Header Ads

test

මේ ආණ්ඩුවට යළි ඉපදීමට හෝ යළි මියැදීමට වසර දෙකක් හොඳටම සෑහේ

1964 බි‍්‍රතාන්‍ය මහ මැතිවරණය අසීරුවෙන් ජය ගැනීමට සතියකට කලින්, ‘’සතියක් යනු දේශපාලනය තුළ දීර්ඝ කාලයක්’ බව, බි‍්‍රතාන්‍ය අගමැති හැරල්ඞ් විල්සන් කී බව වාර්තාගතයි. ඒ කාල චක‍්‍රය මත ගත් විට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන ලද විනිශ්චය අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ඉතිරිව ඇති වසර දෙකක කාලය, ජනාධිපති දේශපාලනයක් තුළ සැබවින්ම දීර්ඝ කාලයක් වශයෙන් සැලකිය හැකිය. ජනාධිපති සිරිසේනට සහ අගමැති වික‍්‍රමසිංහට තමන්ගේ ආණ්ඩුව යළි සකසා ගැනීමටත්, 2015 දී ඔවුන් ජනතාවට පොරොන්දු වූ ජනකාන්ත පොරොන්දුවලින් සමහරක්වත් සාක්ෂාත් කර ගැනීමටත්, අවුරුදු දෙකක් හොඳටම සෑහෙයි. පසුගිය මාස කිහිපයක කාලය තුළ මේ දෙදෙනා අතර මොන ආකාරයේ විරසකයන් ඇති බවක් පෙනී ගියත්, ඔවුහූ තවමත් එක් යුගලයකි. රට පාලනය කිරීම අරභයා වන හවුල්කරුවන් දෙදෙනෙකි. ඉතිරිව ඇති වසර දෙකකට තරමක් අඩු කාලය තුළ, සිදු විය හැක්කේ කුමක්ද යන්න පිළිබඳව මෙතැන් පටන් ඉදිරි හය මසක කාලය තුළ ඔවුන්ට කිරා බැලිය හැකිය. එය, ඒ වන විට ඔවුන්ගේ හවුල්කාරීත්වයේ ස්වභාවය කුමක් වේද යන්න මත තීරණය වෙන බව කිව හැකිය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමන්ගේ ආණ්ඩුව යළි ඉපැදවීමට කටයුතු කරයිද එසේ නැතහොත් එය නසා දැමීමට ඉඩ හැරෙන මාවතක ගමන් කරයිද යන කාරණය දැන ගැනීමටත් මාස හයක කාලයක් හොඳටම සෑහේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපතිවරයාට මුහුණදීමට සිදු වූ පසුබෑමක් වශයෙන් බොහෝ දෙනා දකිති. එය, අධිකරණයේ අදහස ඉල්ලීමට ගිය අමනෝඥ තීරණයට ලැබුණු අතුල් පහරක් වැන්න. අගමැතිවරයා ඉන්නේ ඊටත් වඩා නරක තත්වයකයි. බොහෝ ජනමාධ්‍ය ඔහුට දිගට හරහට පහර දෙයි. ඔහුගේ සුපරීක්ෂාව යටතේ තිබුණු, ඔහු විසින් තනි කැමැත්තට තෝරා ගත් අධිපතිවරයෙකුගේ සෘජු නිරීක්ෂණය යටතේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව ඊට හේතුවයි. එසේ වෙතත්, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, ඉදිරි වසර දෙකක කාලය තුළත් රටේ දේශපාලනයේ ප‍්‍රධාන චරිත දෙක වශයෙන් සිටිනු ඇත. රාජපක්ෂ කඳවුරේ අතිශය වාසියට කියැවෙන අනාවැකි තුළ පවා, ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ, රාජපක්ෂ පවුලට යළි බලයට ළං වීමේ ඉඩකඩක් ඇති බවක් නොකියැවේ. අවම වශයෙන් ගත්තත්, බල කේන්ද්‍රය ළඟට සිය පවුල යළි සමීප කැරැුවීම සඳහාත්, නඩුහබවලින් පවුලේ සාමාජිකයන් බේරා ගැනීම සඳහාත්, තත්වයෙන් යම් පහත වැටීමක් වුව ද, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වීමටවත්, ඊටත් වඩා මහත් ඵල මහානිශංස ගෙන දිය හැකි වන සේ දේශපාලනයේ ‘ඩබල් ප‍්‍රමෝෂන්’ ගසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමක් ගැන සිතීමටවත් මේ වසර දෙකක කාලය නොසෑහෙයි. කෙසේ වෙතත්, අවුරුදු දෙකකින් පසුව සිදු වන දෙයක් ගැන කීමේ හැකියාවක් දැනට නැත. එය, අද හෙට සිදු වන කතාවක් ද නොවේ.
‘දි ඉකොනොමිස්ට්’ සඟරාව ජනාධිපතිවරයාව අසාර්ථක ජනාධිපතිවරයෙකු වශයෙන් හඳුන්වා තිබේ. එම සඟරාව පිළිබඳව ඇති පිළිගැනීම අනුව ගත් විට, ඒ ලේබලය දිරවා ගැනීම ලේසිපාසු නොවනු ඇත. කෙසේ වෙතත්, මම ඒ අදහස සමග එකඟ නොවෙමි. අසාර්ථක ජනාධිපතිවරයකු වශයෙන් හැඳින්වීමට තරම් ඔහු ව්‍යවස්ථාදායකයෙන් වියෝ වූ පුද්ගලයෙකු නොවේ. ඔහු විධායකයේ නායකයා වන අතර, ව්‍යවස්ථාදායකයෙන් තෝරා ගනු ලැබෙන අමාත්‍ය මණ්ඩලයටත් නායකත්වය දෙයි. ඔවුහූ සියල්ලෝම එකිනෙකා මත පරායත්ත වෙත්. එසේ හෙයින්, එක්කෝ ඔවුහු එකට වැඩ කටයුතු කළ යුතුය. නැතහොත් කිසි සේත් වැඩ කටයුතු නොකොට සිටිය යුතුය.
පක්ෂ දෙකකින් සමන්විත ආණ්ඩුවක වාසි මෙන්ම අවාසි ද ඇති බව මෙහිදී කිව යුතුය. පසුගිය වසර තුන තුළ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බොහෝ කොට කටයුතු කිරීමට සිදුවුණේ අවාසි සහගත කොන්දේසි බලපැවැත්වූ කාලයක ය. මේ නුහුරු අත්දැකීම දැන්වත් වඩාත් ඵලදායී දිසාවකට යොමු කැරැුවීමට ඔවුන්ට නොහැකි ද? එසේ කිරීමට ඔවුන් සමත් වෙතොත්, මේ ආණ්ඩුවට යළි ඉපැදීමට ඉඩක් තිබේ. එසේ නොවුණොත්, නැවත වරක් එය මියයනු ඇත.
මේ සියල්ලේ යතුර ඇත්තේ සිරිසේන-වික‍්‍රමසිංහ හවුල්කාරීත්වය තුළ ය. ගිය සතියේ ද මා පෙන්වා දී ඇති පරිදි, විපක්ෂයේ ඇතැමුන් සහ පණ්ඩිතයන් වැරදියට වටහාගෙන ඇති පරිදි, පාර්ලිමේන්තුවේ ඡුන්දයකින් ඔවුන් දෙදෙනාව වෙන් කැරැුවීම පහසුවෙන් කළ නොහේ. ඒ, ඔවුන් දෙදෙනා ව්‍යවස්ථානුකූලවම, බඳෙන් ඈඳී තිබෙන බැවිනි. ඒ ව්‍යවස්ථාමය බැඳීමට අමතරව, දෙදෙනා අතර පුද්ගල සම්බන්ධතාවය ද යහපත් ය. එය, පසුගිය දවසක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් කෝපයෙන් නැගිට යාමෙන් පසු කටයුතු සිද්ධ වු ආකාරයෙන් පෙන්නුම් කෙරේ. තමාට විරුද්ධව ප‍්‍රසිද්ධියේ ප‍්‍රහාරයක නිරත එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් සාමාජිකයන්් ගැන ඔහු තුළ ආවේගාත්මක කෝපයක් තිබුණු බවට සැකයක් නැත. ඔහු කිසි දවසක අගමැතිවරයාට පහර දී නැති අතර අගමැතිවරයාගේ බලය දුර්වල කිරීමට තමා කිසි විටෙක කටයුතු කොට නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වැඩිම වුණොත්, ජනාධිපතිවරයා කියන බසට අගමැතිවරයා සාවධානයෙන් සවන් නොදුන්නා විය හැකිය. අවසානයේ ජනාධිපතිවරයා කෝපයෙන් නැගිට ගිය අවස්ථාවේ එය සියල්ලේ අවසානය බවට පත්වුණේ නැත. එසේම අගමැතිවරයා ද, ‘අපෝ ඇති යාන්තම්’ කියා නිකං සිටියේ නැත. එසේ කිරීමේ හැකියාවක් ඔහුට නොවුණි. එබැවින් ජනාධිපතිවරයා පසුපස ගිය ඔහු නැවත ඔහුව ඇමති මණ්ඩලයට එක්කරගෙන ආවේය. තව අවුරුදු දෙකක් ඔවුන්ට තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ අතර තිබුණා සේ හෝ සිරිමා බණ්ඩාරනායක සහ ඇන්. ඇම්. පෙරේරා අතර තිබුණා සේ කර්කශ බවක් මේ නායකයන් දෙදෙනා අතරේ ඇති වී නැත.
බැඳුම්කර මගඩියෙන් පසු යළි උපන් ආණ්ඩුව
විෂයමූලිකව ගත් විට, ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ සාධනීය වැඩපිළිවෙලක් යටතේ එකට කටයුතු කිරීම, ජනාධිපතිවරයාට සේම අගමැතිවරයාට ද පැහැර හැරිය නොහැකි කරුණක් වන්නේය. රට පැත්තෙන් ගත් විට, මේ දෙදෙනා හැරුණු විට, ඊළඟ අවුරුදු දෙක තුළ තෝරා ගත හැකි වෙනත් පිළිගත හැකි විකල්ප දේශපාලනික නායකත්වයක් ඇත්තේ ද නැත. එසේ තිබියදී, පසු ගිය වසර තුනක කාලය තිස්සේ බොහෝ කොට එකිනකාට පරස්පර වන සහ ප‍්‍රතිවිරෝධී වන ආකාරයෙන් තවදුරටත් කටයුතු කිරීමෙන් දෙන්නාටම අත්වෙන සෙතක් නැත. ඔවුන් දෙන්නාම තම තමන්ගේ ගමන් මංපෙත් මූලික වෙනසකට ලක් නොකළොත්, මෙම ආණ්ඩුව මියැදීම නතර කිරීමට හෝ යළි ඉපදීමත් අත්කර ගැනීමට හෝ සමත් නොවනු ඇත.
බැඳුම්කර විමර්ශන ක‍්‍රියාවලියේ යථාර්ථයෙන් පසුකාලීනව යළි ඉපැදීමට නම්, එම මගඩියේ සියලූ බරින් නිදහස් විය යුතුව තිබේ. යම් බරකින් නිදහස් වීමට නම්, එම බර කුමක්ද යන්න මුලින් අවබෝධ කර ගත යුතුය. මේ වන තෙක් අගමැතිවරයාවත්, එක්සත් ජාතික පක්ෂයවත්, එවැනි බරක් ඇති බව පිළිගෙන නැත. තමන්ගේම වරදක් ගැන පරීක්ෂණයක් පවත්වන එකම රජය මෙය යැයි පාරම්බෑම ප‍්‍රමාණවත් නොවේ. ඒ නිදහසට කාරණය සැබෑවක් වුවත්, දූෂණයෙන් තොර පාලනයක් බිහි කිරීමේ ප‍්‍රධාන පොරොන්දුව යටතේ බලයට පත් ප‍්‍රථම ආණ්ඩුවත් මෙයම වන නිසා, එය වලංගු නොවේ. රාජපක්ෂගේ දහසකුත් එකක් සෙල්ලම් ඉදිරියේ කට පියාගෙන සිටි බොහෝ මාධ්‍ය අගමැතිවරයාට දිගට හරහට බැට දීමෙන් විශාල තෘප්තියක් ලබන බව සැබෑව. එහෙත් ඒ හේතුව නිසාම, මාධ්‍ය විසින් තමන්ගේ නිදහස වැරදියට පාවිච්චි කරතියි චෝදනා කිරීමට පුළුවන් කමක් අගමැතිවරයාටවත් ඔහුගේ ඇමති සගයන්ටවත් ඇත්තේ නැත. ඊටත් වඩා, එක් වාචාල ඇමතිවරයෙකු කියන පරිදි, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව අනුගමනය කරමින් අපේ මාධ්‍යයත් ව්‍යාජ මාධ්‍යයකියි කීම අසාධාරණ ය.
අගමැතිවරයා විසින් මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් අයුතු ලෙස ඉවත් කොට තමා යටතට නොගත්තේ නම් සහ කැබිනට් සගයන්ගේ විරෝධයත් මායිම් නොකොට අර්ජුන මහේන්ද්‍රන්ව එම මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් නොකෙළේ නම්, මෙතරම් මාධ්‍ය විවේචනයක් ඔහුට එල්ල නොවනු ඇත. මහ බැංකුවත් තමාත්, තම බෑනාගේ ව්‍යාපාරික කටයුතුවලට ගෑවී නොසිටින බවට මහේන්ද්‍රන් දුන් කට වචනය විශ්වාස කොට කටයුතු නොකෙළේ නම් මේ විවේචනවලට ඔහු ගොදුරු නොවනු ඇත. යළි ඉපැදීමට ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ නම්, මහ බැංකුව නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කළ යුතුව තිබේ. එසේම පසු ගිය වසර දහයක කාලයක් තිස්සේ මහ බැංකුව කරමින් සිටි අක‍්‍රමිකතා නැවත සිදු නොවන ආකාරයේ ආයතනික ආරක්ෂණයන් ඇති කෙරෙන යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුව ඇත. නීතිය පැත්තෙන් බැලූ විට, අදාළ පරීක්ෂණ සම්පූර්ණ කොට නඩු පැවරීම සඳහා අවශ්‍ය කරන නිදහස සහ ස්වාධීනත්වය නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පවතින නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතනවලට ලබා දිය යුතුය.
යළි ඉපදීම සඳහා අවශ්‍ය කරන වගකීම් සම්භාරයක් ජනාධිපතිවරයා මත ද පැටවෙයි. ජනාධිපතිවරයා වශයෙන් යම් සාධනීය ඉතිහාසයක් ඉතිරි කර යාමට නම් ජනාධිපති සිරිසේනගේ මුල්ම රාජකාරිය විය යුත්තේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් අනවශ්‍ය පමණට පෙනී නොසිට, මුළු ශ‍්‍රී ලංකාවේම ජනාධිපතිවරයා වශයෙන් පෙනී සිටීමයි. එසේම ආණ්ඩුවේ තනතුරු සහ පක්ෂයේ අපේක්ෂකයන් වශයෙන් නාම යෝජනා ලබා දීම ඇතුලූ පක්ෂයේ වෙනත් තනතුරු, රටම දන්නා අපරාධකරුවන්ට සහ මැරයන්ට දීමෙන් ඔහු වැළැකිය යුතුව තිබේ. තවද, සංස්කෘතියේ සහ සදාචාරයේ මුරදේවතාවන් සේ පෙනී සිටින්නන් පස්සේ නොගොස්, මත්පැන් මිල දී ගැනීම කාන්තාවන්ට තහනම් කිරීම වැනි බොළඳ ක‍්‍රියාවන්ගෙන් වැළැකිය යුතුය. බාර්වලට යාම සහ මත්පැන් මිල දී ගැනීම ශ‍්‍රී ලංකාවේ ගැහැනුන්ට තහනම් කොට, වහල් සේවාවන් සඳහා මැද පෙරදිගට පටවා, ඔවුන් එවන මුදලින් ඔවුන්ගේ සැමියන්ට බාර් ගානේ රස්තියාදු වීමට සහ සූදු කෙලීමට සැලැස්වීම ද කළ යුත්තේ?
පළාත් පාලන මැතිවරණයේදී මේ අර්ධ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත්කර ගන්නා ජයග‍්‍රහණයන් හෝ පරාජයන් කෙසේ වෙතත්, 2018 ජනවාරි වන විට මෛත‍්‍රිපාල සිරිසේන දෛනික මට්ටමින් ප‍්‍රවෘත්ති මවන්නෙකු බවට පත්ව සිටී. මුලින්ම බැඳුම්කර කොමිෂන් වාර්තාව ගැන ඔහු කතා කෙළේය. ඊළඟට, තමාගේ ධුර කාලය අසා ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනා කෙළේය. ඊළඟට, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තමාව විවේචනය කිරීම ඉවසිය නොහැකිව කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගියේය. එසේ තිබියදී, ළඟ එන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව පිළිබඳ ජනමත විචාරණයක තත්වයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. බැඳුම්කර වාර්තාව නිකුත් වීමෙන් පසු, මේ පළාත් පාලන මැතිවරණය අගමැතිවරයා පිළිබඳ ජනමත විචාරණයක් වශයෙන් ද හඳුන්වනු ලැබේ. පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, ඊළඟට එළැඹෙන පළාත් සභා මැතිවරණවලටත්, තව වසර දෙකකින් පමණ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයටත් නිමිතිකාරක විය හැකිය. වඩාත් වැදගත් ප‍්‍රශ්නය වන්නේ, මේ මැතිවරණයේ ප‍්‍රතිඵල, සිරිසේන-වික‍්‍රමසිංහ සුසංයෝගයත්, ආණ්ඩුවේ ඉදිරි දෙවසරක කාලයටත් කෙසේ බලපානු ඇත්ද යන්නයි.

27,448 Viewers

No comments