Header Ads

test

වේලි වේලි සිටි රනිල්ලාට කරල පැහුණු බැඳුම්කරය


බහුතර ජනතාව විසින් මහින්ද රාජපක්ෂ පරාජය කරමින් මේ රටේ පාලන බලයෙන් එලවා දැමුවේ ජනතාව සතු හොරාකෑ ප්‍රකෝටි ගණන් මුදල් නැවත රටට අත්වේයැයි යන සුභවාදී ආකල්පයෙනි. එම මැතිවරණ ජයග්‍රහණය තුලින් මෛත්‍රීපාල ජනපති පුටුවේ තැබීම හෝ රනිල් අගමැති කිරීම කිසිසේත්ම මේ රටේ ජනතාවට අවශ්‍ය නොවුනි. හිතේ කැකෑරෙන දහසකුත් එකක් වෛරය පිටකළ හැකි එකම මාවත වුයේ මැතිවරණයේදී ලැබෙන කතිරය මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව පාවිච්චි කිරීම පමණි. එය නිසියාකාරව ක්‍රියාවේ නගමින් මහා පරිමාන තක්කඩි රංචුවක් එක මිටට ගෙන පරාජය කිරීමට තරම් මේ රටේ ජනතාව ධෛර්යමත් වුහ. සදාකාලික ජනාධිපති , ජාතියේ අප්පච්චි එලවා දැමුවේ රටම උඩු යටි කුරු කරමිනි. ජනතාව සතු බලය අවතක්සේරු කරන කවරකුට හෝ එම සිදුවීම කදිම දේශපාලන පාඩමක් ලෙස උගත හැක.

මහින්ද රාජපක්ෂ ගේ කුප්‍රකට මගෝඩි පාලනය පෙරලා දැමු " යහපාලන " හංවඩුව ගසාගත් රනිල් මෛත්‍රී හවුල විසින් බලයට පැමිණ මාසයක් ගතවීමට මත්තෙන් රටේ හදවත බඳු මහා බැංකුව සුන්නද්ධුලි කර දැමිය. මේ රටේ මිනිසුන්ගේ දුක කඳුල නොහඳුනන මෙහේශාක්ය කුමාර කුමරියන්ගෙන් සැදුම් ලත් මේ තක්කඩි හොර මුල විසින් සොරා කෑ සමස්ත මුදල කන වැකුණු විට හෘද ස්පන්දනය මදකට නතර විය. විදේශ ණය , මැදපෙරදිග වහල් මෙහෙයේ යෙදෙන අපේ ආදරණීය අම්මලා අක්කලා නොමැරී උපයා එවන මුදලින් රටේ බංකොලොත් ආර්ථිකට තව පැය කිහිපයකට පණ දෙන රටක මේසා සුවිසාල මුල්‍ය වංචාවක් කෙසේ නම් ඔරොත්තු දිය හැකිද ? රනිල් වික්‍රමසිංහ ගේ අමාත්‍යංශය සතු මහා බැංකුව කොල්ල කෑමට ඔහුගේ අනු දැනුම නොමැතිව කිසිවෙකුට නොහැකි බව දැන් ඔප්පු වී ඇත. දේශපාලනය සහ සොරකම එකට යා වී ඇති තට්ටු මාරු දේශපාලනයෙන් මේ රට ගොඩගත නොහැකි ආගාධයකට මේ වන විට තල්ලු වී අවසන්ය.

මහ බැංකු මගඩියට පෙර මේ රටේ බැංකු පොලි අනුපාතය 8.85 ක් වූ අතර ඉන් පසුව එය 11.73 ක්‌ දක්‌වා ඉහළ ගියේය. රටේ ආර්ථිකයට වෙනසක් දැනෙන්නේ එතැන් සිටය. ලෝකයේ ඕනෑම රජයක් ණය ලබාගැනීම සිදු කරන අතර, එය ලබා ගැනීමේදී මහා බැංකුව රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරයි. භාණ්‌ඩාගාර බිල්පත් මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් එම ණය මහා බැංකුව විසින් රැස් කිරීම නියමිත පටිපාටිය වේ. එතෙක් පැවති බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදයට රනිල්ගෙන් ඉහලින් අණක් මහා බැංකු අධිපති වරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ට ලැබුනේ සියල්ලෝම විශ්මයට පත් කරමිනි. එනම් මහා බැංකුව අනුගමනය කල වෙන්දේසි ක්‍රමය (බැඳුම්කර මිලදී ගැනීම සඳහා ලංකාවේ ආයතන 6 ක් අතර තරඟයක් පැවතුනි.) අහෝසි කර අර්ජුනගේ බෑණාගේ පර්ච්වල් ට්‍රෙෂරිස් සමාගමට තනි අතට ගනු දෙනුව ලැබෙන සේ සියල්ල සකසන ලද්දේ තම රාජකීය විදුහලේ ගජ මිතුරන් වූ රනිල් මහේන්ද්‍රන් එකතුවෙනි.

2015 පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූමහා මුල්‍ය වංචාව සිදු වුයේ මෙසේය. 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රජය මුලින් ලබා ගැනීමට අපේක්‍ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක්‌ සඳහා වන ලංසුවක් ක්ෂණිකව ඉදිරිපත් විය. එවිට වෙන්දේසියේ තනි අශ්වයා වුයේ අර්ජුන් ඇලෝසියස් ගේ ෆර්චුවල් ට්‍රෙෂරිස් සමාගමය. කලින් සැලසුම් කල පරිදි සියල්ල සිදුවුයේ පැයක පමණ කාලයක් තුල පැවති එම වෙන්දේසියේදීය. එම ණය මුදල සඳහා ගෙවිය යුතු සාමාන්‍ය පොලි අනුපාතය වූ 8.85 අබිබවා 11.73 දක්වා පොලි අනුපාතයද ඉහල දැමුවේය. . . බලාපොරොත්තු වූ බිලියනය වෙනුවට බිලියන දහයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන් විසිනි. ඔහුට උපදෙස් දෙනු ලැබුවේ රනිල් හා රවී විසින් බව දැන් හෙළි වී අවසන්ය. රාජ්‍ය ණය අධිකාරිවරියද ඒ බව කොමිසම හමුවේ සනාත කර ඇත. පොලී අනුපාත ඉහළ යෑම හරහා රටට රු. කෝටි 870 ක පාඩුවක් සිදු වූ බව දැනට ඇස්තමේන්තු කර ඇත.

පෙර පැවැති පොලිය සියයට 8.85 ක්‌ ලෙස සැලකුවහොත් එම අනුපාතය යටතේ මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයේ වසරක පොලී වියදම රු. මිලියන 890 කි. සියයට 11.73 කට වැඩි වූ සාමාන්‍ය පොළී අනුපාතය අනුව වසරකට වැය වන පොළිය රු. මිලියන 1180 කි. ඒ අනුව එම තිස්‌ අවුරුදු බැඳුම්කරයට පමණක්‌ වසරකට වැඩියෙන් ගෙවීමට සිදුවන පොළී මුදල රු. මිලියන 290 ක්‌ වේ. එම බැඳුම්කරය 30 ස්‌ අවුරුදු බැඳුම්කරයක්‌ වන නිසා වසර 30 ක කාලයට දැරීමට සිදුවන අතිරේක පොළී වියදම මිලියන 8700 කි. එනම් රු. කෝටි 870 කි. පොළී අනුපාත ඉහළ යැම හමුවේ පසුව පැවැත්වූ සෑම භාණ්‌ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙන්දේසියකිනම සිදුවුයේ රටට දැරිය නොහැකි පාඩුවකි. අවසන් වරට 2015.07.02 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක දක්වා රජයේ මුළු පොළී වියදම ඉහළ යැම රු. මිලියන 59,211 ක්‌ ලෙස වාර්තා විය. එනම් රු. කෝටි 5921 කි. බැඳුම්කර මගඩියේ පාඩුව රු. කෝටි 5921 ක්‌ දක්‌වා පැටව් ගැසුවේ එලෙසය.

මේ සා විශාල ධනස්කන්ධය උලාකෑමට පැමිණි රනිල් ගේ සිට රවී කරුණානායකගේ සිය පවුලමද එක්සත් ජාතික පක්ෂයේ ෆුට්නොට් කල්ලියද , දයාසිරිද මේ වන විට ජනතාව හමුවේ නිරුවත් වී ඇත. සිරිසේන ජනපතිට උවද අවසානයේදී මෙම කොමිසම දැමීමට සිදුවුයේ නොවැලක්විය හැකි හේතුන් මතය. මෛත්‍රීපාල සිරිසේන අවසාන මොහොත තෙක්ම යට ගසා ජනතාවගෙන් ඈත් කිරීමට ගත් සියලු උත්සාහයන් පරාජයට පත් විය. එහෙත් රට තුල විද්‍යාමාන වන උභතෝකොටිත ප්‍රශ්නය වන්නේ මේ තක්කඩියන්ට ඉටුවන යුක්තිය පිලිබඳවය කමිටු වාර්තාව එළිදක්වන්නට අමුඩය තද කලද . එයද මීට පෙර බටලන්දට, වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය පිළිබද දැමු කොමිසමේ ඉරණම මේ වනවිට ඉෂ්ඨ වී ඇත. මේ තක්කඩි සොරදෙටුවන්ගේ පන්තියේ කවරෙකු වුවද නිදොස් කොට නිදහස් කිරීමේ පාදඩ දේශපාලන සංස්කෘතිය රජයන තුරු ජනතාවට අබ සරණය . ඩීල් දේශපාලන රජ කරන මේ රටේ මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ පෙරේතතටුවෙන් මේ පිළිබඳව කිසිදු වග විභාගයක් නැත. මහා බැංකු බැදුම්කරය සම්බන්ධව කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක නොවුනි නම් කිසිදු අවහිරයකින් තොරව අර්ජුන් අලෝසියස්ලා ඇතුළු මේ රටේ මජර දේශපාලන පිසාචයන් විසින් අවසන් ශතය දක්වාම හුරාකනු ඇත. මීට පෙර අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ද එකතුව මේ මගඩිය අර්ජුන ඇලෝසියස් සමග සිදු කලේ සේවක අර්ථ සාධක අරමුදලද සුනු විසුනු කරමිනි. එහෙත් ඒවාට ඉටු වූ යුක්තියක් නැත.තවමත් මහින්ද පන්සල් ගානේ රස්තියාදු ගසමින් නිදහස් සිටි. ඔන්න දැන් ජනතාවට අවස්ථාවක් ලැබි ඇත. ණය ගෙවීමේ බද්ධ හරහා එතුමන්ලා හොරා කෑ ප්‍රකෝටි ගණන් මුදල් නැවත ගෙවීමට වාරය පැමිණ ඇත. දැන් ඉතින් වාරික සුදානම් කර ළඟ එන පළාත් පාලන මැතිවරණයේදීද ඔවුන් බලයට ගෙන එන්නට සුදානම් වන්න..!!



98,439 Viewers

No comments