Header Ads

test

සුද්ද කල යුත්තේ ආණ්ඩුව පමණක්ද ?


ධර්මාධිකරණයේ සංකේතය වුයේ   එක් අතකින් තුලාවද අනෙක් අතින් කඩුවද ගත් දෑස් රෙදි කඩකින් බැඳී කන්‍යාවියකි. එය අධිකරණයේ සමානාත්මතාවයත් , සෘජු බවත් , සාධාරණයත් සංකේතවත් කරන අපුරු උපහැරණයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත. එහෙත් මේ වන විට මේ රටේ දේශපාලුවන් විසින් බලහත්කාරයෙන් එකී කන්‍යාවිය දුෂණය කර ඇත්තේ මහදවල්ය. මේ දිග හැරෙන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය ගණිකා  වෘත්තියේ යෙදවූ පාදඩ දේශපාලන  සංස්කෘතිය හා ජනතාවට එරෙහි පීඩකයාට පක්ෂපාතී වර්තමාන නීතියේ කෙරුවාවන් පිළිබඳව ඔබගේ මොලයට පහරක් දී නිද්‍රාශීලී මනස අවධි කිරීමටයි .......

 මේ රටේ අධිකරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනය දක්වා දිවයන අතර , එය ලිඛිත වශයෙන් රටට ඉදිරිපත් කරන ලද්දේ සෝල්බරි ව්‍යවස්ථාව හරහාය. එතැන් පටන් 1972 දක්වා වූ කාලය තුල මේ රටේ අධිකරණය සම්පුර්ණ ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුනි. 1972 නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග යම් කරුණු ලාංකීය සමාජ දේශපාලන පරිසරයට උචිත ලෙස වෙනස් කරන ලදී. නැවතත් රටේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසිනි. එම ව්‍යවස්ථාව හරහාද ව්‍යවස්ථාදායකයේ , අධිකරණයේ බොහෝ වෙනස්කම් සිදු විනි. අධිකරණයේ ස්වාධීනත්වය කිසි සේත්ම පොදු ජනයාට පක්ෂ පාතී වූ බවක් ඉංග්‍රීසි පාලනයේ සිටම අද දක්වාම දැකිය නොහැක. අධිකරණය තුල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලද , මේ රටේ ස්ථාපිත වූ අධිකරණ පද්ධතිය තුල කිසිදු ජනතාවාදී බවක් නැති බව තිත්ත වුදද ඇත්තකි. 

එවකට ඉංග්‍රීසි පාලනයේ අනීතික බදු බරට , ඉඩම් කොල්ලයට , රටක් ලෙස විනාශ කර දමන විට , එයට එරෙහිව නැගී සිටි මේ රටේ වීරෝධාර ජනතාවට සිදු වුයේ කුමක්ද ? හිරු නොබසින අධිරාජ්‍යට එරෙහිව කැරලි ගැසීමේ වරදට දඬුවම මරණයයි යනුවෙන් සුදු විනිසුරන් එක් පෑන් පහරින් තීන්දු ප්‍රකාශයට පත් කළේය. ඔවුන්ගේ අණසකට නතු වූ දහස් ගණන් ජනී ජනයා එසේ දණ්ඩනයට ලක් කලේ ජනතාවගේ අධිකරණයකින් නොව පාලකයන්ගේ පැවැත්ම උදෙසා ඇටවූ මර උගුලකින්ය. ඉංග්‍රීසි පාලනයට එරෙහිවන සියලු වැට කඩොලු වැසීමට භාවිතා කල කදිම උපාය වුයේද  අධිකරණයයි. 

තවද වල් වැදුණු නීතියට මුලාරම්භයක් තබමින් දුෂණයෙන් දුෂණයට , අගතියෙන් අගතියට ගමන් කල අධිකරණය , නැවත වටයකින් හෙම්බත් වන්නේ චන්ද්‍රිකා කුමාරණතුංග ගේ අවිචාරවත් පාලන සමයේදීය. එවකට අග්‍ර විනිශ්චයකාරවරයා වූ සරත් එන්. ද සිල්වා යනු මේ රටේ අධිකරණය ගණිකා වෘත්තියේ  යෙදවූ අපකීර්තිමත් පුද්ගලයෙකි. සරත් නන්ද සිල්වාගේ ආගමනයේ සිට ඇරඹි නීතිය අවනීතිය කිරිමේ කලාව නොනැවතී අද දක්වාම පැමිණ ඇත්තේ ඔහු විසින් දුන් පුර්වාදර්ශයන් ගුරු කොට තබාගෙනය. සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේදී අධිකරණය තුළින් ඇයට අවශ්‍ය දේශපාලන සහයෝගය ඕනෑවටත් පමණටත් වඩා ලබා දුන්නේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්‍ෂගේ පාලනයේ ආරම්භයේදී  මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය දේශපාලන සහයෝගයද දැවැන්ත සුනාමි  මුදල් වංචාවෙන් රාජපක්ෂ ගලවා ගත්තේද මේ ප්‍රතිපත්ති විරහිත මිනිසාය. තමන් අගවිනිසුරු පදවිය දරන විට සිදුකල අපචාර , සියල්ල වසා ගැනීමට චන්ද්‍රිකාගේ විධායක බලය යොදාගන්නා ලදී. 

විනිසුරන් හොරුන් බවට පත්කළ අවිචාරවත් සමය උදා වන්නේ මහින්ද රාජපක්ෂගේ දෙවන .රාජාභිශේකයත් සමගය. ඉන් පසුව  නීතියේ දෙවඟන සම්පුර්ණයෙන්ම නිර්වස්ත්‍ර කරන ලදී. රජුන් සමග යහන ගතවීම හැර විකල්පයක්ද ඇයට ඉතිරි වී නොතිබිණි. සරත් නන්ද සිල්වාට පසුව උපරිමාධිකරණයේ අසුන් ගන්නේ ශිරානි බණ්ඩාරනායකයි. එම අශීලාචාර පාලන සමයේ කවරෙකු එම ආසනය මත හිඳ  ගත්තද , රජුගේ අසීමාන්තික ආශාවන් ඉටු කිරීමට බැඳී සිටිය යුතුය. දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යනුකූල බවට තීන්දුවක් දෙමින් ශිරානි නෝනා විසින් සදාකාලික ජනපතිවරයෙකු මේ රටේ ස්ථාපිත කරන ලදී. රටේ පූර්ණ විධායක බලතල සියල්ල ඒ ජනාධිපතිවරයාට හැසිරවීමට හැකියාව ඇති කරමින් එම තීන්දුව ලබා දුන්නේ මේ රටට හිතැති මිනිසුන්ගේ ලේ රත්කරමිනි. අවසානයේ දී ඇය රාජපක්ෂට අවනත නොවීමේ වරදට අසුනෙන් බලහත්කාරයෙන් බිමට ඇද , සේවයද අත්හිටුවන ලද්දේ පැරණි සිංහල රජදවසේ දඬුවම් සිහියට ගන්වමිනි. 

ශිරානි බණ්ඩාරනායක එසේ ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය සමඟ දේශපාලන ගනුදෙනුවක නිරත වෙමින් සිටි මහින්ද රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවයා වශයෙන් පත් කර ගත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන ආප්තෝපදේශයට සජීවී නිදර්ශනයක් සපයමිනි. මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කිරීමට පෙරාතුවම සිට මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමේ මෙහෙයුමක ඔහු නිරත වී සිටියේය.මොහාන් පීරිස් යනු මේ රටේ අධිකරණය සමච්චලයට ලක් කල විනිසුරෙකු ලෙස පෙනී සිටි හොරෙකි. මහින්ද රාජපක්ෂ ගේ අනීතික , පීඩාකාරී පාලනය සුජාත කිරීමට අවැසි සියලු අධිකරණ තීන්දු ඔහුගේ පාලනයේදී ඉටු විය. අවසානයේදී මහින්ද රාජපක්ෂ ගේ ජනපතිවරනයෙදී සක්‍රිය දායකත්වයක් ලබා දුන්නේ විනිසුරෙකුගේ පදවියද අමතක කර දමමිනි.    එමෙන්ම තම ප්‍රතිවාදී ජනපතිවරණ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා හිරකර තැබීම වෙනුවෙන් කැන්ගරු උසාවියක් පත් කල අතර , එහි මුලසුන හෙබවූයේ ඊවා වනසුන්දර ඇතුළු රාජපාක්ෂිකයින්ය. එම නඩු තීන්දුවට පක්ෂව ක්‍රියාකළ තවත් රාජපක්ෂ කල්ලියේ ගජ මිතුරන් වූ ප්‍රියන්ත ජයවර්ධන,  බුවෙනෙක අලුවිහාරේ වන්නෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් බවට උඩින් පතිත කරන ලද්දේ , එම නිලයට සුදුසුකම් තිබු අභියාචනා අධිකරණයේ සභාපති විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කරනු ලැබූ එස්. ශ්‍රී ස්කන්දරාජා මහතාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වූ අනිල් ගුණරත්න මහතාත් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකරමිනි. මේ රටේ අධිකරණය යනු පාලකයන්ගේ ලේ රෙදි පිරිසිදු කරන වෙල්ලා හැලියක් බව පුන පුනා ඔප්පු කරමින් සිටී. 

රනිල් මෛත්‍රීගේ කැඳ හැලිය බඳු පාලනය තුලද සිදුවන්නේ අධිකරණය දේශපාලනීකරණය වීමය. තවම මේ බංකොලොත් රජයේ දෙවන වසර යාන්තමින් ගෙවී ගියද , අධිකරණය තුල සැලකිය යුතු දේශපාලන මැදිහත් වීම් ගණනාවක් පෙන්නුම් කළේය. විජේදාස රාජපක්ෂ ගේ ඇමෙතිධුර කාලය තුල දී පසු ගිය රජයේ කිසිදු තක්කඩි හොරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබුනේද වරප්‍රසාද , අල්ලස් වෙනුවෙනි.  මේ රටේ පොදු ජනතාව කෙරේ මහත් බලපෑමක් කර ඇති සයිටම් අර්බුධය අධිකරණයෙන් විසඳන ලද්දේ නෙවිල් ප්‍රනාන්දු , ලක්ෂ්මන් කිරිඇල්ල කල්ලියේ මුදල් බලයට යට වීමෙන් බව ප්‍රකට කරුණකි. එම අර්බුධය වෙනුවෙන් පෙනී සිටිමින් , එය ජයග්‍රහණය කිරීමේ උදෙසා ජනතාවගේ පාර්ශවයේ සිට සටන් වදින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට දෙනු ලැබූ දඬුවම් දෙස විමසිලිමත්ව බලමු. අනීතික පාර්ශවයට යුක්තිය ඉටුවන විට , යුක්තිය වෙනුවෙන් හඬ නගන්නට සිරබතය. ගෝඨාභය , ටිරාන් අලස්, ගම්මන්පිල වැනි තක්කඩි හොරුන් අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින විට , එයට එකහෙලාම අනුමැතිය දෙන විනිසුරන් ලෙස පෙනී සිටින තවත් තක්කඩි රැලක් හිස නමා අනුමැතිය දේ. රයන්, ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මාස ගණන්  ඇප නොදෙන අධිකරණය, නාමල් බේබිට පමණක් නොව ඔහුගේ අන්තප්පුරයේ මහා පරිමාන මුදල් මංකොල්ලා කෑ මෙහෙසියන්ට පැයෙන් ඇප දීමට ඉදිරිපත් විය. බිලියන ගණනක් ගසා කෑ රවී කරුනානායකය, බැසිල් රාජපක්ෂ වැනි පල් හොරුන් නිදහසේ කෙලි දොලෙන් මේ සමාජයේ වැජඹෙන විට, පොල් ගෙඩි තුනක් හොරා කෑ පුරවැසියාට හිරබතය. රාජ්‍ය දේපල කොල්ල කෑමේ වරදට වසර තුනක සිරදඬුවම් ලැබූ ලලිත් වීරතුංග අනුෂ පැල්පිටට දින තුනකින් නිදහස ලබා දීමට රනිල් මහින්ද සාකච්චාව උසාවි තීන්දුවට ඉහලින් පෙනී සිටියේය. උසාවි තීන්දුව වලට වඩා ඩීල් දේශපාලනයය මේ රටේ යුක්තිය පසිඳ  ලිය හැකි බව ඔප්පු කලේ එසේය. 

ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වීම, මේ රටේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා හානිකර ලෙස බලපෑවේ එසේය. විධායකය විසින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමේ තවත් එක් ආයතනයක් වශයෙන් අධිකරණය පාවිච්චි කළ අවස්ථාවන්ගෙන් මේ ගඳ ගහන දේශපාලන අතීතය පිරී ඇත. .
අධිකරණය යනු මහජනයාගේ ආරවුල් සඳහා මැදිහත් වීම සහ ඒවායේ විපාක කවරේ ද යන්න තීන්දු කිරීම සඳහා විනිසුරුවන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් වුවද , මෙම අධිකරණය තුල අසුන් ගෙන ඇත්තේද පාලකයන් මෙන්ම තක්කඩි රංචුවකි. අධිකරණය පමණක් නොව සමස්ත සමාජයම උඩු යටිකුරු කර , ද්‍රෝහී පාලනය පෙරලා දමන තුරු සියල්ලෝම පෙනී සිටින්නේ මේ රටේ පුරවැසියන්ට එරෙහිවය. එසේ නම් මේ දුරධාන්ත පාලනයත් , ඔවුන්ගේ හෙන්චයියන් රජ කරවන මේ ජරපත් සමාජයත් වෙනස් කිරීමට තීන්දු කරමු.