Header Ads

test

ට්‍රැෆික් නසන පැලැස්තර කවදා වෙනකල් වලංගුද ?


දකුණු ආසියාවේ තියන ලොකුම ට්‍රැෆික් වලින් එකක් වන ලංකාවේ වෙළඳ අගනුවර සිට පරිපාලන අගනුවර  දක්වා මහාමාර්ගයේ රථවාහන තදබදය කළමණාකරණය කිරීමේ අරමුණින් ඉදිකෙරුණු ගුවන් පාලම පසුගියදා  විවෘත කෙරුණා. ඔව්. ඒ පාරේ උදේ-හවහ යන කෙනෙක් හැටියට පොඩි සතුටක් තියනවා. ඒත්, මේ ඉදිකිරීම ගැන පිනාගිය ප්‍රීතියක් මට නම් දැනෙන්න නෑ. ෙහ්තුව, ඔය වැඩේ ප්‍රශ්නයට අදාළ නියම උත්තරේ නොවෙන නිසා.
අවුරුද්දකට අලුත් වාහන ලක්ෂ දෙකහමාරක් තුනක් එක්ක වැඩි වෙන වාහන පරිභෝජනයත් එක්ක දවසින් දවස මේ පාරවල් වල වාහන වැඩි වෙනවා. ඉඳ හිට ගමනක් බිමනක් යන්න වාහනේ පාවිච්චි කරපු මිනිස්සු දැන් දැන්, නිතර නිතර වාහන පාරට දානවා. වාහනයක් නඩත්තු කරන්නහැකියාවක් හෝ ඇත්තටම මෙච්චර කාලයක් වාහනේක අවශ්‍යතාවක් නොතිබුණත්, දෛනික ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පුද්ගලික වාහනයක අවශ්‍යතාව දැනෙන නිසා වාහනයක් මිලදී ගනිමින් ඉන්නවා.
බොහෝ දෙනෙක් පුද්ගලික වාහනයක ගමන්-බිමන් යන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවල තියන අවුල නිසා. වෙලාවට නො එන බස් , ඇගිල්ලක්වත් ගහගන්න ඉඩක් නැති කෝච්චි,  යටත් වුණු ජාතියක වහලුන්ට වගේ සලකන කාර්ය මණ්ඩල, සමූහ අඩත්තේට්ටමට ලක්වෙන දෙපැත්තේ පෝළිම් දෙක මැද්දේ ගහන පෝළිම්, ඉතුරු ඉල්ලුවාම කාසි වෙනුවට සැර උත්තර හම්බ වෙන ගනුදෙනු සේවා ආදී කප්පරක් ගැටලු මේවාට බලපානවා. පිළි‍ෙවළකට ඇඳලා බස් එකකට නැඟල ඒ පිළිවෙළටම බස් එකෙන් බහින්න පුළුවන් නම්, ඒ දවසේ වාසනාවන්තයෙකුට පමණයි. පැයේ ගමනට පැය දෙකක්, දෙක හමාරක් ගතවෙනකොට කොට යන අය වගේම, අනෙක් අතට යුධ පෙරමුණක ඉදිරි ආරක්ෂක වළල්ලේ මුරට ඉන්න සෙබළෙකුටවත් නැති අවදානමක් අරගෙන බස් එකේ ඉඳගෙන යන්න සිද්ධවෙනවා. පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිත බොහෝ රිය අනතුරු හඳුන්වන්න වෙන්නේ හදිසි අනතුරු කියනවාට වඩා සමූහ ඝාතන හැටියටයි. එවැනි තත්ත්වයක් තුළ තමන් යනව තියා ඥාතියෙකුවත් බස් එකක යවන්න හිත හදාගන්නෙ අමාරුවෙන්.
ඒ විතරක් නෙවෙයි, වැහි හිරිකඬඩ්කටවත් නොතෙමෙන්න ඔළුව ඔබාගන්න පුළුවන් බස් නැවතුම් පොළවල් ගණන ඉතාම සීමිතයි. කොළඹ කොටුවේ ඉඳලා රට වටේට විහිදුණු දුම්රිය සේවාව පරිහරණය කරන කෙනෙකුට හිරිකියක් නැතුව තමන්ගේ ශරීර කෘත්‍ය කරගන්න පුළුවන් වැසිකිළි ප්‍රමාණය සහ ස්ථාන ගැන නම්-තැන් හැටියට කියන්න පුළුවන් තරමට සීමිතයි. ඒ කියන්නේම අනෙක් තැන්වල තත්ත්වය අතිශයින්ම අප්‍රසන්නයි. බස් නැවතුම් සහ බස් ගමන් සම්බන්ධයෙන් තත්ත්වය මීටත් වඩා දුක්ඛිතයි. පිට නොකළොත් පුපුරා මිය යා හැකි නිසා පමණක්, බොහෝ දෙනෙක් මේ ප්‍රවාහන පද්ධතියට අදාළ සනීපාරක්ෂණ සේවා භුක්ති විදනවා. ප්‍රවාහන පද්ධතියට අදාළ බහුතරයක් වැසිකිළි කැසිකිළි බූරු පොළවල්, ජාවාරම් මධ්‍යස්ථාන, තිප්පොළවල් බවට පත් වෙලා. ලංකාවේ ඔබ කැමති  ඕනම පොදු ප්‍රවාහන, පාරිභෝගික වැසිකිළියකට ගියොත් ඔබට මේ අත්දැකීම භුක්ති විඳින්න පුළුවන් වෙයි. නුවර ගිය වෙලාවක ගුඩ් ෂෙඩ් එක බලලා එන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම්, ඔබේ රථ පෙළ ‘බස් කඩේක’ නතර කරලා තේ එකක් බොන්න. ඒ හැම එකක්ම බෙර ගහලා විවෘත කරනකොට කිටි කිටියේ දිලිසුණු බව සැබෑව. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා. නඩත්තුවක් කළමණාකරණයක් නෑ. එකක් විනාශ වුණාම අලුත් එකක් හදනවා. එතකල් මිනිස්සු අතරමං.
මේ ටිකක් විතරයි. තව බොහෝ දේවල්. ඒ නිසයි, බොහෝ අය අකමැත්තෙන් වුණත් පොදු ප්‍රවාහනයෙන් ඈත් වෙලා වෙන විකල්පයක් විදිහටයි පුද්ගලික වාහන පරිභෝජනයට යන්නේ.
අවදානම දැක දැක පැලැස්තර දමමින් ඉන්න තාක් කල් මුල්ගල් තැබීමේ සහ විවෘත කිරීමේ ප්‍රීතියට වඩා දෙයක් ඉතිරි වෙන්නේ නැතිවෙයි. ඔය හැම රථවාහන තදබදයකදීම පිච්චෙන හැම පෙට්රල් ඩීසල් බිංදුවක්ම, එක්කෝ අපේ අම්මලා, දූලා මැදපෙරදිග ගිහිං කඹුරලා හම්බ කරන සල්ලි. එක්කෝ වතුකරේ අම්මලා දූලා නොමැරි මැරි-මැරී හම්බ කරන සල්ලි. එහෙම නැත්නම්, ගාමන්ට් ගාණේ අත් කකුල්වල නහර ඉලිප්පෙනකල් මැෂින් කරකවලා හම්බ කරන සල්ලි. අපි ඒ ගැනත් පොඞ්ඩක් හරි කල්පනා කරන්න  ඕනේ.
මේ ගැන කතා කරන වෙලාවට ලයිට් ට්‍රේන්, පොදු රථගාල්, ෂට්ල් සේවා, බේරේ වැවේ බෝට්ටු වගේ ඒවා ගැන ඇඟ කිලිපොළා යන විග්‍රහයන් ඉදිරිපත් වෙනවා. ඒ රූප හරි හැඩයි. ඒ හීන වර්ණවත්. ඒ වචන ආකර්ෂණීයයි. නමුත්, අවාසනාවට කරුණ කියන්නේ කඩදාසිවල, ප්‍රොජෙක්ටර්වල තියන ඒ හීන මහපො‍ෙළවේ නිර්මාණය වීම අතිශයින්ම මන්දගාමීයි.
මේ ප්‍රශ්නෙට තිරසාර උත්තරයක් හොයන්න දැනටමත් අපි ප්‍රමාදයි. නමුත්, දැන් වුණත් පරක්කු නෑ. නමුත්, ගුවන්පාලම්, බිංගෙවල් වගේ සාම්ප්‍රදායික සීමා ඇතුළේ හිර නොවී, අපිට සිද්ධවෙනවා ඊට වඩා වෙනස් එකක් හොයාගන්න.

44,087 Viewers

No comments