කිරීමය. එහෙත් එය නිසි වෙලාවට සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදුවූ අනෙක් කාර්ය වූයේ සංවර්ධනය කළ කොළඹ වරායේ දකුණු ජැටිය චයිනා පෝර්ට් සමාගමට ලබා දී වරාය අධිකාරිය අන්ත අසරණ කර දැමීමය. ඒ සමඟ හම්බන්තොට වරායට අපේක්ෂා කළ ආකාරයට නැව් නොපැමිණීම හේතුවෙන් එම වරායේ පාඩුව දරන්නට වරාය අධිකාරියට සිදුවීමය.
මීට අදාළ අනෙක් නිදර්ශනය වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කාලීන සංවර්ධනයට ලක් නොකිරීමය. ඒ වෙනුවට සිදු වූයේ මත්තලට නව ගුවන් තොටුපළක් ඉදිකිරීම සහ ඒ වෙනුවෙන් නැවත අතිවිශාල ණයක් ගැනීමය. සැබවින්ම ගුවන් පරිවහණය සංවර්ධනය කිරීමට අදාළව එරට ජාතික අභිලාෂය සකස්ව තිබුණේ කටුනායකට දෙවැනි ගුවන් පථයක් ලබාදීමය. 2018 වසර වන විට කටුනායක ගුවන් තොටුපළ සිය උපරිම ධාරිතාව වන ගුවන් යානා 275 වෙත ළඟා වෙයි. ඒ අනුව අමතර ගුවන් පථයක අවශ්‍යතාව මතුව ඇති නමුත් අනෙක් ගුවන්තොටුපළ ඇත්තේ මොනරුන් අරක්ගෙන ඇති මත්තලය. ඒ අනුව ඉතා පැහැදිලිව කටුනායක හෝ ඊට ආසන්නව දෙවැනි ගුවන් පථයක් නිර්මාණය කළා නම් කටුනායක මේ කලාපයේ ගුවන් කේන්ද්‍රයක් බවට පත්කර ගන්නට හොඳටම අවස්ථාව තිබිණ.
එහෙත් එකී ජාතික අභිලාෂය මැදමුලන ආර්ථික ප‍්‍රතිපත්තියට වැදගත් වූයේ නැත. ඒ වෙනුවට වැදගත් වූයේ තම පවුලේ අපේක්ෂාව ඉටු නොකළ එමීරේට්ස් කළමනාකාරීත්වයෙන් පලි ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මස්සිනාට බලා දී බිලියන ගණනින් පාඩු ලබන තත්ත්වයකට එය පත්කිරීමය. තම නමේ නමින් (මිහින් ලංකා* නව ගුවන් සේවයක් අරඹා තවත් රුපියල් බිලියන ගණනකින් රට ණයකාරයකු කිරීමය. ඒ සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 5000ක් ය.
දේශීය ආර්ථික ඝාතකයන්
සැබවින්ම දේශීය ආර්ථික ඝාතක පවුලක් බවට මැදමුලන පත්වීමට මීට වඩා නිදර්ශන අවශ්‍ය නොවනු ඇත. ආසියානු කලාපයේ ගුවන් සහ වරාය කේන්ද්‍රස්ථානය බවට රට පත්කරන්නට තිබූ සියලූ අවස්ථා හැකිලීම , රුපියල් බිලියන ගණනක ආදායමක් රටට ලබාදුන් ව්‍යවසායක් රුපියල් බිලියන ගණනින් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායක් බවට පත්කිරීම, විෂම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන ගණනින් රට විදෙස් ණයකාරයෙකු බවට පත්කිරීම, රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම ගැන දශමයක හෝ අවධානයක් යොමු නොකිරීම, ඉහළ පොලී අනුපාතයකට ලබාගත් වාණිජ ණය ගෙවීමට තවත් වාණිජ ණය ගැනීම, රාජ්‍ය ණය බරතාව රාජ්‍ය ආයතන තුළ සඟවා ජාතික ගිණුමෙන් එය සැඟවීම, ආර්ථික දත්ත විකෘති කර වාර්ෂික ආර්ථික වර්ධනය ගැන ව්‍යාජ පුවත් සමාජගත කිරීම වැනි කාර්යයක් සිදු කළ අත්තනෝමතික පවුල් පාලනය අපේ කාලයේ සැබෑ ආර්ථික ඝාතනයක් මිස ඊට කියන්නට වෙනත් වැදගත් වචනයක් අපට නැත.
ඒ බව තවත් තහවුරු කරන්නේ විදෙස් ණය ගැනීමට සාපේක්ෂව අපනයනය බිඳ දමා ගෙන ඇති ආකාරය සලකන විටය. විදෙස් ණය ගැනීමට සාපේක්ෂව මෙරට විදෙස් වත්කම් ඉපයීම 2000 වසරේ දී පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 33.3%ක වුවත් 2015 වසර වන විට එය සටහන් වන්නේ 13.1% වශයෙන් ය. එසේම විදෙස් වත්කම් ඉපයීමට සාපේක්ෂව විදෙස් ණය වැඩිකරගෙන ඇති ආකාරය විශේෂයෙන්ම 2010-2015 යන කාලවකවානුව සැලකීමේ දී මැදමුලන පවුලේ ආර්ථික ප‍්‍රතිපත්තිය අපේ කාලයේ සැබෑ ආර්ථික ඝාතකයින් බවට අප දක්වන කාරණය තවත් සනාථ කර ඇත. ඉතින් එවැනි පවුලක් වෙනුවෙන් කැපවෙන පිරිසක් භාණ්ඩ සහ සේවා දහස් ගණනක් තීරු බදු රහිතව යුරෝපා වෙළෙඳපොළට සැපයීමට අවස්ථාව දෙන ඨීඡු – සහනය ප‍්‍රතික්ෂේප කිරීම සහ මාරාන්තිකව ඊට විරෝධය දැක්වීම හඳුනා ගැනීම පුදුමවීමට කාරණයක් ද නොවන්නේය.
එසේම ණය ගැනීම සිදු කළේ සමස්ත සංවර්ධන ක‍්‍රියාදාමයට බවට මෙතෙක් මැදමුලන කල්ලිය ගොඩනගා තිබු ප‍්‍රවාදය ද පසුගිය දා අපුරු ආකාරයට බිඳ දමන්නට පාඨලී අමාත්‍යවරයා නිදර්ශනයක් ගෙන හැර දැක්වීය. ඒ හම්බන්තොට කේන්ද්‍රව සිදු කළ හීනමානය දුරුකර ගැනීමේ ආයෝජන ජනතාව අතර බෙදීගොස් ඇති ආකාරය ගණනය කර පෙන්වා දෙමින්ය. හම්බන්තොට ජනගහනය ලක්ෂ 6ක් වන අතර මැදමුලන ආර්ථික ප‍්‍රතිපත්තිය හරහා සිදු කළ ආයෝජනය අනුව එම ලක්ෂ 6ක ජනගහනයෙන් එක් පුද්ගලයෙකුට ලක්ෂ 15ක ආයෝජනයක් සිදුව ඇත. එහෙත් රටේ අනෙක් සියලූ ජනතාව අතර ආයෝජන මුදල බෙදී යන්නේ එක් අයෙකුට රුපියල් 75,000ක් වන ලෙසින්ය.
එහෙත් දැන් හම්බන්තොට ජනතාවට ද හිතන්නට දෙයක් ඉතිරිව ඇත. එනම් තමන් අතරින් කී දෙනෙකු වෙත රුපියල් ලක්ෂ 15ක වටිනාකමක් ආර්ථික ජීවිතය තුළ ලැබී තිබේ ද යනුවෙන්ය. ඒ අනුව හම්බන්තොටට මල් පෙන්වා මැදමුලන පවුල රටේ ආර්ථිකයට තරු විසිවෙන ප‍්‍රතිපත්තියක සිට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය.
ප‍්‍රාථමික ශේෂය ධනවීම
රටේ ආර්ථිකය ගැන සහ දේශපේ‍්‍රමී ආර්ථිකයක් ගැන නං දොඩවන්නේ ගමත් රටත් එකට තියා අන්දවණු ලැබූ එවැනි පවුලක්ය. ඇඟට දැනෙන සංවර්ධනය කෝ කියා ආණ්ඩුවට කෝචෝක් දමන්නේ කරපු පරණ පව් ජනතාවට අමතක කරන්නටය. එහෙත් මේ වන විටත් වසර තුනක් තුළ රටේ ප‍්‍රාථමික ශේෂය ධන බවට පත්කිරීමට වත්මන් පාලනය සමත්ව ඇත. එනම් පැරණි ණය, පැරණි පොලිය ගෙවීම නොව ආණ්ඩුවේ ප‍්‍රාග්ධනය වියදම් මගින් රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම් සලකා බැලූවිට රටේ ප‍්‍රාථමික ශේෂය 2017 වසරේ ධන ලෙස ලැබීමට වත්මන් පාලනය සමත්වී ඇති බවය. එයින් ලැබෙන අනෙක් පණිවිඩය වන්නේ පැරණි ණය අත්හැරීම තුළින් ආර්ථිකය වර්තමානය වන විට ආණ්ඩුවේ අදායම්වලින් රජයේ වියදම් පියවා නව යුගයකට රට ගෙන යාමට රජය සාර්ථක අඩිතාලමක් සකස් කරගෙන ඇති බවය. ඒ අනුව මේ වන විට රජය නැවත ණය ලබා ගැනීමට හැකියාව ඇති තැනට ආර්ථිකය සකස් කර ඇති බව ද පැහැදිලිය.
2013 වසරේ දී 102%ක් වූ රාජ්‍ය ණය ගෙවීම සඳහා රාජ්‍ය ආදායම මදි වූ අතර 2020 ඔබ්බට තිබෙන ආර්ථික ක‍්‍රියාවලිය තුළ අනුක‍්‍රමයෙන් 60% දක්වා අඩු කර ගැනීමට වන බලාපොරොත්තුව ඒ හරහා සාර්ථක කරගත හැකිය. රටේ දළ ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගනිමින් රාජ්‍ය ආදායම ඊට සමානව වර්ධනය කර ගැනීම හරහා ජපානයේ මෙන් රාජ්‍ය ණයබර ජාතික ආර්ථිකයට බරපතළ ලෙස බලනොපාන තැනට ගෙන යාමට ඒ තුළ වැඩි අවස්ථාවක් ඇති බව ද පැහැදිලිය.
එහෙත් යහපාලන ආණ්ඩුව මීට පෙර ඉදිරිපත් කල 2016,2017 අයවැය ඉතිහාසයේ බරපතළම සංශෝධනයන්ට යන්නට සිදු වූ අයවැය බවට පත්වීම ද මෙහි දී සිහිපත් කළ යුතුව ඇත. රාජ්‍ය අයවැය යෝජනා සහ ප‍්‍රතිපත්ති ගැන විවාද කරනවාට වඩා එහි දී සිදු වූයේ වෙන වැඩය. මහාචාර්ය රොහාන් සමරජීව වැනි ලිබරල් බුද්ධිමතුන් පවා එම අයවැය බරපතළ විවේචනයට ලක්කළ අතර එහි දී විශේෂ අවධානයක් යොමුකර දක්වා සිටියේ අයවැයට පෙර අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරන ආර්ථික ප‍්‍රතිපත්තියේ සහ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තියේ පරස්පරයන් ය. එසේම රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගැනීමට අයවැය යෝජනා සහාය නොවීමය. 2016,2017 අයවැය ට සාපේක්ෂව 2018 අයවැය වෙනස් වී ඇතිවා පමණක් නොව නව තත්ත්වයක් ද නිර්මාණය කර ඇත. දැන් ඇත්තේ ඒ අලූත් තත්ත්වය සමඟ රටේ ආර්ථිකය අලූත් මගක ගැනීමය. පාඨලී ඇමතිගේ අයවැය කතාව අපට කියන්නෙ මෙතැන දී ජාතික අභිලාෂය හමුවේ දේශපාලන පක්ෂ, පෞද්ගලික හිතවත්කම් සහ ඥාති, ප‍්‍රාදේශීය ලැදියාවන් හකුලාගෙන ඉදිරයට යා යුතු බවය.

29,008 Viewers

No comments