Header Ads

test

වැලිකඩ හිරගෙදර ගේට්ටුවේ හිර කල නොහැකි (සෙනරත් - ශර්මිලා ගේ) ආදරය..


අනුරාධපුරේ බන්ධනාගරයේ දැනට රදවා ඉන්න සිරකරුවකු වන සෙනරත් බන්ඩා ලියනාරච්චි සහ ශර්මිලා නැමති තරුණිය විවාහ ගිවිස ගැනීම හෙට (07 දින) මැගසින් බන්ධනාගාරයේදි සිද්ද කිරීමට නියමිතය. මේක හුදු විවාහ ගිවිස ගැනීමක් නොවන බව අප හැමෝම දන්නවා. කසාදය අත්සන් කිරීමෙන් පසු සෙනරත් බණ්ඩාට නැවතත් කූඩුවට යන්න වෙනවා වගේම ශර්මිලාට නැවත ගෙදරට එන්න වෙනවා. නමුත් ඔවුන් කසාද බදිනවා , නීතියෙන් වැටකොටු බැදි හනීමුන් නැතුවම ඔවුන් එකගතාවයක බැදෙනවා. සම්ප්‍රදායට එහා ගිය මනුෂ්‍යත්වය මේ අභියෝග කරන්නේ හිරගෙදර තාප්පෙටද ? නැතිනම් සමාජය විසින් අපහාසයට ගැරහීමට ලක්කරන සිරකරුවාගේ ඉරණම තුලද ? ආදරය මනුෂ්‍යත්වයට ඉඩක් නොදීම යටපත් කල හැකිද ? යන කාරණයද ? යන්න සමාජයේ අවදානය යොමු කරවීම වඩා වැදගත් වේවි.

සෙනරත් බණ්ඩා හා ශර්මිලාගේ ආදර කතාව තුල බන්ධනාගාරයක් තුල විවාහයක කිසිම අර්ථයක් නොදකින සමාජය බොහෝ විට සිතන පටු රාමුවෙන් ඔබ්බට ගිය විට සිරකරුවෙකු ලෙස දඩුවමක් ගෙවන සෙනරත් බණ්ඩාගේ නැවත සමාජගතවීමේ බලාපොරොත්තුව නොබිදී පවත්වගෙන යන්න දෙන ලොකුම පරිත්‍යාගය ශර්මිලා ආදරයේ නාමයෙන් පුදකර සිටීමක් ලෙසයි මේ විවාහ ගිවිස ගැනීමේ වටිනාම කෑල්ල වෙන්නේ. සිපිරි ගෙදර ජීවිතය තුල සිරකරුවාට ඇති වටිනාම දෙය බලාපොරොත්තුවයි. වසර ගණන් දඩුවම් ගෙවන සිරකරුවන් නිසි පුනරුත්තාපනයක් හා නැවත සමාජගතවීමේ නිසි ක්‍රමවේදයක් රහිතව ගෙවා දමන කාලය ඔවුන්ට පවතින ක්‍රමය විසින් කල වරදට දුන් දඩුවමට අමතරව ලබාදෙන තවත් දඩුවමක් ලෙස දැකිය හැකිය. දඩුවම යන්න වැරදි නිවැරදි කිරීම නොහොත් පුනරුත්තාපනය දක්වා අර්ථ නිරූපනය වෙද්දී බන්ධනාගාර තුල සිරකරුවාගේ ප්‍රායෝගික තත්වය ඊට හාත්පස නරක පසුබිමක් බව බන්ධනාගාර සිරකරුවාගේ තත්වය පිරික්සීමේදී කරුණු හෙලිදරව් වී ඇත.

ශර්මිලා සෙනරත් බණ්ඩා බැලීමට බන්ධනාගාරයට යන විට තමුන් සෙනරත්ගේ කවුද යන්න ප්‍රශ්න කර කසාද සහතික හොයන බන්ධනාගාර නිලධාරින් අනෙක් අතට තම ආදරවන්තයා කසාද බදින්නට කරන ඉල්ලීම වසර ගණනක් පැහැර හැර තිබේ. තම ප්‍රේමවන්තයා බැලීමට බන්ධනාගාරයකට යාමට කසාද සහතික අවශ්‍ය වන රටක අවම උද්‍යානයක එකට වාඩිවී සිටීමට කසාද සහතික හොයන රටක පිරිමින් ගෙදර ගෑණිට කසාද සහතිකයේ නාමයෙන් අඩංතෙට්ටම් කිරීමට පසුබට වන්නේ නැත. මේ දෙබිඩ්ඩ අතර හිරවෙන මනුෂ්‍ය බැදීම් සම්ප්‍රදායෙන් කඩා ඉදිරියට ගමන් කරවීමට ශර්මිලා ගෙන ඇති තීරණයට අප සමාජයක් ලෙස ගරුකල යුතුය. ලොකු තාප්ප බිත්ති වලට යටපත් කල නොහැකි බොහේ මනුෂ්‍යත්වයන් ගෙන් එක් පැතිකඩක් ආදරයේ නාමයෙන් ඉස්සරහට ගෙනැල්ල වැලිකඩ හිරගෙදර ගේට්ටුවේ හිර නොකරන්න වගබලාගත්ත ශර්මිලාගෙ සෙනරත්ගේ විවාහයට,

හෙට (07) උදේ 09.30 ට
මැගසින් බන්ධනාගාරයට,

ආදරෙන් ඇවිත් ඔවුන්ට දෙපලට සුබ පතන්න පුලුවන් මනුස්ස හදවත් වලට පැමිණෙන්න කියල අපි ආරාධනා කරනවා.

සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව.