Header Ads

test

දුෂණයට එරෙහි ජාතික වැඩපිළිවෙල අරඹනවා - ජනපති කියයි


පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වූ දුෂණය, වංචාව සහ අක්‍රමිකතාව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුල ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
ඒ සඳහා ජාතික වශයෙන් රටේ ආගමික නායකයින් උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා දායක කරගන්නා අතර ජාත්‍යන්තර සහය ද ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් මෙන්ම ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා අද (15) මෙම අදහස් පළකළේය.
ජයග්‍රහණය කළ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලු අපේක්ෂකයන් ඒකරාශී කර ගනිමින් ජනතාවට සේවය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
විනය කඩන අය එලවනවා :
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී පක්ෂ තීන්දුවට එරෙහිව වෙනත් පක්ෂවලට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයන් ඉවත් කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පරාජයට පත්වූ කිසිදු අපේක්ෂකයෙකු අත් නොහරින අතර එම සියලු නියෝජිතයන් ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේදී තම නියෝජිතයන් බවට පත් කරගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ඊ පී ඩී පී පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කළ පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.
දුෂණයෙන්, වංචාවෙන් සහ අක්‍රමිකතාවයෙන් තොර දේශපාලනයක් සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිඥාව සුරකිමින් ඉදිරියට යාමට සියලු නියෝජිතයන් කැපවිය යුතු බව ඔවුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

35,489 Viewers

No comments