Header Ads

test

පණ අදින මේ රටේ මජර දේශපාලනය


ලාංකීය ඉතිහාසයේ බිහි වූ දුර්වලතම පාලනය අද දින ගමන් කරන්නේ කුමන දිශාවකට ද යන්න එහි නියමුවන්ද නොදනී.  දිනෙන් දින අර්බුධයෙන් අර්බුධයට ගමන් කලද , පෙනෙන තෙක් මානයක කිසිදු විසඳුමක් රනිල් මෛත්‍රී පාලනයට නොමැත. ඇත්ත වශයෙන්ම මේ දිස්වෙන්නේ  ලාංකීය පසුගාමී ධනපති ක්‍රමයේ අවසන් නිමේෂයයි . එකම පාලනයක් තුල එකිනෙකාට අවි අමෝරා ගෙන සිටින විපරිත පාලනයට අප " යහපාලනය " යයි කියමු. මෛත්‍රීට මෙන්ම රනිල්ටද ඇත්තේ බලය ගිලිහි නොයා රැකගැනීම වෙනුවෙන් දෙයාකාර උත්සාහයකි. 


අද ශ්‍රීලනිප ය යනු ඇවිදින මලමිනියක් හා සමානය.  චණ්ඩ කුණාටුවකට හසුවුනු නැවක් දුබල නැවියෙකු විසින් පදවාගෙන යන අතොරක් නැති ගමනක මෛත්‍රී නිරත වේ. වතුරේ ගසාගෙන යන මිනිසා තණකොළ ගහෙත් එල්ලෙන්නට වෙර දරන්නක් සේ    එතනෝල්කාරයෝ, ගුරුවරුන් දන ගැස්සු අමනයන් වට කරගෙන "අත" ලකුණ රැකගැනීමට අසීරු උත්සාහයක නිරත වේ.  තමන්ගේ පුතුගේ ජනපති සිහිනය ශ්‍රීලනිපය තුල පල්වීමෙන් ඉටු නොවන බව දැනගත් මහින්ද , නෙලුම් පොහොට්ටුවක් මවාගත්තේ ඔහුගේ දේශපාලන ඇජෙන්ඩාව මුදුන් පමුනුවා ගැනීමටය. එයද මරාලයක් වී ඇත්තේ දෙකඩ වූ පක්ෂයක ඇති සිංහල චන්ද පදනම මත පමණක් විශ්වාසය තබා ළඟ එන මැතිවරණයට මුහුණ දී සියදිවි නසා ගැනීමට දැන් උපන්ගෙයිම ඔහුට මුහුණදීමට සිදුව ඇති නිසාය. ජාතිවාදය තුලින් තම පටු අරමුඉනු ඉටුකරගත නොහැකි බව මෙම වයෝවෘධ "කෘතහස්ත" දේශපාලකයාට මේ තාක් අවබෝධ වී නැත . මහින්ද වටා සිටින විමල් වීරවංශ වැන්නන් විසින් ඉහේ ඉඳන් කන කන තියරියට අවතීර්ණ වී  , වක්‍රාකාරව රනිල්ගේ ඇජෙන්ඩාවට පණ පොවමින් සිටි. එසේ බලන කල ඒකාබද්ධ විපක්ෂය යනු පෙරේත තටුවකි. මේ   අතර ජේ.ආර්. ගේ මග ගනිමින් ශ්‍රීලනිපය දෙකඩ කරමින් තනි අතේ බෝල පිටිය සකස් කර ගැනීමට දත නියවන්නේ රනිල්ය. මෙම විශේෂිත දේශපාලන භුමිය නිර්මාණය කිරීමට රනිල් උපයෝගී කරගත්තේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ නියායයි . 


ලෝකයේ ඕනෑම රටක දුෂිත පාලනයක් පෙරලා දැමීමෙන් පසුව ඇරඹෙන්නේ එකී පාලනයේ සියලු අකටයුතුකම් විමර්ශනයට ලක් කරමින්  ජනතාව හමුවේ ඔවුන්ගේ නිරුවත හෙළි කරමින් ඊළඟ වටයේදී ස්ථාවර රජයකට සුදුසු දේශපාලන ජයග්‍රහණයන්ට  මග විවර කිරීමය. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය බිඳ දමමින් මේ රට දේශපාලන වෙනසකට භාජනය කල ජනතාවගේ සිවිල් සංවිධාන වල බලාපොරොත්තුව වුයේ මහා පරිමාන සොරකම් හා දුෂණයන්  තුලින් උපයාගත් ධනස්කන්ධය යලි මව් බිමට ලැබෙනු ඇතැයි  යන සුභවාදී බලාපොරොත්තුවයි . එම පවුල් පාලනයේ සොරකම කෙතරම් ප්‍රබල ද යන්න  ඔප්පු කරමින් , බැසිල් රාජපක්ෂ මෛත්‍රීගේ ජයග්‍රහණයත් සමගම රටින් පලා ගියේය. දේශපාලන වශයෙන් දැඩි ලෙස  දුර්වල වූ රාජපක්ෂ කල්ලිය අවසානයේ මැදමුලනට පසු බැස ගියේය. තමන්ට ඉදිරියේදී එල්ල විය හැකි නඩු හබ වලින් ගැලවීමට යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ගුරුකම් කරමින් , යකැදුරන් සමග කල් ගෙවීය. සිදුකල මිනීමැරීම් පිළිබඳව සියලු තොරතුරු ඇස් පනාපිටම ඔප්පු වීමෙන් තම දරුවන්  රැකගන්නේ කෙසේදැයි මහින්ද දස අතේ කල්පනා කරමින් සිටියේය. ඔහු වටා සිටි  චක් ගෝලයන්  පරාජයෙන් පසුව හොරගල් අහුලමින් සිටි අතර , නඩු හබවලින් බේරීම පිණිස , මෛත්‍රීගේ දෑත ශක්තිමත් කරමින්  ඔහුගේ යහනට ගොඩවිය. වසර දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ මෙම දුෂණ අපරාධ සිදුකල  පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට , රනිල් මහින්ද ඩීලය ආරම්භ කළේය. ජේ.ආර්. ගෙන් පාඩම් වූ රනිල් , ඔහුගේ සියලු ඉගැන්වීම් අත්හදා බැලීමට පටන් ගත්තේ මේ යහපාලන  මජර දේශපාලන සමය තුලය. මහින්ද හා මෛත්‍රී අතර විරසකය නිර්මාණය කරමින් ශ්‍රීලනිපයේ ගමනක අවසානය  කැඳවාගෙන ආවේය. 


රනිල්ගේ 2020 ජනපති සිහිනය සපල කරගැනීමට තිබු ප්‍රබල දේශපාලන ගැටලුව  විසඳා ගනු ලැබුවේ රටේ කරටියටම හෙන ගසා තිබෙන වාතාවරණයකදීය. රනිල්ගේ ජනපති සිහිනය වෙනුවෙන්  රාජපක්ෂ ගේ දේශපාලන ජීවිතය බිලිදෙනු ලැබුවේ තම දරුවන්ගේ ඇඹේනියගේ  සහචරයන්ගේ සිරබත වැලැක්වීමටය .මහින්ද රාජපක්ෂට   යලි දේශපාලන ගමනක් නොමැති බව මේ වන විට පසක් කරගෙන ඇත. එහෙත් ඩීල් දේශපාලනය තුලින් ඔහු ලැබූ  අනෙකුත් ජයග්‍රහණය නම් , මේ රටේ ජනතාවගෙන් සොරාකෑ ප්‍රකෝටි ගණන් මුදල්වලට නිසි ආරක්ෂාව ලබා ගැනීමය. 

ඊළඟට මෛත්‍රීපාල සිරිසේනගේ වැල් පාලමේ ගමන් මග දෙස බලමු. 2020 න ගෙදර යන බවට පුරසාරම් දොඩවමින් බලයට පැමිණි මොහු, පඩුපුල් ආසනයේ බල මහිමයත් , එහි විරාජමාන වන විට ලැබෙන කොමිස්  කුට්ටි වල රසද තලු මැරීමට අනගි අවස්තාවක් උදා විය. ග්‍රාම සේවක නිලයේ සිට ලංකාවේ අංක එකේ පුරවැසියා බවට පත් වූ ඔහු පිළිබඳව යම් සුභවාදී ආකල්පයක් මේ රටේ සාමාන්ය් වැසියන් තුල එදා ඇති විය. වේදිකාවේ දී වරෙක ඔහු පැවසුවේ " ගුවන්තොටුපල වසා "එකම හොරෙකුට හෝ පැනයාමට ඉඩ නොදෙන බවය. එවිට පස්වනක් ප්‍රීතියෙන් මේ රටේ ජනයා අත්පොලොසන් දුන්නේය. ඒ අමනකමකට හෝ මරිමෝල් කමකට නොවේ. ජනතාවගේ කෑකෑරෙන  වෛරය මුදා හැරීමට පොල්පිත්තක් හෝ එදා අවශ්‍ය වී තිබුණි. මෛත්‍රී ජයගන්නේ අන්න ඒ ජනතාවගේ හද ගැස්මේ ප්‍රතිපලය මතය. එහෙත් සිදු වුයේ කුමක්ද ? විජේදාස රාජපක්ෂ, සාගල රත්නායක වැනි කුප්‍රකට පුද්ගලයින්ට අධිකරණය, පොලීසිය බාරදෙමින් රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේය. රනිල් ශ්‍රීලනිප ය බෙදීමට මහින්ද ආරක්ෂා කලද , මෛත්‍රී මහින්ද කල්ලිය ආරක්ෂා කලේ වෙනත් අරමුණකය. රනිල්ට මෙන්ම මෛත්‍රීටද  2020 ජනපති  මේනියාව තදින් වැළඳී ඇත. 2020 දී රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය නම් පෙරේත තටුවද තමාගේ ජනපතිවරණ  ව්‍යාපාරයට හවුල් කරගනිමින් ගෝටාභය අගමැති කරමින් ඔහු ජනපති කමේ වැජඹීමට සිහින දකින්නේය. පසුගිය පසුගිය  නොවැම්බර් 29 වැනිදා අභියාචනාධිකරණය විසින් අමුතුම තීන්දුවක් ලබා දෙමින් ගෝඨාභය අත්අඩංගුවෙන් වැලක්වුයේ මෛත්‍රී යන්න දැන් රටට හෙළිදරව් වී අවසන්ය. දැන් මේ රට තුල දිස්වන්නේ ඩීල් දේශපාලනයයි. එය කැරකෙන්නේ  මෛත්‍රී -ගෝඨා වටාත් , මහින්ද- රනිල් වට‍ය. ඉන් වැනසෙන්නේ මේ රටත් , උන්ගේ පව් වලට කරගසන මරිමෝල් ජනතාවත්ය. 



ඔබ මදක් සිතන්න , මෙරටේ සිදු වූ මහා පරිමාණ වංචා ලෙස ප්‍රසිද්ධියට පත් මිග් යානා ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය අවසන් වන තෙක් ගෝඨාභයව අත්අඩංගුවට ගැනීම වළක්වාලන තීන්දුවක් දී තිබිණි. එමඟින් රටේ ජනතාවගේ මුදල් හෙවත් රජයේ පොදු දේපළ කෝටි ගණනක වංචාවක් පිළිබඳව වූ ප‍්‍රධාන චූදිතයාව අත්අඩංගුවට ගැනීම වළක්වා තිබිණි. ඉන් පසුව ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් වූ සොහොනක් වීරකැටියේ ඉදිකිරීමට මහජන මුදල්  ලක්ෂ 910 ක්  සාවධ්‍ය ලෙස පරිහරණය කල අතර, සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද හේතුවෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 103 (ආ), 102 හා 381 වගන්ති කඩ කිරීම හේතුවෙන් 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 05(1) වගන්තිය යටතේ වරදක් සිදු කොට ඇති බව නීතිය ඉදිරියේ ඔප්පු කිරීමට ඇති පදම් සාක්ෂි ගොනු කර නඩු පවරන ලදී. එහෙත් සිදු වුයේ මෛත්‍රීගේ පුර්ණ සහයෙන් අවස්ථා දෙකේදීම  නඩුකාරවරු අමන තීන්දුව ප්‍රකාශයට පත් කලේ මෙරටේ අධිකරණය තඹ දොයිතුවක හෝ වටිනාකමක් ඉතිරි නොකරමිනි. ඉන් නිදහස් ලෝකයට අවතීර්ණ වුයේ මේ රටේ අංක එකේ දුශිතයෙකු වූ ගෝඨාභය රාජපක්ෂයි. දැන් ඔබට ඇස් පනාපිටම ඔප්පු වන්නේ මේ මජර දේශපාලන කල්ලියය  විසින් අප රට රැගෙන යන අඳුරු ආගාධය වෙතය. 2020 දී මේ දුෂිත දේශපාලුවන් ට මෙරට වෙනුවෙන් කල හැකි  කිසිවක් නැත. ඇත්තේ හප කර තිබෙන මේ රට තව තවත් තලු මරමින් අන්තිම බින්දුව තෙක් උරා බීම පමණි. ඉතින් නුඹලාට ඒ වෙනුවෙන් උරදිය හැකිද ?