Header Ads

test

කොළඹදී ඩෙංගු මරුවාට බිලිවූ පොළොන්නරු මන්ත්‍රී දියණිය


ඩෙංගු මාරයාට ගොදුරු වන අමිල මිනිස් ජීවිත අප රටේ අපමණ බැව් නොරහසකි. එහි නවමු බිල්ල දෙදරු මවක වූ පුලතිසි දියණියකි. ඇය 35 හැවිරිදි රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මියයි.
තවත් විදිහකින් කිවහොත් පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දියණියයි. දරුවන් තිදෙනකුගෙන් යුත් ගම්ලත් පවුලේ වැඩිමලාත් බාලයාත් පුතුන් වන අතර රංජලා මද්දුම දෝණි වූවාය.
පොළොන්නරුව, මොණරතැන්න නම් වූ සුන්දර ගම්පියසේ උපත ලද රංජලා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා මාපියන් විසින් යොමු කරන ලද්දේ විදෙස් රටකටය. ඕස්ට්‍රේලියාවේ ඩීකින් සහ මොනෑෂ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරු ඇය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක වූවාය. සරසවි අධ්‍යාපනය නිමවා යළි මව්රට පැමිණ විවාහ දිවියට ඇතුළු වූණේ මෙරට ව්‍යාපාරික පවුලක තරුණයකු වන උදිත ඉලේපෙරුම මහතා සමඟය. විවාහයෙන් අනතුරුව ඇයට පදිංචිය සඳහා තෝරා ගන්නට සිදු වුණේද අගනුවරයි. සුපිරි නිවාසවල පරිහරණය කරනු ලබන ගෘහ භාණ්ඩ විදෙස් රටවලින් ආනයන කොට අලෙවි කිරීම සහ සංචාරක හෝටල් කර්මාන්තය ද ඔවුන්ගේ මූලික ව්‍යාපාර අතර වන බැව් කියති.
රංජලා එම ව්‍යාපාර සමුහයේ අධ්‍යක්ෂවරියක වූවාය. විවාහයේ ඇවෑමෙන් උදිත රංජලා කැදැල්ලේ කුඩා දරුවන් දෙදෙනෙකි. පස් හැවිරිදි වැඩිමහල් දියණිය ආයු ඉලේපෙරුම කොළඹ ජාත්‍යන්තර පාසලක පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරන ලද්දේ පසුගිය සතියේයි. පුතු කායි ඉලේපෙරුම තෙහැවිරිදිය.
රංජලා ගම්ලත් මහත්මියට ඩෙංගු උණ වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලැබ සුවය ලබා සිටි බව පවුලේ උදවිය කියති. පසුව නැවත ඇයට උණ සෑදී කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්කොට ඇත්තේ ඉකුත් සඳුදා (15 දා) දිනයේයි. ඒ වනවිට ඇයගේ රෝගී තත්ත්වය උත්සන්නව පැවති බව කියැවේ. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ඇය එදිනම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබේ.
රංජලාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරා ඇතත් සියල්ල ව්‍යවර්ථ කරමින් අවසානයේ මරුවා ජයගෙන තිබුණි.


සමාජයේ බොහෝ මාපියන්ට මෙන් රංජලා මහත්මියට ද තම දරු සිඟිත්තන් දෙදෙනා පිළිබඳව බොහෝ අනාගත බලාපොරොත්තු තිබෙන්නට ඇත. ඔවුන් ලොකු මහත්කර හොඳින් උගන්වා සමාජයේ යහපත් මිනිසුන් කරවීමේ ප්‍රාර්ථනය ඉදිරියෙන්ම වූවායැයි නොකිව හැක්කේ කාහටද? එහෙත් ඒ සියල්ලක්ම වැල්ලේ තැනූ මාලිගා සේ සුණුවිසුණු වී ගොස් ඇත්තේ නිමේෂයකිනි.
තම ආදරණීය අම්මාට අත්වූ ඉරණම කුමක් ද යන්න එම දරු සිඟිත්තන් දෙදෙනාට තවමත් හරිහැටි අවබෝධයක් හෝ නොමැති තරම්ය. රංජලාගේ සෙනෙහෙබර සැමියා උදිත ඇයට මෙම දුක්මුසු ඉරණම අත්වන විට සිටියේ දිවයිනෙන් බැහැරවය. ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස් ගතව සිටි හෙතෙම වහාම මෙරටට පැමිණ තිබුණි. ඔහුට ද මේ සිදුවීම අදහාගත නොහැක්කකි.
අකාලයේ සිය දිවි ගමන නිමා කළ රංජලා ගම්ලත් පවුලේ එකම දියණිය බැව් අප ඉහතින් ද සඳහන් කළෙමු. ඇයගේ නිසල දේහය කොළඹ සිට ඉකුත් 16 වෙනි දින සවස පොළොන්නරුවේ ගිරිතලේ පිහිටි එම පවුලේ නිවහන වෙත රැගෙන එනු ලැබීය. එතැන් පටන් පසුගිය සිකුරාදා (19) පස්වරුවේ අවසන් කටයුතු සිදුකරන තෙක්ම අතිවිශාල ජනගඟක් එම නිවෙස ගලා ආ බව සඳහන් කළහොත් එය අතිශෝක්තියක් නොවේ.
තම දියණියගේ අකල් වියෝගයෙන් කම්පිතව සිටි සිරිපාල ගම්ලත් මහතාත් එම මහත්මියත් දෑත් එක්කොට පැමිණි පිරිසට ආචාර කළා මිස වචනයක් හෝ මුවින් පිටකර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිනු දැකගන්නට ලැබිණි.
දරුවකු වෙනුවෙන් උතුරා යන මාපිය සෙනෙහස කෙබඳුද යන්න ඔවුන්ගේ දෑස් කෙවෙනි තුළින් ගාලා ගිය කඳුළු ගඟ දුටු ඕනෑම අයකුට හැඟෙන්නට ඇත.
සිරිපාල ගම්ලත් මහතා පොළොන්නරුවේ දේශපාලනඥයකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු බව ප්‍රකට කරුණකි. ඔහු දේශපාලනයට පිවිසෙන්නට පෙර පටන්ම ව්‍යාපාරික කේෂ්ත්‍රයේ හිණි පෙත්තට නැඟ සිටියේ ප්‍රකට නිපුන සහල් ව්‍යාපාරයේ හිමිකරු ක්ෂේත්‍රයට අවතීර්ණව සිටියාය. ඔහුගේ මිය ගිය දියණිය ද ව්‍යාපාරික පවුලකි. අප මේ බැව් මෙහි සඳහන් කළේ ජනසමාජය තුළ පවතින මතයක් වන්නේ මිල මුදල් යහමින් තිබෙන කෙනෙකුට ඕනෑම දෙයක් කළහැකිය යන අදහස නමුත් එය එසේ නොවේය යන්න සිහිපත් කරන්නටය.
කෙසේ නමුත් රංජලා මහත්මියට ඩෙංගු උණ රෝගය වැළඳී එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවය ලබා සිටියදී නැවතත් රෝගී තත්ත්වයට පත්ව මෙලෙස අකල් මරණයට පත්වූ බව ඇසීම බොහෝ දෙනා කතාබහ කරන මාතෘකාවක් වී තිබේ. එනම් මුල් අවස්ථාවේ ඩෙංගු වැළඳී ප්‍රතිකාර ලබාගෙන පසුව දිගින් දිගට එම රෝගීතාවය ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූවා ද යන්නයි. මක්නිසාද එය එසේ වී නම් මේ මරණය යනු දෛවෝපගත සිදුවීමක් ලෙස බැහැර නොකොට කුමන රෝගී තත්ත්වයක් කෙරෙහි වුවද දැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍යය යන පණිවුඩය අපි සමාජයට දිය යුතු වෙමු.

78,569 Viewers

No comments