Header Ads

test

හෙට ආණ්ඩුවට තීරණාත්මකයි. කැබිනට් රැස්වීමත් නෑ. ආන්දෝලනාත්මක හෙළිදරව්වක් හෙට


සතියකට වරක් අඟහරුවාදා දිනවල පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාව හෙට (06) නොපැවැත්වීමට රජය තීරණය කර තිබේ.

එම තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් ඇමැතිවරුන්ට මේ වනවිට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

බැඳුම්කර කොමිෂන් වාර්තාව හා මහ පරිමාණ වංචා දූෂණ පිළිබඳ 
ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පැවැත්වීමට දින නියම කර ගෙන ඇත්තේද හෙට දිනයේදීය.

පසුගිය 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමද හදිසියේ කල් දමා තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ 06 වැනිදායින් පසුව වුවද ඉදිරියේදී පාර්ලිමේන්තුවේ තවදුරටත් විවාද කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සඳහන් කළේය.

කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ 06 වැනි දින විවාදය සඳහා පාර්ලිමේන්තුව කැඳවනුයේ බහුතර පක්‍ෂ නායකයන්ගේ එකඟතාවෙන් බවයි.

එදින විවාදය පැවැත්වීමෙන් පසු පක්‍ෂ නායකයන්ගේ එකඟතාව පරිදි අදාළ කරුණු සම්බන්ධව විවාදය සඳහා වෙනත් ඉදිරි දින යොදා ගැනීමේ බාධාවක් නොපවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳව විවාදය සඳහා දින නියම කර ගැනීමේදී මැතිවරණ ක්‍රියාවලිය බාධාවක් නොවන පරිදි කටයුතු කළ යුතුව තිබුණු බැවින් බහුතර පක්‍ෂ නායකයන්ගේ එකඟතාව අනුව පෙබරවාරි 06 වැනි දින යොදාගනු ලැබුවද එදින එම විවාදය සම්පූර්ණයෙන්ම පවත්වා අවසන් වන බව ඉන් අදහස් නොවන බවද එම නිවේදනයේ දැක්වේ.

එම නිසා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ අදහස් පරිදි එම විවාදය සඳහා අවශ්‍ය තරම් ඉදිරි දින යොදා ගැනීමේ හැකියාව පවතින බවද කතානායක මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

බැඳුම්කර විවාදයට දෙමළ සන්ධානය නෑ

මේ අතර මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හා මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳ කොමිෂන් වාර්තාව පිළිබඳ හෙට පැවැත්වෙන විවාදයට සිය පක්‍ෂ සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දැනුම්දී ඇත.

මැතිවරණ කටයුතු පැවැත්වෙන බැවින් මෙම විවාදයට සහභාගිවීමට හැකියාවක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා දැනුම්දී තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත්දා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදීද දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව නිල නොවන මට්ටමෙන් දැනුම් දී ඇත.

හෙට තව දේවල් හෙළිකරනවා

හෙට පැවැත්වෙන විශේෂ විවාදයේදී බැඳුම්කර සොරුන්ට අමතරව තවත් හෙළි නොවූ ආන්දෝලනාත්මක වංචා, දූෂණ කිහිපයක් පිළිබඳ සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ එම විවාදයෙන් පසු ලබන (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පිරිසුදු ඡන්දයක් භාවිත කිරීමේ ඉඩකඩ ජනතාවට සැලසෙනු ඇති බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන් වූවන් සහ එහි සැඟවී ඇති තොරතුරු මෙන්ම බරපතළ මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ වාර්තා 34 ඇතුළු තවත් දූෂිත ක්‍රියා සහිත තොරතුරුද තම පක්ෂය විසින් හෙළිදරව් කිරීමට සූදානම් බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

රනිල් සිටිය යුතුමයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිටිය යුතුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

බැඳුම්කර මහ මංකොල්ලයේ මහා මොළකරු පාර්ලිමේන්තු සභා ගැබේ සිටින විට අදහස් ගලා එන බැවින් ඔහුගේ මුහුණටම එම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙන හෙයින් විවාදය ආරම්භ කළ මොහොතේ සිට අවසන් වන මොහොත දක්වා අගමැතිවරයා සභාවේ සිටිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මැතිවරණ කටයුතුවල උච්චතම දිනයක් වන හෙට දිනයේදී මෙම බැඳුම්කර විවාදය පැවැත්වේ.

14,006 Viewers

No comments