Header Ads

test

ට්‍රිලියන 9 කෝ ?


කලකට ඉහතදී පුවත්පතක පළවුණු අපූරු කාටූනයක් විය. විදෙස් ණය නම් වූ ටයි පටියකින් ගෙල සිරවී මියයාමට ඔන්න මෙන්න තත්ත්වය පණ අදිමින් සිටින ලක්මෑණියන් එම කාටූනයට පසුබිම වී තිබුණි. කාටූනයකින් හෙළිකෙරෙන සමාජ දේශපාලන මෙන්ම ආර්ථික යථාර්ථය හොඳින් පෙන්නුම් කෙරුණු අවස්ථාවක් ලෙස එය නම් කළ හැකිය.
හැට හැත්තෑව දශකවලින් පසුව උපන් ලාංකිකයෝ තිඹිරිගෙයින් හුස්ම අල්ලන්නට පටන්ගන්නේම තමන්ට දරාගත නොහැකි තරම් ණයක් හිස මත තබාගෙනය. අනූවෙන් පසු උපන් පරම්පරාවට උපන්ගෙයිම මියයාමට බලකෙරෙන තරම් ණය කන්දරාවක් අපේ නායකයෝ අපට උරුම කර දුන්හ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා 26 වැනිදා මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී වැදගත් අනාවරණයක් සිදුකළේය. ඔහු කියාසිටියේ පසුගිය වසර 10ක කාලය තුළ මෙරටට ලැබුණු රුපියල් ට්‍රිලියන 10ක් වටිනා විදෙස් ණයවලින් රජයේ සංඛ්‍යා ලේඛනවල සටහන්ව ඇත්තේ රුපියල් ට්‍රිලියන 01ක මුදලක් පමණක් බව ය. ඉතුරු ට්‍රිලියන 09ම හිටපු පාලකයන් විසින් පිල්ලි ගසා ඇත යන්න ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ගැබ්ව තිබුණි. 
රුපියල් ට්‍රිලියන නමයක් යනු සෙල්ලම් මුදලක් නොවේ. ට්‍රිලියනයක් යනු රුපියල් බිලියන දාහකි. එසේත් නැතිනම් කෝටියේ ගොඩවල් ලක්ෂයකි. එයින්ද ගැම්මක් නොඑන්නේ නම් ලංකාවේ මුළු ආර්ථිකයේම වටිනාකම රුපියල් ට්‍රිලියන 13කට මඳක් වැඩිය. අවුරුදු කිහිපයක් තුළ රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැත්තෑවක් පමණ හොරාකන්නට ආණ්ඩුවකට හැකි නම් එය සුළුපටු දෙයක් නොවේ.
ලොව පුරා ඒ ඒ රටවල ආර්ථිකය පිළිබඳ ස්වාධීන සමාලෝචන ඉදිරිපත් කරන වෙබ් අඩවියක් වන tradingeconomics.com වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට 2017 තුන්වැනි කාර්තුව වනවිට ශ්‍රී ලංකාව සතුව ගෙවීමට ඉතිරිව ඇති මුළු විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 50.2කි. එය රුපියල්වලට හැරවූ විට ලැබෙන අගය රුපියල් ට්‍රිලියන 8කට ආසන්නය. එසේ බැලූවිට වාර්තා වී ඇති ණය ප්‍රමාණට ද වඩා වැඩි වාර්තා නොවූ විදෙස් ණය ප්‍රමාණයක් රට තුළ තිබේ.
එහෙත් එසේ වන්නේ කෙසේද යන්න හැබෑම අබිරහසකි. මන්ද ලංකාවට කිසිදු ආයතනයක් හිතුමතේට ණය ලබාදෙන්නේ නැත. චීනය පිළිබඳව මෙතැනදී යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව ආදී නිසි යාන්ත්‍රණයක් මත ක්‍රියාත්මක වන සංවිධාන සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක ක්‍රියාත්මක වන බටහිර රටවල් හිතුමතයේ ණය මුදාහැරීමක් ලංකාව වැනි දූෂණය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රටක් හමුවේ සිදුකරනු ඇතැයි සිතන්නට පවා නොහැක.
අනෙක් අතට ජාත්‍යන්තර පිළිගත් නීති ප්‍රකාරව යම් රටක් හෝ සංවිධානයක් තවත් රටකට හෝ සංවිධානයකට ණයක් ලබාදීමේදී ජාත්‍යන්තර ණය වර්ගීකරණ පිළිබඳව ද විශාල සැළකිල්ලක් දැක්වීම සාමාන්‍ය දෙයකි. රුපියල් ට්‍රිලියන නමයක විදෙස් ණය මුදලක් අතුරුදන්වීම වැනි කාරණයක් හමුවේ B+ වැනි සාමාන්‍ය මට්ටමේ ණය වර්ගීකරණ ශ්‍රේණියක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඉඩක් නැත. 
අනෙක් අතට මෙවැනි විදෙස් ණය අතුරුදන් වීමක් පැවැතියේ නම් රජය බලයට පත්ව අවුරුදු තුනක් ගතවන මොහොතේදී එය වාර්තාවීම ද සිතාගැනීමට අපහසුය. එකක් යහපාලන රජය බලයට පැමිණෙන්නේම හොරු අල්ලන බව කියමිනි. එය ඉකුත් ජනාධිපතිවරණයේත් පාර්ලිමේන්තුවේත් වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය.
දෙවනුව ආණ්ඩුව මේ දක්වා මහ බැංකු වාර්තා දෙකක් පිට කර තිබේ. ඒවායේ රජය විසින් විදේශයන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණ ගැනද විස්තර දක්වා ඇත. එසේ නම් වාර්තා නොවූ ණය ප්‍රමාණයක් පිළිබඳව මහ බැංකු වාර්තා සකස් කිරීමේදී පවා තොරතුරු හෙළිවන්නට ඉඩ තිබුණි.
මෙතැනදී සැළකිල්ලට ගතයුතු තවත් දෙයක් තිබේ. රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහ බැංකු වාර්තා සම්පාදනයේ වැරැදි භාවිතයක් පිළිබඳව වූ සමාජ මතයක් ගොඩනැගීමට ද විපක්ෂ දේශපාලන බලවේග සමත්ව තිබුණි. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වත්මන් අධිපතිවරයා ද පසුගිය කාලයේ මහ බැංකු සංඛ්‍යා දත්ත වැරැදියට භාවිතා කර ඇතැයි කිසිවිටෙක සඳහන් කර නැත.
මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පිළිතුරු දෙමින් කියා සිටියේ ජනාධිපතිවරයාට ට්‍රිලියන බිලියන මිලියන පිළිබඳ අවබෝධයක් නැතිකම හෝ පුරුද්දක් ලෙස කටට එන අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ය. 
ඒ කොයි හැටි වෙතත් ජනාධිපතිවරයා ට්‍රිලියන 09ක විදෙස් ණය ප්‍රමාණයක් අතුරුදන් වීම ගැන කියන්නේ මැතිවරණයක් මුවවිට බව ද අමතක කළ නොහැක්කකි. පසුගිය මැතිවරණ සමයන්හිදී පවා වංචා දූෂණ ගැන කියූ ප්‍රකාශවල සත්‍යතාව තවමත් ජනතාවට ඔප්පු කර නොතිබියදී තවතවත් වංචා දූෂණ පිළිබඳ තොරතුරු ජනතාවට ඉදිරිපත් කෙරෙමින් තිබේ.
කුමන ආණ්ඩුවක් හෝ වංචා කළේ නම් මහජන මුදල් මෙන්ම ජාත්‍යන්තරයේ මුදල්ද හොරා කා ඇත්නම් ඒ ගැන පියවර ගත යුතු බවට කිසිදු සැකයක් නැත. එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එහෙත් ජනාධිපතිවරයාගේ ට්‍රිලියන නමයේ කතාවෙන් සිදුවන්නේ කොටියා ආවෝ කොටියා ආවෝ යැයි කෑ මොර දුන් ගැමියාට සිදුවූ දේම ය.
ට්‍රිලියන නමයක මුදල් ප්‍රමාණයක් අතුරුදන් වී ඇත්නම් රජය ඒ පිළිබඳව ක්‍රියාකළ යුත්තේ මීට වඩා විධිමත් ආකාරයකට ය. මාධ්‍ය හමුවේ ඒ ගැන කියනවා වෙනුවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට එය පවරන්නට හැකියාව තිබුණි. සැබෑවටම වරදක් සිදුව ඇත්ද? එසේ නම් වැරුදිකරුවන් කවුද? ඔවුන්ට දෙන දඬුවම කුමක්ද? නැතිවූ මුදල් නැවත අයකරගත හැක්කේ කෙසේද යනාදී වැදගත් ප්‍රශ්නවලට එවිට පිළිතුරු සැපයිය හැකිවන්නට ඉඩ තිබුණි.
නමුත් ඒ වෙනුවට ජනාධිපතිවරයා තෝරාගන්නේ ගැලරිය බව බැලූ බැල්මට පෙනෙන කාරණයයි.  
********************************************************************************************************
සාක්ෂි -  සාධක නැති අතිශයෝක්තියක්
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ
ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය ඇත්තටම ගොඩක් බරපතළ ප්‍රකාශයක්. රුපියල් ට්‍රිලියන 09ක් කියන්නේ බිලියන 9000ක්. මිලියන ලක්ෂ නමයක්. ඉතින් මුල්ම කාරණය තමයි ඒ තරම් දැවැන්ත මුදලක් කිසිම සටහනක් නැතුව ලංකාවට දුන්නයි කියලා හිතන්න අමාරුයි. මොකද ලංකාවට ණය දෙන ඕනම විදේශ රටක් හෝ විදේශ ආයතනයක් ඒ ණය දුන්නට පස්සේ ඒ ගැන සුපරීක්ෂාකාරී වෙනවා.
ජනාධිපතිතුමා කියන දේ බැරිවෙලාවත් ඇත්තක් නම් ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ව විතරක් නෙමේ, අපිට ණය දෙන මිනිස්සුන්වත් රවට්ටලා. එහෙම තත්ත්වයක් තුළ බිහිවන්නේ කළු ආර්ථිකයක්. ඒක ජාත්‍යන්තරය තුළ අපේ රටට හොඳ තත්ත්වයක් නෙමේ. මේ වගේ තත්ත්වයක් තුළ අපිට ජාත්‍යන්තරයෙන් ආපහු ණයක් ගන්න නම් ලැබෙන්නෙ නෑ. හැබැයි ජාත්‍යන්තරය අපිටත් වඩා අපේ දේශපාලකයෝ හොඳින් අඳුනනවා. ඒ නිසා මැතිවරණ වේදිකාවලදි දේශපාලකයෝ කියන බේගල් ජාත්‍යන්තරය වැඩිය ගණන් ගන්නෙ නෑ. 
අනිත් කාරණේ තමා එහෙම වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ජනාධිපතිවරයා කළ යුත්තේ මැතිවරණ වේදිකාවකදි ජනතාවට ඕක කියන එක නෙමේ. ඒ වගේ දෙයක් කරපු අයට විරුද්ධව පියවර ගන්න මේ ආණ්ඩුවට බලය තියෙනවා. ඒත් අවුරුදු තුනකට පස්සේ මේ කියන කතා අතිශයෝක්තිය නංවපු කතාවක් කියලයි මගේ පෞද්ගලික අදහස. එහෙම නැත්නම් කවුරුහරි ජනාධිපතිතුමාට සංඛ්‍යා දත්ත වරද්දලා ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම වුණත් මේ වගේ දෙයක් නිකම් ප්‍රකාශ කරන්නෙ නැතිව ඊට අදාළ සාක්ෂි සාධකත් ජනාධිපතිතුමා පෙන්නුවා නම් තමයි වටින්නෙ.

13,559 Viewers

No comments