Header Ads

test

සෙංකඩගල පැරැණි බෝගම්බර වැව වැනසුණේ කොහොමද ?


දැනට අවුරුදු 125 පමණ පෙර මුළුමනින් ම විනාශව ගිය ඓතිහාසික පැරැණි බෝගම්බර වැව ගැන කෙටි සටහනක්‌ මෙහි එයි. පැරැණි බෝගම්බර වැව ජනප්‍රවාද අනුව ඇරඹුයේ පළමු විමලධර්මසූරිය රජුය. (ක්‍රි. ව. 1592 – 1604) ඒ බව පැරැණි මූලාශ්‍රවල නැත. ඓතිහාසිකව බැලූ විට මේ වැව කළේ දෙවැනි රාජසිංහ (ක්‍රි. ව. 1636 – 1687) බව පෙනෙයි. සෙංකඩගල මුල්කල ලියවුණු මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්‍යය දෙවැනි රාජසිංහ රජු වැව් 32 ක්‌ කළ බව කියයි. පැරැණි බෝගම්බර වැව මේ රජු කළ වැව් තිස්‌ දෙකෙන් එකක්‌ විය යුතුයි. අද මහනුවර බස්‌ නැවතුම්පළ, ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්‍රීඩාපිටිය, මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්‌ථානය, මහනුවර පොලිස්‌ ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල පුරා පැතිර ගිය විශාල බිමක එදා පැරැණි බෝගම්බර වැව විය.
දුනුමඬලා ඔය හරස්‌ කර බැඳ තිබූ මේ වැවට දුනුමඬලා ඔයේ ජලය දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ ජලය ද ලැබුණි. (දැනට ඇති බෝගම්බර වැව 1810 – 1812 අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූවකි. (දැනට මහනුවර නගරයේ ජල බැස්‌ම මේ පැරැණි වැව වූ දෙසටයි. වර්ෂාව වේලාවක මහනුවර දුම්රියපළේ පැය භාගයක්‌ සිටියොත් අඩි දෙකකට වඩා උසට වතුර එකතු වෙයි. මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව යාව නව ගොඩනැඟිලි සැදීමේදී අඩි පහක්‌ පමණ යට සෑරීමේදී පුවක්‌ ගසක්‌ තරම වතුර ගොබ නොනවත්වා මතු විය. ගණදෙවි කෝවිල පිටුපසද මෙවැනි විශාල අල්පත් මතුවෙයි. මේ සියල්ල පැරැණි වැවේ උල්පත්ය.
එදා පැරැණි වැවේ එක්‌ මායිමක්‌ වූයේ කැප්පෙටිපොල විශ්‍රාම සාලව අසලය. කැප්පෙටිපොළ හිස ගසා දැමූවේ එහිය. කැප්පෙටිපොල නිලමේ හිස ගසා දැමූ තැන අද කැප්පෙටිපොල බෝධිය හා කැප්පෙටිපොල විශ්‍රාම ශාලාව ඇත. කැප්පෙටිපොළ පැරැණි බෝධිය අද ඇත්තේ ඉන් මතු වූ ශාඛාවකි. දැන් ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්‌වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක්‌ විය. අද ගණදෙවි කෝවිලේ පුද ලබන ගණදෙවි රුව ඒ පොකුණේ යට වී තිබුණු එකකි. ගණදෙවි කෝවිල ගාව වෙම්බ්ලි සිනමා හල අසළ පැරැනි වැව පාර (ඕල්ඩ් ලේක්‌ රෝඩ්) යන නාම පුවරුව ඇත. ඒ අනුව පැරැණි වැවේ එක්‌ කෙළවරක්‌ මේ විය. පැරැණි වැව් කෙළවර අල්ලා තිබූ ඔප දැමූ ගල් ලෑලි පැරැණි වැව පාරේ නිවසක පියගැට ලෙස අල්ලා තිබෙනු අවුරුදු 15 පමණ පෙර දුටුවා මට මතකය.
වැව කෙළවර ගණදෙවිs කෝවිල අසල එදා සෙංකඩගල නගරයේ වැදගත් ස්‌ථාන දෙකක්‌ විය. ඒ කුමාර හපුව හා සැරහුම් පළයි. සැරහුම්පළ යාව තිබූ කුමාරහපුව එදා නගරයේ වූ ඉපැරැණි ගසකි. අද ඒ ගස නැත. බෝගම්බර වැවේ ජලයෙන් දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වගා කරන ලදී. මුලින් මාතලේ රත්තොට අවට පුද ලැබූ බෝගම්බර දෙවිඳුට කැප කළ දේවාලයක්‌ මේ සීමාවේ වූ තිසා වැව බෝගම්බර වැව ලෙස ප්‍රසිද්ධ විය. බෝගම්බර දෙවි ඉන්දියාවේ සිට ආවෙකි.
රොබට්‌ නොක්‌ස්‌ගේ ‘ලංකා විස්‌තරය’ අනුව සතුරන් ආ විට රජු තම වටිනා වස්‌තුව මහවැලි ගඟට හා මේ වැවට දැමූ බව කියයි. රජු මිනී කන කිඹුලන් වැවේ ඇති කළ නිසා එදා කිසිවකු වැව දෙසට ගියේ නැති බව වොක්‌ස්‌ කියයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 – 1815) ඇහැලේපොල කුමාරිහාමී ඇතුළු ස්‌ත්‍රීන් ගෙලේ ගල් බැඳ ගිල්වා මැරුවේ මේ පැරණි බෝගම්බර වැවේය. (ඇතැම් රාත්‍රියක මේ වැව වු දෙස සිට ඇහැලේපල වලව්වේ දෙසට – දැන් ජනාධිපති මන්දිරය අසළ රිමාන්ඩ් බන්ධනාගාරය දෙසට ඇහැලේපොල කුමාරිහාමීගේ අවතාරය ගමන් කරනු දුටු කීපදෙනකු මට හමු වී ඇත.) උඩරට කැරැල්ල- 3 ග්‍රන්ථයේ තෙන්නකෝන් විමලානන්ද කියන පරිදි කැප්පෙටිපොළගේ හිස වම් කෙළවරදී ගසා දමා ඇත. මේ වැව ඉදි වු කල වැවේ එක්‌ කෙළවරක බෝගම්බර දෙවිඳුට කැප වූ බෝගම්බර දේවාලය හා අනිත් කෙළවර ජලයට අධිපති බහැරව කෝවිල ඉදි කළ බව පෙනෙයි. දැන් ගණ දෙවි කෝවිල ඇති බිමේ වූ මුල් කුඩා ගණදෙවි කෝවිල හින්දු බහුදේව වන්දනාව අනුව බහිරව කෝවිලකි. බහිරව කෝවිල පසු කළ ගණදෙවි කෝවිල ලෙස ප්‍රකට වූ බව පෙනෙයි. පැරැණි බහිරව කෝවිල සිට පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලය ඔස්‌සේ බහිරව කන්දට පාර විහිදෙයි. නියඟ දුරලා වර්ෂාව ලැබීම සශ්‍රීකත්වය ජලයට අධිපති ලෙස එදා බාහිරව පුදනු ලැබීය.
දොළ පිහිල්ලේ ලිවූ ඉන්ද ඩේස්‌ ඔµa ද ශ්‍රී වික්‍රම රාජසිංහ ග්‍රන්ථය අනුව එදා බහිරවයාට නර බිලි පවා පුදා ඇත. දෙයියන්නේවෙලට ඒ නම ලැබුණේ බෝගම්බර දෙවිඳුට කැපව තිබූ දේවාලය නිසාය. පැරැණි බෝගම්බර වැව විනාශ වීමට හේතු කවරේද?
‘පවන’ නම් ප්‍රශස්‌ති කාව්‍යය අනුව 1661 බිහිසුණු ගංවතුරක්‌ විය. ‘පවන’ ප්‍රශස්‌ති කාව්‍යය අනුව 1678 මහනුවර හා අවට බිහිසුණු භූමි කම්පාවක්‌ විය. මහනුවර හා අවට වැව් කීපයක්‌ විනාශයට මේ හේතු විය. (පවන කිරිඇල්ලේ ඥාණවිමල හිමි මුද්‍රණය කරවා ඇත.)
නාවුල්ලේ ධම්මානන්ද හිමි “මධ්‍ය ලංකා පුරාවෘත්ත’ ග්‍රන්ථය අනුව 1706 සිදුවූ දරුණු ගංවතුරක්‌ වැව විනාශයට හේතු විය.
1817 – 18 උඩරට කැරැල්ලට පසු අවුරුදු දොළහක්‌ දළදා පෙරහැර තහනම් විය. රටේ දරුණු නියඟයක්‌ ඇති විය. මේ නියඟ දුරළීමට 1828 අවුරුදු 12 පසු දළදා හිමි ප්‍රදර්ශනය හා පෙරහැර විය. 1828 දළදා පෙරහැර සමඟ දළදා වතුර නමින් ප්‍රකට මහා ගංවතුරක්‌ ඇති විය. වැව විනාශයට එය ද හේතු විය.
කඳුවලින් වර්ෂා ජලය සමඟ පස්‌ සෝදා අවුත් වැව පිරීයැම, වැව පස්‌ ඉවත් නොකිරීම හා නඩත්තු නොකිරීම සිදුවිය.
කොළඹ – මහනුවර පාර 1841 වැඩ නිම විය. එහි අවසන් කොටස වැව කොටසක්‌ හරහා ආ බැවින් වැවේ කොටසක්‌ ගොඩ කිරීමට සිදුවිය.
කොළඹ – මහනුවර දුම්රිය පාර 1867 නිම විය. 1867 දුම්රිය පාරට වැව මැදින් කොටසක්‌ යට විය.
බ්‍රිතාන්‍යයේ 7 එඩ්වඩ් කුමරා 1875 ලංකාවට ආවේය. කුමරු පිළිගැනීමට මහනුවර වෙනස්‌කම් කීපයක්‌ කළේය. මඟුල් මඩුව පළල් කිරීම, පත්තිනි දේවාලය අසල වතුර වළ සෑදීම. අලුත් බෝගම්බර වැවේ බිම්ම අලුත්වැඩියාව හා කැබලි වී තැනින් තැන විනාශව ගොඩ වී තිබූ පැරැණි වැව 1875 මුළුමනින්ම ගොඩකර බෝගම්බර ක්‍රීඩා පිටිය සැකසීම. වැව නැතත් බෝගම්බර ක්‍රීඩා පිටිය නමින් අද නම ඇත.
මහනුවර – මාතලේ දුම්රිය පාර 1878 වැඩ අරඹා 1880 නිම විය.
1875 හත්වැනි එඩ්වඩ් කුමරු පිළිගැනීමට වැව මුළුමනින්ම ගොඩකර පිට්‌ටනියක්‌ ලෙස සැකසූ පැරැණි වම් ඉවුරේ වටිනා දේ තිබුණා නම් 1878 – 1880 මාතලේ දුම්රිය පාරට ඒවා යට විය. ආදාහනමළුව විහාරයේ පැරැණි රජවරුන්ගේ සොහොන් කොත් අඩංගු කොටසක්‌ ද මහනුවර මතෙලේ දුම්රිය පාරට යට විය.
< SL News Web සටහන >