Header Ads

test

එජාප තනි ආණ්ඩු යෝජනාවෙන් ශ්‍රීලනිපය දෙකඩ වෙයි : දෙපාර්ශවය මෙන්න


එක්සත් ජාතික පක්ෂය විසින් තනි කොළ ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම්වීමත් සමඟ මතුවූ දේශපාලන පසුබිම හමුවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මත දෙකක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
ඊයේ(13) සන්ධ්‍යාව වන විට එජාප තනි ආණ්ඩුවක් වෙනුවෙන් එම පක්ෂයේ යෝජනා සම්මතවී තිබුණත් තානාපති අංශ ඇතුළුව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව තීන්දු වුයේ පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන ආණ්ඩුවේ ඉදිරිකටයුතු තීන්දු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ගැනීමටය.
එසේම එම කමිටුවේ තීන්දුවක් ලැබෙන තුරු රට අස්ථාවර නොකොට පවත්වාගෙන යන්නටද තීන්දුව තිබිණ.
ශ්‍රීලනිපයෙන් එනවාට එජාපය එකඟයි
එහෙත් අද පවතී කැබිනට් මණ්ඩල හමුවේදී එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන තැනට ආණ්ඩුවේ දේශපාලන වාතාවරණය සැකසී තිබූ අතර එම ආණ්ඩුවට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට එකතුවීමට හැකි බවද එජාප පාර්ශවය දැනුම්දී ඇත.
විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට අද (14) පැවති විශේෂ කැබිනට් හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී ඇති අතර එහිදී මෙම තත්ත්වය උද්ගතව ඇත.
ජනමතය දිනවන්න යමු - ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක්
එහිදී පිරිසක් එහිදී යෝජනා කර ඇත්තේ එජාප ආණ්ඩුවට ඇතුළුව ජනවාරි 08 ජනමතය ජයග්‍රහණය කරවිය යුතු බවය.
එහිදී අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, විජිතමුණි සොයිසා, ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් එම මතය නියෝජනය කර ඇත.
සුසිල් නෑ කියද්දී තිලංග වෙතින් පොහොට්ටු යෝජනාවක්
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ ලක්ෂ 62කට අධික ජනතාවගේ ජනවරමට ගරු කර එම පොරොන්දු ඉටුකිරීම සඳහා කටයුතු කිරීමේ එකඟතාව මත එජාප ආණ්ඩුවට සහය දීම වැදගත් බවත් ඒ හරහා ජනාධිපතිවරයාවද දේශපාලන වශයෙන් ආරක්ෂා කිරීමට අවස්ථාව හිමිවෙන බවය.
එසේම කිසිසේත්ම රාජපක්ෂ කණ්ඩායම සමඟ එකතුවිය නොහැකි බවත් එවැනි පසුබිමක් මතුවුවහොත් ශ්‍රීලනිප මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය බරපතල අවධානමකට ලක්විය හැකි බවය.
එහෙත් එම යෝජනාවට සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පිරිසක් විරෝධය පළකර ඇති අතර එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ කිසිඳු පදනමක් මත එජාපයට සහය දිය නොහැකි බවය. එසේම එය තම පක්ෂ ප්‍රතිපත්තියට විරුද්ධ බවත් ඊට වඩා පාර්ලිමේන්තුව තුළ සිටීම වැදගත් බවද ඔවුන් සඳහන් කර ඇත.
එහිදී වෙනස්ම යෝජනාවක් සිදුකරමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් තුළට හෝ පවතින සම්මුති ආණ්ඩුවේ කටයුතු කරනවා වෙනුවට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවය සමඟ සන්ධානයක් ඇතිකරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට හැකි බවය. ඒ වෙනුවෙන් වන යෝජනාවක් මේ වන විටත් එම පාර්ශවය වෙතින් ඉදිරිපත්ව ඇති බවත් ඒ තුළ කිසිඳු ගැටලුවකින් තොරව පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වීමේ හැකියාවක්ද ඇති බවය.
ජනාධිපතිගේ ස්ථාවරය
කෙසේ වුවත් එම යෝජනාවට ශ්‍රීලනිප ය ප්‍රමුඛ සන්ධානයේ බහුතරයක් එකඟතාව පළකර නොමැති අතර නැවත මහින්ද පාර්ශවයට යාමට වඩා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිට කටයුතු කිරීම ගෞරවාන්විත බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. එසේම ඒ හරහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂනායකධූරය ලබා නියම විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ගැනීම පක්ෂයක් ලෙස තමන්ට වැදගත් බවද ඔවුන් පෙන්වාදී ඇත.
මේ පිළිබඳ දෙපාර්ශවයේ කතා වලට සවදී සිටි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ කැමති පාර්ශවයකට එජාප ආණ්ඩුවට ඇතුළත් විය හැකි බවත් අකමැති පාර්ශවයන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමද ගැටළුවක් නොවන බවය.
ඒ අනුව මේ වන විට ශ්‍රීලනිප සන්ධාන පාර්ශවයේ 10 කට ආසන්න පිරිසක් එජාප ආණ්ඩුවට එක්වීමට එකඟතාව පළකර ඇති අතර 32 කින් යුතු අනෙක් පාර්ශවය පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධූරය ලබා ස්වාධීනව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවනු ඈති බව වාර්තා වෙයි.

39,456 Viewers

No comments