Header Ads

test

ශ්‍රී ලංකාව ගොඩෝ එනකල් බලා සිටීම


රටට ජාතික නායකත්වයක් සොයන ශ්‍රී ලංකාවේ සනාතන ගවේෂණය තවම නිමා වී නැත. මෑතක සිට එම සෙවිල්ල එපා වන තත්වයටත් පත්ව තිබේ. ලී ක්වාන් යූ කෙනෙකු හෝ ෆිදෙල් කැස්ත්‍රෝ වැන්නෙකු වීමට ප්‍ර​තිඥා දුන් බොහෝ දෙනා අවසානයේදී මාකෝස්ලා හෝ නජීබ්ලා වී තිබේ. අපේ අසල්වැසි ඉන්දියාවේ බිහි වූ මහත්මා ගාන්ධිලා සහ ජවහර්ලාල් නේරුලා අප තුළ දනවන්නේ මාත්සර්යකි. හැම දාමත් අපට ලැබී ඇත්තේ, මොන පැත්තකින් බැලූවත්, ජාතික නායකයන් නොව, දේශපාලනික නායකයන් ය. දුලබ ගනයේ ලිබරල් මතවාදයක් සහිත නායකයෙකු අපට හමු වන විට, එම නායකයාට දේශපාලනික අධිෂ්ඨානය නැතැයි අපට පසක් වෙයි. තවත් නායකයෙකුට එම දේශපාලනික අධිෂ්ඨානය තිබෙන විට, ඔහුගේ වෙනත් නරක ලක්ෂණ විද්‍යමාන වන්නට පටන් ගනී. මධ්‍යස්ථ යැයි සැළකෙන නායකයන්ට කොන්දක් නැත. අන්තවාදයට බර නායකයන්ට අවංකත්වය සහ නිපුණත්වය නැත.
ගැලවුම්කාර මායාව
ඉතිං, එන තෙක් මග බලාගෙන සිටි ගැලවුම්කරුවා තවමත් මායාවකට එහා යමක් වී නැත. කෙසේ වෙතත් ගැලවුම්කරුවා එන්නේ එක පොදියකට නොවේ. ගත වූ දශක කිහිපය තුළ ඇති වූ ප්‍ර​චණ්ඩත්වය හරහා ජාතික දේශපාලනික තලයෙන් සෑහෙන ප්‍රවීණයන් සංඛ්‍යාවක් ඉවත් කෙරුණි. විජේවීර, ලලිත්, ගාමිණී සහ පේ‍්‍රමදාස ඊට ඇතුළත් ය. අවසානයේ ඉතිරි වුණේ, සමහර විට රනිල් වික‍්‍රමසිංහ වැන්නෙකු හැරුණු විට, දෙවැනි පංතියේ පිරිසකි. එහෙත් රනිල් පවා, ජාතික වශයෙන් ඉතා වැදගත් කාරණාවලදී පෙන්නුම් කරන්නේ වැනෙන සුළු ලක්ෂණයන් ය.
හෝචිං මිං ලා හෝ මැන්ඬේලා බිහි කර ගැනීමට අපට නොහැකි වුණේ ඇයි? අඩු වශයෙන්, මැක්රොන් කෙනෙකු හෝ පත් කර ගැනීමට නොහැකි වුණේ ඇයි? ඒ පැනයට පිළිතුරු දීම පහසු නැත. එහෙත්, පිළිතුරක් සොයා ගැනීමට ප්‍ර​යත්නයක් දැරීම පාඩුවක් නොවේ. නායකයන් ලැබෙන්නේ රටක ජනතාවකගේ හැටියට යැයි ලෙනින් කී කතාව සම්පූර්ණ ඇත්තකි. ඇත්තෙන්ම, නිදහසේ පටන් මේ රටේ විසූ ජනතාව මීට වඩා සුදුසු නායකයන් බිහි කර ගැනීමට තරම් සුදුස්සන් නොවුණෝ ද?
ඇයි, සාක්ෂරතාව, දළ ජාතික දේශීය නිෂ්පාදිතය, මානව හිමිකම් ආදී අංශවලින් වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා ලංකාව දියුණු නැත් ද? අපේ එකී සාර්ථකත්වයන්, අපේ ජාතික දේශපාලනය තුළ නිරූපණය විය යුතු නැත් ද? අනිත් අතට, අපේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ දේශපාලනික වරිගය, ඇත්තෙන්ම ජාතික වශයෙන් හැඳින්විය හැකි ද?
ජාතික වශයෙන් සිතීමේ හැකියාවක් අපට නැත. අපේ දිගන්තයන්, පුද්ගලිකත්වයෙන් එහාට ගොස් නැත. වැඩිම වුණොත්, එය දිවෙන්නේ කුලය, ආගම සහ ජාතිය තෙක් ය. අසල්වැසි රටවලට වඩා අප දියුණු යැයි අපි සිතමු. ඔවුන්ට වඩා අප සුවිනීත යැයි අපි සිතමු. එසේම, අපි ලෝකයට විවෘත යැයි සිතමු. විශ්ව-දේශික යැයි සිතමු. එහෙත් එය ස්වයං-රැුවටීමක් පමණි.
දෙකට බිඳුණු ජාතියක්
නිදහසේ පටන්, ප්‍ර​ධාන දේශපාලනික ධාරා දෙකකට අප බෙදී සිටී. ඒ, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ඔවුන් බලයට පත් කිරීම සඳහා පෙළ ගැසෙන නොවැදගත් පක්ෂ පතුරුවලටත් ය. ජාතික ප‍්‍රගතිය වෙනුවෙන් පක්ෂ දේශපාලනය පසෙක ලෑ යුතු බවට මතයක් කාලයක තිබුණි. එහෙත් රටට එය වැඩියත්ම අවශ්‍ය වන අවස්ථාවක එවැන්නක් අපට ලැබුණේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගෙන ගිය සිවිල් යුද්ධයේදී ප‍්‍රධාන පක්ෂ දෙක කිසි විටෙක එක් වුණේ නැත. ඉවරයක් වන තෙක් යුද්ධ කර ගැනීමට නොයා තත්වය සමනය කර ගැනීම සඳහා, නිදහසෙන් පසුව ගත් ඕනෑම ප‍්‍රයත්නයක් අනිත් ප‍්‍රධාන පක්ෂය විසින් ව්‍යර්ථ කෙරුණි. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම, ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ යෝජිත නව ව්‍යවස්ථාව කෙරෙහි පෙන්නුම් කෙරුණු විරෝධය, අතිශය ජාතික වැදගත්කමකින් යුත් මොහොතකදී පවා, ජාතික මට්ටමේ නායකත්වයක් ගොඩනගා ගැනීමට අප අසමත් වූ ආකාරය දක්වන පැහැදිළි නිදසුන් ය.
එහෙත් ලොකුම අබග්ගය වන්නේ අප එදා අසාර්ථක වීම නොව, ඒ අසාර්ථකත්වයන්ගෙන් අදටත් පාඩම් නොගැනීමයි. අපේ මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වරට, ඊළඟ ජනාධිපතිවරණයක් හෝ සමහරවිට අගමැතිවරයෙකු තෝරා පත්කර ගැනෙන මහ මැතිවරණයක් සඳහා වසර දෙකක කාලයකට ආසන්නව තිබියදීත්, ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් ජාතික මට්ටමේ පැහැදිළි නායකත්වයක් නොමැති තත්වයක් ඇතිව තිබේ. මහින්දගේ පාලන සමයේදී, විපක්ෂය අන්ත දුර්වල තත්වයකට පත්ව, අවසානයේ පොදු නායකත්වයක් නියෝජනය කෙරෙන නායකත්වයක් සොයා ගැනුණත්, එදා පාලන බලය හෙබැවූ පාලක පක්ෂයේ නායකත්වයට මහින්ද සුදුසු බවට කිසි සැකයක් තිබුණේ නැත. ඊටත් කලින් පවා, අවසාන තරගයක් සඳහා ගොඩනැගෙන දේශපාලනික සන්ධානයකට නායකත්වය සපයනු ඇත්තේ කවරෙක් ද යන්න ගැන මෙයාකාරයේ අස්ථිරත්වයක් හෝ අතීරණයක් තිබී නැත.
‘ඒකාබද්ධ විපක්ෂයේ’ චණ්ඩි කතා කොතෙක් තිබුණත්, එය තනියෙන් ගමනක් යාමට තරම් ජවයක් ඇති සන්ධානයක් නොවේ. අනිත් අතට, ජනතා විමුක්ති පෙරමුණ මහජන ප‍්‍රසාදය පැත්තෙන් යම් ප‍්‍රගතියක් අත්කරගෙන තිබුණත්, නිසි නායකත්වයක් සැපයීමට තරම් සමත් වී නැත. දෙමළ ජාතික සන්ධානය තුළ පළපුරුදු සහ දක්ෂ පිරිසක් සිටියත් ඔවුන්ගේ වාර්ගික සාධකය නිසා එම පාර්ශ්වයෙන් බරසාර ජාතික නායකයෙකු බිහි වීමේ ඉඩක් ඇත්තේ නැත. සම්ප‍්‍රදායික වම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ‘ඒකාබද්ධ විපක්ෂයේ’ හොරණෑවක් වීමට එහා සාර්ථකත්වයක් අත්කරගෙන නැත.
දෙවැනි තීරුවේ නායකත්වය
රාජ්‍යකරණයේ උප-තීරු වශයෙන් පවතින පළාත් සභා සහ පළාත් පාලන ආයතන ජාතික නායකත්වයන් දළු ලෑමට උපස්ථම්භක නොවේ. ඒ වෙනුවට ඒවා, ඉහළ තීරුවේ උපදේවතාවුන්ගේ පාත්තරෙන් වැටෙන ඉඳුල් වළඳන තක්කඩි අධමයන් බිහි කරන සරුබිමක් වී තිබේ. ඒවායේ වැජඹෙන්නේ, බලගතු දේශපාලඥයන්ගේ ඥාතීන් සහ හිතවතුන් ය. එබැවින් ලංකා මාතාව සඳහා සුදුසුකම් සහිත වර්ණවත් දූ පුතුන් බිහි කර ගැනීමේ අවස්ථාව, එම උපතීරුවලටත් අද අහිමිව ගොස් තිබේ. ජේ. ආර්. ජයවර්ධන යුගය දෙස බලන විට, දෙවැනි පෙළ නායකත්වය, එදා ආර්. පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි වැනි පුද්ගලයන්ගෙන් සමන්විත වූ බව අප දනිමු.
ඊළඟ මැතිවරණයේදී ජාතික නායකත්වය සඳහා තරග වැදීමට නියමිත, වැඩිමනත් දේශපාලනික සම්බන්ධතා රහිත පුද්ගලයන් ගැන මේ දිනවල කතාබහ කෙරේ. නිර්භය සහ ප‍්‍රගතිශීලී ක‍්‍රියාධරයෙකු මෙන්ම නීතිවේදියෙකු ද වන නාගානන්ද කොඩිතුවක්කු ඉදිරියේදී තමා එම තරගයට එළැඹෙන බව මේ වන විට ප‍්‍රකාශයට පත්කොට තිබේ. සාර්ථක ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්තත්, රටේ අනාගතය සඳහා තමාට අගනා සැලැස්මක් ඇති බවත්, ඒ සඳහා සුදුසු කණ්ඩායමක් තමාට සිටින බවත් කියයි. මෙවැනි පුද්ගලයන් පිළිබඳ වැඩි විශ්වාසයක් නැති අයවළුන්, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලනික තල්ලූව නොසැපයෙන බවත්, සමාජයේ ඇටුවම් බැස්ස වෘත්තීය දේශපාලඥයන් පෙරලා දැමීමට තරම් ජනතා සහායක් ඔවුන්ට නැති බවත් පෙන්වා දිය හැකිය.
එහෙත්, ප‍්‍රංශයේ මෑතකදී බලයට පත් මැක්රොන්, යම් විශ්වාසයක් සහ ඉදිරි මගක් පිළිබඳ බලාපොරොත්තුවක් අප තුළ ඇති කරවයි. කරුණු එසේ වුව ද, ප‍්‍රධාන ප‍්‍රවාහයේ එකිනෙක පක්ෂ නියෝජනය කරන සම්ප‍්‍රදායික බලය, අප අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. යහපාලන ආණ්ඩුව, 2020 දී එක්ව යන්නේ ද වෙන්ව යන්නේ ද යන උභතෝකෝටිකයට ඉදිරියේදී මුහුණදෙනු ඇත. ඊළඟ මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය එම අභියෝගය උරගා බැලෙන කදිම පරීක්ෂණයක් වනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් කරන ‘ගම දීලා බලමු’ යන තේමාව බරසාර ය. ඒ මගින්, ඡන්දදායකයාට සදාචාරමය අභියෝගයක් ඉදිරිපත් කෙරේ. එහෙත් තමන්ට ගම පවරන මෙන් ඡන්දදායකයාගෙන් ඉල්ලන තරමට, රටත් තමන්ට පවරන්නැයි ඉල්ලා සිටීමට තරම් එම පක්ෂයට වගා කර ගත් හයියක් ඇත් ද යන්න අවිනිශ්චිත ය. කෙසේ වෙතත්, 2020 දී නම් එවැන්නක් සිදු වීමට ඉඩක් නැත. එම තත්වය තුළ, යහපාලනයට අයත් සම්ප‍්‍රදායික එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයකට වැඩි දෙයක් මේ අවස්ථාවේ බලාපොරොත්තු වීමේ හැකියාවක් නොපවතී.
ජනතා සහයෝගය පැත්තෙන් දුර්වල අඩියක සිටින මුත් ඝෝෂාකාරීත්වයෙන් අඩුවක් නැති, අන්තවාදී සිංහල-බෞද්ධ දක්ෂිණාංශය නියෝජනය කරන සහ විටින් විට රට අවුස්සන ‘ඒකාබද්ධ විපක්ෂය’ මොන විදිහකින්වත්, ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් සහ ආචාරධාර්මික වශයෙන් මේ රට ඉදිරියට ගෙන යාමට තරම් හැකියාවක් ඇති කඳවුරක් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළි ය. ඒ කැරොල් කරත්තයේ නැග සිටින බොහෝ දෙනාගේ ඉරණම තීන්දු වනු ඇත්තේ, මිනිමැරුම්, පැහැරගෙන යාම් සහ දූෂණ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල ප‍්‍රතිවිපාක අනුව ය.
නිදහසේ පටන් අප එරී සිටින මඩ ගොහොරුවෙන් අපව ගලවාගෙන, ජාතියක් වශයෙන් නව දිසානතියක් කරා රට ගෙන යන ගැලවුම්කරුවෙකු අපටත් ලැබේවා යැයි, තීරණාත්මක නව වසරක් අරඹන මේ අවස්ථාවේ අපි ප‍්‍රාර්ථනා කරමු.

No comments