Header Ads

test

ඒකාබද්ධයේ සූදානම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කෙළෙසන්න


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පාදක කරගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබාගැනීම සඳහා උත්සාහ කිරීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ කෙළෙසා දැමීමක් බව දේශපාලන විචාරකයින් සඳහන් කර සිටියි.
ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නිදහස් සන්ධානය නියෝජනය කරන පිරිසක් පාර්ලිමේන්තුව තුළ වෙනම පාර්ශවයක් ලෙස කටයුතු කළ පමණින් ඊට පිළිගත් දේශපාලන පක්ෂයකට හිමි පාර්ලිමේන්තු වරප්‍රසාද හිමි නොවන බවත් ඒ හමුවේ ව්‍යාජ ජනමතයක් නිර්මාණය කර ද්‍රවිඩ ජාතික සන්ධානය සතු විපක්ෂනායක ධූරය ලබාගැනීමට කටයුතු කිරීම දේශපාලන මංකොල්ලයකට වඩා වැඩි දෙයක් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.
ජාතික සංහිඳියාවටත් බාධාවක්
එසේම එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩනොදීම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු සියළු දේශපාලන පක්ෂ සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ වගකීමක් බවත් එම වගකීම පැහැරහැරීම ජාතික සංහිඳියාවක් වෙනුවෙන් දමිළ ජනතාවගේ ඇති අපේක්ෂා දරුණු ආකාරයේ බිඳදැමීමක් බවද ඔවුන් අවධාරණය කරයි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බවට වන ඉල්ලීම පිළිබඳ SL News Web කල කරුණු විමසීමේදී ඔවුන් මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ ආණ්ඩුවේ ප්‍රධානියාගේ පක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ පමණින් එම පාර්ශවයටම විපක්ෂනායක ධූරය පිරිනැමීම කොහෙත්ම පිළිගත හැකි තර්කයක් නොවන බවත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂනායක විය යුත්තේ ආණ්ඩුවට සම්බන්ධයක් නොමැති වෙනත් ස්වාධීන දේශපාලන පක්ෂයක් බවය.
විපක්ෂනායකධූරය ගන්න සටන් කරනවා - නාමල්
කෙසේ වුවත් අද (20) දිනයේද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධූරය ලබාගැනීම සඳහා පැහැදිළි ජනවරමක් ලැබී ඇති බවය.
එසේම එජාප විරෝධය වෙනුවෙන් කටයුතු කරන එකම පාර්ශවය ඒකාබද්ධ විපක්ෂය පමණක් බවත් තම පාර්ශවය පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධූරය ලබා ගැනීම සඳහා දිගටම සටන් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
TNA බෑ කියයි
මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කර සිටින්නේද ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් දේශපාලන පක්ෂයක් නොමැති බැවින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂනායකධූරය ලබාදීමක් අවශ්‍ය නොවන බවය.
ඒ පිළිබඳ අද (20) එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා අමාත්‍ය මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානියා වන බැවින් එම පාර්ශවය නියෝජනය කරන කොටසකට පාර්ලිමේන්තු විපක්ෂනායක ධූරය ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවන බවය.

29,741 Viewers

No comments