Header Ads

test

මෝඩයන්ගේ ඡන්දයෙන් නරුමයන් බලයට පත්වීම සහ නරුමයන් සමග හෙලුවෙන් සිටින්නට වීම.


නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවේ, නඟර සභා /පළාත් පාලන /පළාත් සභා /පාර්ලිමේන්තු /ජනාධිපති වැනි ආයතන සහ ධුරයන් සඳහා අපේක්ෂකයන් තෝරා පත් කරගනු ලබන්නේ සර්ව ජන ඡන්දය හිමි ශ‍්‍රී ලාංකිකයන්ගේ ඡන්දයෙන් වන අතර එහිදී ඡන්දදායකයා වයස 18ට වැඩි ශ‍්‍රීලාංකිකයෙකු වීම සුදුසුකම වෙයි. ඒ හරහා ලංකා දේශපාලනයේ අනාගතය තීරණය කිරීමේ බලය සියළු රටවැසියන් වෙත සමාන වු අගයකින් බෙදි යයි. අවම දේශපාලන දැනුමක්වත් නොමැති පුද්ගලයාත්, දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයාට හිමි වන්නේ එක හා සමාන ඡන්ද අගයකි. ඒ ඒ පුද්ගලයාගේ දේශපාලන කැමැත්ත (පක්‍ෂය / අපේක්‍ෂක චරිතය* කුමක් වුවත් ඒ තෝරා ගැනීම සබුද්ධිකව සිදුවිය යුත්තකි. දේශපාලනය පිළිබඳව, රට පිළිබඳව, සමාජය පිළිබඳව යම් හෝ දැනුමක් සවිඡනකත්වයක් ඇති පුද්ගලයන්ගේ කැමැත්ත ( එය කුමක් වුවත්* දැරීමට ඇති අයිතිය පිළිගත හැක. එහෙත් තම ඡන්දය පිළිබඳ තීන්දුව, දේශපාලනික නොවන වෙනත් කාරණා මත හෝ බාහිරයෙන් සිදුකරන මුලාවකට යටත්ව තීරණය කරන පිරිසගේ මතය ඒ හා සමාන බරකින් පිලිගත හැකිද. තවමත් ලංකාවේ අතිශය බහුතර ජනතාවක් දේශපාලනය සම්බන්ධව අවම දැනුමකවත් සාමාන්‍ය අවබෝධයක්වත් නොමැති පිරිසක් වන බව වටහාගැනීමට සංකීර්ණ පරික්‍ෂණ අවශ්‍ය නැත. පක්‍ෂ විපක්‍ෂ සියළු දැන උගත් මිනිසුන් පිලිගන්නා ආකාරයට ලංකාවේ මහජනතාවගෙන් බහුතරයක් බුද්ධිමත් ඡන්දදායකයන් ලෙස හැඳින්විය නොහැක. දේශපාලකයන් වේදිකා මතදි මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක් යැයි පැවසුවද, සැබෑවටම එය එසේ නොවන වග ඔවුන්ද දනී. මේ අනුව රටක සාතිශ්‍ය බහුතරය දේශපාලන දැනුමින් දරිද්‍රයන් වන්නේ නම් සර්ව ජන ඡන්ද බලය හරහා එවැනි රටකට සිදුවන්නේ යහපතක් නොවේ. මේ අනුව අප රටේ ජනමතය යනු බහුතර දේශපාලන දැනුමින් අදබාල පිරිසකගේ කැමැත්ත බවට පත් වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් ඉල්ලා සිටින බහුතර මහජන කැමැත්ත නොහොත් 50%කුත් එක් ඡන්දයක් සැලකීමේදී.... එකී බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලකයන් ඉතා පහසුවෙන් ඉලක්ක කර ගන්නේ පෙර කී දේශපාලන දැනුමින් අඳබාල පිරිසගේ කැමැත්ත දිනා ගැනීමය. පහුගිය දශක කිහිපය පුරාවටම ලංකාවේ ආණ්ඩු බිහි කළෙත්, ජනාධිපතිවරු බිහිකළෙත් මේ දේශපාලන දැනුමින් අඳබාලයන් ගේ කැමැත්තෙන් වුවත් පිලිගත යුතුය. ඒ නිසාවෙන්ම ලංකාව දිනෙන් දින දේශපාලන සදාචාරයෙන් හා දේශපාලන සංස්කෘතියෙන් පිරිහුණා මිස ප‍්‍රගමණයක් පෙන්වා නැත.

තම ඡන්දය පාවිච්චි කිරිමේදී ඊට අදාල අවසන් තීරණය ගැනීමට ඡුන්දදායකයා හට සහය විය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ දේශපාලන දැනුම සහ රටේ අදාල මොහොතේ පවතින තත්වය පිළිබඳ වන විග‍්‍රහයයි. එහෙත් ඉහත කාරණා දෙක අනුව තීරණ ගැනීමට නිසි පමණ දැනුමක් සමාජ අවබෝධයක් නොලද පුද්ගලයන් (දේශපාලන දැනුමින් අදබාලයන්* තම ඡන්දය වෙනුවෙන් වු තීරණය ගැනීමට නිර්නායක බවට පත්කරගන්නේ ඊට හාත්පසින් වෙනස් වු කරුණු කාරණාය.

මිනිසුන් ස්වභාවයෙන්ම ආත්මාර්ථය වෙනුවෙන් කටයුතු කරයි. සමාජ දේශපාලනික ආගමික දැනුම වර්ධනය වීමෙන් මිනිසාගේ ආත්මාර්ථකාමි සවභාවය යටපත් කරයි. නමුත් දේශපාලන දැනුමින් අඳබාලයන්ට තම ඡන්ද බලය යනු පරාර්ථය වෙනුවෙන් යෙදවිය යුතු දෙයක් බවට වැටහීමට තරම් පොහොසත් කමක් නැත. තමන්ට, තම පවුලට, තම ආගමට, තම වර්ගයාට වඩා වාසිදායක වන පක්‍ෂයකට පුද්ගලයෙකුට ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඔවුන් පෙළඹෙන්නේ එබැවිනි.

විවිධ වු භාණ්ඩ බෙදාදීමෙන්, වර්ගවාදය ආගම්වාදය කුළුගැන්වීමෙන්, දු දරුවන්ට රැුකිරක්‍ෂා ලබා දෙන බවට පොරොන්දු ලබා දීමෙන් දේශපාලන දැනුමින් අ`දබාල පිරිසගේ ඡුන්දය මංකොල්ලකෑමට දේශපාලකයන් දක්‍ෂ වී ඇත්තේ මේ බැව් හඳුනාගත් නිසාය. ඒ අතර රූපවාහිනියෙන් දුටු ප‍්‍රසිද්ධ චරිත වෙනුවෙන් තම ඡන්දය භාවිතා කිරීමේ ස්වභාවයද පසුගිය සමයේ දක්නට ලැබෙන්නේ පෙරකී දේශපාලන දැනුමේ දරිද්‍රතාවය හේතුවෙනි. එකී ප‍්‍රසිද්ධ චරිත මනාප ලැයිස්තුවල පෙරමුණට එන්නේ මා මුලින් සඳහන් කළ ලෙසටම දේශපාලන අඳබාලයන් සාතිශ්‍ය බහුතරයක් මේ රටේ පරමාධිපත්‍යය බලය උසුලන බැවිනි.

වසර ගණනාවකට පසු මා විසින් ඡන්දය ලබාදුන් අපේක්ෂකයෙකු රාජ්‍ය බලයට පත්වීම සිදු විය. ඒ අනුව මෛත‍්‍රිපාලගේ ඡුන්දයේදී රටේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක වුයේ මා සිතු ආකාරයටය. ඒ නිසාවෙන් දැන් මේ රටේ පරමාධිපත්‍ය තීරණය වන්නේ දැනුම්වත් ජනතාවකගේ බහුතරයකින් යැයි සඳහන් කිරීමට තරම් මනෝරාජික විය නොහැක.

මහින්ද රාජපක්‍ෂ පරදවා මෛත‍්‍රිපාල ජයගන්නේ රටේ ජනතාව එකවර දේශපාලන දැනුමින් සන්නද්ධ වු නිසා යැයි පැවසීම විහිළුවකි. සැබෑවටම මහින්ද රාජපක්‍ෂයට එරෙහිව මේ රටේ දේශපාලනය ගැන සබුද්ධික පිරිසෙන් පැහැදිලි බහුතරයක් තම ඡුන්දය පාවිච්චි කළත්, මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වන්නේ ඒ හේතුව නිසා නොවේ. පෙර මා කී ලෙසට මෙවරත් ජයග‍්‍රකයා තේරී ඇත්තේ දේශපාලන අඳබාලයෝ ගේ චින්තන විදියෙන් එක් ආකාරයක් නිසාවෙනි. එනම් තම වර්ගයාට තම ආගමට වඩා වාසිදායක අපේක්‍ෂකයා තෝරා ඔහුට ඡුන්දය දීමේ ආකාරය නිසාවෙනි.

පසුගිය සමයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිකම් කරමින් සිටි කාලයේ සිංහල බෞද්ධ වාර්ගික ආගමික හැඟිම් අවු`ථවා එහි දේශපාලන වාසිය ලබාගැනීමේ උවමනාවෙන් නිර්මාණය කරන අතර බොදුබල සේනා පන්නයේ සංවිධාන නිසා, මේ රටේ මුස්ලිම් ප‍්‍රජාවගේ බලවත් අප‍්‍රසාදයට ලක්වන්නට රාජපක්‍ෂලාට සිදුවිය. වඩා සංවිධානාත්මක ප‍්‍රජාවක් වන මුස්ලිම් ප‍්‍රජාව මැතිවරණයක් එලඹෙන තුරු බලා සිටියේ ඊට අදාල වන්දිය රාජපක්‍ෂලාගෙන් අයකර ගැනීමටයි. ඒ අනුව ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂට එරෙහිව ඉදිරිපත් වු මෛත‍්‍රීට මුළු මුස්ලිම් ප‍්‍රජාවම එකා මෙන් ඡුන්දය ලබා දෙන්නේ මෛත‍්‍රි සම්බන්ධව වන දේශපාලික විග‍්‍රහයේ සුභ ලක්‍ෂණ නිසාවෙන්වත් රාජපක්‍ෂගේ දේශපාලනය මේ සමස්ථ රටට පසුගිය වසර හතරේදී සිදුකළ හානිය සලකාවත් නොවේ. සංක්‍ෂිප්ත කොට දක්වන්නේ නම් බොදුබල සේනා පන්නයේ සංවිධාන බිහි නොකළේ නම් රාජපක්‍ෂට එරෙහිව ඡන්ද දීමට මුස්ලිම් ප‍්‍රජාවට ඇති හේතුවක් නැත.

උතුරේ ප‍්‍රතිඵලයෙන් සිදුවී ඇත්තේ, යුද්ධය අවසන් වීමෙන් පසු පැවති සියලූ මැතිවරණ වලදී ‘බුලට් එකෙන් පරාජය වුණු උතුරේ දෙමළ සමාජය බැලට් එකෙන් රාජපක්‍ෂලාට ප‍්‍රහාර එල්ල කිරීමයි.’ උතුරෙන් මෙවර මෛත‍්‍රි වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගන්නේ ඒ රාජපක්‍ෂ විරෝධය නිසාවෙනි. එම දෙමළ විරෝධය රාජපක්‍ෂට එල්ලවන්නේ රාජපක්‍ෂ උතුරු දකුණු සංහිදියාව ඇති නොකරන නිසාවත් රාජපක්‍ෂ දෙමළ ජනයාට බලපාන දේශපාලන කරුණු නොසලකන නිසාවෙන් වත් නොවේ. එම විරෝධය පැහැදිලිවම එල්ලවන්නේ සන්නද්ධව ඔවුන් පරාජය කොට, (ඔවුන් විශ්වාස කරන පරිදි * ඔවුන්ගේ භුමියේ බලහත්කාරය පතුරන සිංහල අධිපතියාටයි. සාකච්ඡුාව සම්මුතියට වෙනුවට නියෝග ලබා දෙන නායකයාට එරෙහිවයි. ඒ අනුව මහින්ද උතුරෙන් පරාජය වන්නේ අඳබාල දේශපාලන චින්තනයේ පෙර කී එක් ආකාරයක් වන තම වර්ගයාට වාසිදායක නොවන අපේක්ෂකයා පරාජය කළ යුතුය යන වටහාගැනීම නිසයි.

මහින්ද රාජපක්‍ෂ මෙසේ දෙමළ මුස්ලිම් වාර්ගිකත්ව වලින් ඡන්ද අහිමි කරගනිද්දි දකුණේ බොහෝ ප‍්‍රදේශ (ගියවර තරමට නැතත් ඉතා සුළු වැඩි ඡන්ද ප‍්‍රමාණයකින්* ජයගන්නේද සිංහල බෞද්ධ ප‍්‍රජාවගේ යම් පිරිසකගේ ඔළුවලට ඇතුළු කරන ලද බොදු බල වර්ගවාදය නිසයි. මුස්ලිම් දෙමළ ප‍්‍රජාව වාර්ගිකත්වය මත කටයුතු කරන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ සහ ආගමික නායකයන්ගේ උපදේශනයෙන් වන විට, රජයක් ලෙස ආණ්ඩුවක් ලෙස සංවිධානාත්මකව රාජපක්‍ෂලා වර්ගවාදය රටේ අඳබාල ඡන්දදායකයන්ගේ ඔළු වලට ඇතුල් කරන්නේ සිය එකම ගැලවීම එය පමණක් බව ඔවුන් කලින් හඳුනාගත් නිසයි.

රාජපක්‍ෂට ඡන්දය දුන් බොහෝ සිංහල බෞද්ධයන්ගෙන් ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කළ පදනම විමසීමේදී බහුතරයකගේ අදහස වන්නේ ‘‘මේ රටේ දෙමලූන්ටයි හම්බයන්ටයි නටන්න දෙන්න බෑ. කොච්චර හොරකං කළත් ජනාධිපතිතුමා හිටියොත් තමයි සිංහල බෞද්ධ අපිට තැනක් තියෙන්නේ’’ යනුවෙනි. මේ මතය (එය කිසිලෙසකින් සත්‍යයක් නොවේ. අඳබාල ඡන්දදායකයන්ගේ ඔළුවලට යැවීම සඳහා මහින්ද රාජපක්‍ෂ තම ප‍්‍රචාරණ යන්ත‍්‍රණයේ පැහැදිලි ඉඩක් වෙන් කළ අතර මීට වසර දෙකක පමණ කාලයක සිට ක‍්‍රමානුකුලව දියත් කරන ලද සැලසුමක් හරහා එය ක‍්‍රියාත්මක විය.
මේ අනුව මහින්ද මේ තරමටවත් දකුණෙන් ඡන්ද ලබාගන්නේ, පෙර කී දේශපාලනයේ අඳබාල ඡන්දදායකයන් ‘තම වර්ගයාට ජාතියට ආගමට නායකයෙක් සොයා යන තැනට පත්කොට ඒ නායකයා ලෙස මහින්ද විසින් මහින්දවම අභිශේක කර ගැනිමෙනි.

සැබැවින්ම මෙවර මැතිවරණය තරම් වාර්ගිකත්ව ආගමිකත්ව පක්‍ෂපාතීත්වය පෙරට ආ මැතිවරණයක් අතීතයෙන් මතක් කරගැනීම අපහසුය. ‘සිංහල බෞද්ධයන් මහින්දට ද, සෙසු සියල්ලන් මහින්දට නොවේ’ යනුවෙන්ද මැතිවරණ ප‍්‍රතිඵල විශලේෂනය වුයේ එබැවින්ය.. ඒ තරමට මේ රටේ අ`දබාල ඡන්දදායකයන්ගේ පරමාධිපත්‍ය ගෝත‍්‍රික ලක්‍ෂණද පෙන්නුම් කර ඇත.

සෑම දේශපාලන පක්‍ෂයකට මෙන්ම, ඒවායේ නායකයන්ට ද, අන්ධ භක්තික අනුගාමිකයන් (බැතිමතුන්* සිටීම ලංකාවට පමණක් විශේෂ වූ තත්වයක් නොවේ.. මෙහි සලූ ගැලවෙන උදාහරණ තමිල්නාඩුවෙන් ද ඕනෑතරම් ය. ඛේදවාචකයට කරුණ වී ඇත්තේ මේ අ`දබාලයන්ගේ ගහණය දිනෙන් දින වර්ධනය වනවා මිස ව`ද වී යන බවක් නොපෙන්වීමයි..

ඒ අනුව පෙර සියළු මැතිවරණ වලදී මෙන්ම මෙවරද ලංකාවේ ජනාධිපතිවරයා බිහිවී ඇත්තේ දේශපාලනයේ අඳබාල ඡන්දදායකයාගේ මැදිහත් වීමෙනි. යමෙක් තම ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී ඡන්ද අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති කල්ක‍්‍රියාව පිළිබඳ විමසනු වෙනුවට ඔහුගේ ආගම, වර්ගය, කුළය, ආරෝහණ පරිනාහ බව, උඩු රැවුල ආදි දේ පිළිබඳ උනන්දු වන්නේ නම්, එය මේ රට අඳබාලයන්ගේ ප‍්‍රජාතන්තවාදයකට යටත්ව ඇති බවට වන හොඳම සාක්ෂියයි. එවැන්නවුන් බහුතරයකගේ කැමැත්තෙන් තේරී පත්වන බොහෝ මහජන නියෝජිතයන් දෝෂ සහිත වුවන් වීම ස්වභාවිකය. එය අප හො`දින් අත් දකිමින් සිටී. ඛේදය නම්, වඩා දේශපාලනික කාරණා මත ඡන්දය හසුරවන පිරිසටත් දේශපාලන අදබාලයන්ගේ බහුතර කැමැත්තෙන් පත්වන දෝෂ සහිත මැති ඇමතිවරුන්ගෙන් අපට පාලනය වන්නට සිදුවී තිබීමයි.

69,421 Viewers

No comments