Header Ads

test

රතුපස්වල අවස්ථාවාදය


පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ වැලිවේරියේ රතුපස්වල කොට්ඨාශය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් නිසා පානීය ජලය අපවිත්‍ර වීමෙන් කෝපයට පත්වූ ජනයා උද්ඝෝෂණය කළ විට හමුදා මැදිහත්වීමකින් තිදෙනෙකු මරා දැම්මේ රතුපස්වල දී ය. ඒ රතුපස්වල ජනයා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තමන් පීඩනයට පත් කළ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ජයග්‍රහණය කිරීම විග්‍රහ කළ යුත්තකි.

එහෙත් බැසිල් රාජපක්ෂගේ හිතෛශියකු වන සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ තම ෆේස්බුක් වෝලයේ සටහනක් තබමින් මීට වෙනත් අර්ථකතනයක් දෙන්නට උත්සාහ ගනියි. ඔහු පවසන පරිදි රතුපස්වල ජනයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරවීමෙන් මුළු රතුපස්වල ජන අරගලයම මිත්‍යාවක් බව ඔප්පු කරන්නට උත්සාහ ගනියි.

කුප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාට අයත්ව තිබූ රබර් අත්වැසුම් නිෂ්පාදනය කිරීමේ කම්හලක් නිසා ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වන බවට වූ සැකය නිසා විශාල මහජන උද්ඝෝෂණයක් ඇති විය. එම උද්ඝෝෂණයට හා පෙලපාලියට හමුදාව යොදා පහර දුන් රාජපක්ෂ ආණ්ඩුව විසින් අහිංසක මිනිසුන් තිදෙනෙකුගේ ජීවිත බිළි ගත්තේ ය. මහින්ද පතිරණ දැන් කියන්නට උත්සාහ ගන්නේ රතුපස්වල මිනිසුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ නිසා ඉහත සිදුවීම් සියල්ල අහෝසි වන බවයි.

එනම් රාජපක්ෂ ආණ්ඩුවේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් රබර් අත්වැසුම් නිපදවන කම්හල නිසා ප්‍රාදේශයේ පානීය ජලය අපවිත්‍ර වූ කතාව අසත්‍යයකි. ඒ නිසා පැන නැගුණ මහජන උදඝෝෂණය හමුදාව යොදා මර්දනය කිරීම තවදුරටත් වරදක් නොවේ. මේ සියල්ල සිදුවී ඇත්තේ රතුපස්වලට බාහිරින් පැමිණි පුද්ගලයන්ගේ අවශ්‍යතාවට ය. ප්‍රදේශයේ ජනතාව මේ බාහිර පුද්ගලයන්ට “ඇන් දී” ඇත. තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය සදහා බාහිරින් රතුපස්වලට ගිය තමා ද කරන්නට හදන්නේ ඇන්දීමක් බව මහින්ද පතිරණ තක්කඩිකමෙන් නොකියයි.

පක්ෂ දේශපාලනය පිරී ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ය.ඒ අරමුණෙන් කටයුතු කරන තක්කඩි පිරිස් සමාජ අරගලයන් පාවාදීමට මොහොතක් හෝ පසුබට නොවේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය ඔසොවා තබා භෞතික වාසි ලබන්නට තැත් කරන පිරිස් සමාජ අරගලයක් පිටතින් පැමිණිවුන්ගේ ඇන්දීමක් ලෙස අර්ථ දැක්වීම අරුමයක් නොවේ. කොහොමත් සමාජ අරගලයක දී පාවා දෙන්නෝ එමට සිටිති. අධිරාජ්‍යවාදයට එරෙහි සිංහල විමුක්ති ව්‍යාපාරයේ ද එවැනි පාවා දෙන්නෝ ඕනෑ තරම් සිටියහ. ඒ තත්ත්වය අමතක කර රතුපස්වල දී හමුවූ ගැමියන් කියන කතා මත පදනම් වෙමින් රතුපස්වල අරගලය ඔවුන්ට කළ ඇන්දීමක් ලෙස අර්ථ දැක්වීම උත්ප්‍රාසජනක ය.

1994 දකුණු පළාත් සභා මැතිවරණය උදාවූයේ කුප්‍රකට යූඑන්පී 17ත් වසරක සාපය අවසානයේ දී ය. 1988/89 කැරැළි සමයේ දී ආණ්ඩුවේ හමුදාවේ කටයුතු වලින් සිංහල බෞද්ධ තරුණ තරුණියන් හැට දහසක් පමණ මරා දමා තිබුණි. මෙහි වගකීමෙන් කොටසක් ගම දෙන්න කියලා ඉල්ලන ජවිපෙට යා යුතුයි. මන්ද භීෂණයේ නියමුවන් ලෙස ඔවුන්ද අද සුදනන් ලෙස හැසිරීම කණගාටුවට කරුණකි.එමෙන්ම මේ මිලේඡ මර්දනය 1994 දකුණු පළාත් සභා මැතිවරණයේ දී යූඑන්පියට එරෙහිව එල්ල වූ ලොකුම චෝදනාව විය. එය චෝදනාවක් පමණක් නොව දකුණේ ගෙන් ගෙට භෞතිකව දකින්නට ලැබුනු සාක්ෂියක් ද විය. දරුවන් අහිමි වූ දෙමව්පියෝ තැන තැන ඉබාගාතේ ගියේ අහිමි වූ දරුවන් සොයමිනි.

මැතිවරණයේ දී යූඑන්පියට එරෙහි ලොකුම බලවේගය වූයේ පොදුජන එක්සත් පෙරමුණයි. පොදුජන එක්සත් පෙරමුණ ගාල්ලේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයේ මැතිවරණ කටයුතු වල යෙදුනේ දැඩි විශ්වාසයෙනි. ඊට හේතුව ආණ්ඩුවේ හමුදා විසින් මරා දැමූ විශාල තරුණ තරුණියන් පිරිසක් කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයට අයත්ව සිටීමයි. කරන්දෙණියේ ගම්බද ප්‍රදේශයක කදු ගැටයක් මත වූ එක්තරා නිවසකට පොදු පෙරමුණේ සහායකයන් පිරිසක් ගියේ අපේක්ෂා සහිතව ය. ඊට හේතුව එම නිවසේ තරුණ දරුවන් දෙදෙනෙක්ම භීෂණ සමයේ අතුරුදහන් කර තිබීමයි.

නිවසට ඇතුළු වූ සහායකයන් අතුරුදහන් වූ දරුවන්ගේ පියාට ප්‍රකාශ කර සිටියේ මේ භීෂණය අවසන් කරන්නට පොදු ජන එක්සත් පෙරමුණට ඡන්දය ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමෙන් කෝපයට පත්වූ දරුවන්ගේ පියා ප්‍රකාශ කළේ කිසිසේත්ම පොදු ජන එක්සත් පෙරමුණට ඡන්දය නොදෙන බවයි. වික්ෂිප්ත වූ පොදු පෙරමුණේ සහායකයන් විමසා ඇත්තේ එසේනම් ඡන්දය දෙන්නේ කාට ද කියාය. ඔවුන් සිතා ඇත්තේ නව සමසමාජ පක්ෂයට මේ පියා ඡන්දය දෙන්නට තීරණය කර ඇති බවයි.

එහෙත් පියාගේ කතාවෙන් පොදු පෙරමුණේ සහාකයන්ගේ දෙලොව රත්විය. අතුරුදහන් වූ දරුවන්ගේ පියා ප්‍රකාශ කළේ තම දරුවන් අතුරුදහන් වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ බව සත්‍ය බවකි. එහෙත් ඔවුන්ගේ අතුරුදහන්වීමට හරි හමන් වන්දියක් ලැබුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිසා බවත් පොදු ජන එක්සත් පෙරමුණ බලයේ සිටියා නම් ඒ වන්දියවත් නොලැබෙන බවත් ය. ඡන්දය ඉල්ලා එම නිවසට ගිය පොදු ජන පෙරමුණේ සහායකයන් ආපසු ඇවිත් ඇත්තේ දැඩි පිළිකුලෙනි.

තමන්ගේ දරුවන් අතුරුදහන් කළ ආණ්ඩුවටම තම ඡන්දය දෙන්නට තරම් පියවරුන් තීන්දු තීරණ ගන්නේ ලැබෙන වන්දියේ ප්‍රමාණය ගැන සිතමිනි. ඒ අනුව බලන විට සිංහලබෞද්ධ සමාජයේ දේශපාලනික හැසිරීම එතරම් ගැඹුරු නොවේ. එය සරල කියවීමක් සහිත මතුපිට වාසි තකා සකස් වන්නකි. 1988/89 දී ආණ්ඩුවේ හමුදාවන් සම්බන්ධයෙන් කෝපයෙන් සිටි ඒ ජනයා නැවත 2009 දී උතුරේ දෙමළ ජනයාගේ හිස මතට ඒ හමුදාව විසින්ම බෝම්බ අත හරින විට දකුණේ දී බෝධි පූජා පවත්වමින් ආශීර්වාද කළේ ද එබැවිනි. වසර කිහිපයකට පෙර තම දරුවන් උදුරා ගත් ආණ්ඩුවේ හමුදාව ටික කලකට පසුව දෙමළ දරුවන්ගේ ලේ රහ බලන විට ඊට ආශීර්වාද කිරීම පරස්පරයක් විය යුතුය. එහෙත් සිංහල බෞද්ධ සමාජ තීරුව තීන්දු තීරණ ගන්නේ උපයෝගීතාවට අනුව මිස පරමාදර්ශී ලෙස නොවේ.

මෙවැනි සමාජයක් දේශපාලන තීන්දු තීරණ ගන්නා ආකාරය මත ආණ්ඩුවක මර්දනීය ක්‍රියා සාධාරණීකරණය කරන්නට යෑම තක්කඩිකමකි. රතුපස් වල දී පානීය ජලයට වස මිශ්‍රවීම සත්‍යයකි. ඒ නිසා ඇතිවූ උදඝෝෂණයට වැර යොදා පහර දුන් බව ද සත්‍යයකි. නමුත් ඒ ජනතාවම අද ඒ පීඩකයාගේ පක්ෂය ජයග්‍රහණය කර ඇති බවද සත්‍යයකි. ඊට හේතුව මර්දනයට ලක්වන සිංහල බෞද්ධ සමාජය තීන්දු තීරණ ගන්නේ තමන්ට ලැබෙන වාසිය මත මිස සමාජ වටිනාකම් මත පිහිටමින් නොවන නිසා ය.

මහින්ද පතිරණ තක්කඩි ලෙස උත්සාහ ගන්නේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමට ය. එහෙත් උපයෝගීතාව මත තීන්දු තීරණ ගන්නා සමාජයක් සාක්ෂි ලෙස ගනිමින් මර්දනීය ආණ්ඩුවක් සාධාරණීකරණය කළ නොහැක. රතුපස් වල දී ඒකාධිපති රාජපක්ෂලා යහමින් මිනී මැරූහ. එය අසත්‍යයක් බවට පත් කරන්නට රතුපස්වල මැතිවරණ කොට්ඨාශය නොව මුළු ශ්‍රී ලංකාවම එක හඩින් මහින්ද රාජපක්ෂට පක්ෂ වුවත් නොහැකිය.

61,382 Viewers

No comments