Header Ads

test

යහපාලනය කියාගෙන ආ ආණ්ඩුව සංස්කෘතිය මෙන්ම සදාචාරයට කෙලියි.



ශ්‍රී ලංකාවේ යනු සංස්කෘතිකමය ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. දේශපාලනිකව අච්චුවකට නැත්නම් රාමුවකට බැහැර කල නොහැකිය. සංස්කෘතිය යනු සකස් වුණු ආකෘතිය ලෙස අර්ථ ගැන්වේ. ඉතිහාසය පුරාවටම සකස් වුණු ආචාර ධර්ම, සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හා චර්යාධර්ම පද්ධතියකින් අපේ රට සුපෝෂණය වී ඇත. බෞද්ධ දර්ශනයෙහි මූල බීජයන් මුල් බැසගත් සංස්කෘතික රාමුවක් තුල අප ජනතාව ජීවත් විණි. අතීත හෙළයින් මේ බෞද්ධ සංස්කෘතිය වැලද ගනිමින් ආරක්ෂා කරමින් ඊට අනුරූප ලෙස තම ජීවිතය ගොඩ ගස්වා ගත්හ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ ආගමනයෙන් පසුව අප සංස්කෘතියට විවිධ අංගෝපාංග  එකතුවන්නට පටන් ගත්තේය. ඒ හරහා සීල් කල මත් පැන්, බියර්, වයින් සුලබ විය.

වර්තමානයේ එනම් මෙවර අයවැයෙන් බියර් මිල අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කලේය. මේ ප්‍රකාශයත් සමගම ව්‍යවස්ථාදායකය මෙන්ම සමාජය තුලින්ද විවිධ ප්‍රතිරෝධයන් එල්ල වන්නට පටන් ගත්හ. සංස්කෘතිකමය වශයෙන් සුරාවට වැඩි ඇල්මක් නොදක්වන බෞද්ධ වටපිටාවකින් හෙබි ජාතියක් වීම මීට මුඛ්‍යතම සාධකයකි. අනෙක නම් ජනාධිපති සිරිසේන මධ්‍යසාර හා දුම්කොල නිෂ්පාදන සීමා කිරීම සදහා විශාල පියවරන් කිහිපයක් ගෙන ඇත. අනෙක ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අන්තර්ගත වුණු මූලිකම කරුණක් වූයේ මධ්‍යසාර හා දුම්වැටි වලට වැට බැදීමය. පැවති දූෂිත රාජපක්ෂ රෙජිමයෙන් එතනෝල් හා දුම්වැටි සමාගම් වලට ලබා දුන් සහන පිලිබද විවේචනය කරමින් මෛත්‍රී පසුගිය ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවට නැග මධ්‍යසාර, දුම්කොල නිෂ්පාදන අධෛර්යයට පත් කල යුතු බව පතුරු ගැසීය. මෛත්‍රීයෙන් පාලනය කරන බවද කීවේය. සදාචාරය, සංස්කෘතිය ගැන පොලවේ පස් කමින් ප්‍රකාශ නිකුත් කලේය. නමුත් මෛත්‍රී පාලනය අද දුර්දාන්ත පාලනයකට යන බව පෙන්නුම් කරමින් සිටී.

මෙය ඇත්තටම මෛත්‍රීගේ වරදක්ද ?
මේ ගැන කතා කලම යුතුය.

බියර් සදහා සහන ලබා දීමට මේ රජයේ පුරෝගාමියා වූයේ එවකට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකය නැත්නම් කරුපයියාය. 2016 ගංවතුර කොළඹ,ගම්පහ, කළුතර යට කරමින් අහිංසක දුප්පත් ජනතාවගේ ඇදිවත පවා අහිමි කලේය. නමුත් මේ ආණ්ඩුවද ප්‍රථමයෙන් සහන ලබා දුන්නේ බියර් සමාගම් වලටය. එහි කදිම නිදසුන ලයන් බෲවරි සමාගම ( Lion Brewery (Ceylon) PLC ) ගංවතුරට යට විය. එහි නිෂ්පාදිත බියර් මෙන්ම යන්ත්‍රසූත්‍රද විනාශයට පත් විය.  එහිදී ලයන් බෲවරි සමාගමට ( Lion Brewery (Ceylon) PLC ) සිදු වූ අලාභ හානියෙන් ගොඩගන්නට පැයූවේ රවීය නැත්නම් කරුපයියාය. එහි ආනයනික බදු අඩු කරන්නේද රවීය. මෙහි හොදම කාරණාව නම් ලීටරයක් සදහා රු : 500කට තිබුණු බදු මුදල රු : 125 දක්වා අඩු කිරීමය. එමගින් ලීටරකින් අහිමි වූ මුදල රු : 371කි. කාර්තුවකට මෙම සමාගම දල වශයෙන් ලීටර් මිලියන 35කි. මෙය මීට වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත. කාර්තුවකට ලීටර් මිලියන 20ක් ලෙස නිෂ්පාදනය උපකල්පනය කලහොත් රජයට අහිමි වන බදු මුදලේ ප්‍රමාණය රු. බිලියන 7.4කි. එනම් මිලියන 7400කි. වාර්ෂිකව එය බිලියන 30කට අධිකය.

මේ වනවිටත් රජය දුම්වැටි සහ දුම්කොල නිෂ්පාදන අධෛර්යයට පත් කිරීම සදහා විශාල කර්තව්‍යයක් දියත් කරමින් සිටිති. එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඇමති රාජිතය. පාසල් අවට මීටර් 500ක් ඈතින් දුම්වැටි විකිණීම, 90%ක් දක්වා දුම්වැටි සදහා බදු අය කිරීම, 80%ක් දක්වා රූපමය අවවාද එක් කිරීම, දුම්කොල වගාව 2020 වනවිට සම්පූර්ණයෙන් නැවැත්වීම ඇතුළු කරුණු කාරණා රාශියක් මෙයට අන්තර්ගතය. ජනාධිපති මෛත්‍රී සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දුම්වැටි හා මධ්‍යසාර අධෛර්යයට පත් කිරීමට කටයුතු කිරීමේ කාර්යභාරය ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලෝක නායකයින්ගේ ඇගයීමට මෙන්ම පැසසුමට ලක් කර ඇත.

එවන් මොහොතක මංගල සමරවීර ඇමතිවරයා මෙවර අයවැයෙන් බියර් හා වයින් සදහා බදු අඩු කර ඒවායේ මිළ ගණන් අඩු කර දැමීමට යෝජනා ඉදිරිපත් කර කටයුතු යොදා ඇත. පැණි බීම සදහා බදු මුදල් වැඩි කිරීමත් බියර් මිල අඩු කිරීමත් පාන් හා ලාවුළු වගේ නොගැලපීමකි. පැණි බීම වල මිල වැඩි කිරීම හොද කාරණයකි. නමුත් බියර් මිල අඩු වීම හරහා සිදු වන්නේ අනර්ථයකි. බියර් සමග වැඩි නැඹුරුතාවයක් ඇත්තේ අවුරුදු 14 - 24 දක්වා වයස් කාණ්ඩ වල පසුවන්නන් ය. 24 - 40 දක්වා ප්‍රතිශතය වැඩි මධ්‍යසාර භාවිත කරයි. බියර් මිල පහත දැමීම නිසා ඊට බිලි වන්නන් ශිෂ්‍ය ප්‍රජාව හා තරුණ පරපුර බව මෙයින් ගම්‍ය වනු ඇත. විශේෂයෙන්ම මෛත්‍රීගේ න්‍යායට අනුව නම් මධ්‍යසාර, දුම්වැටි, දුම්කොල වලින් දරුවන් මෙන්ම වැඩිහිටියන්ද  ඈත් කිරීමය. නමුත් බියර් මිල අඩු කිරීම තුල පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා බියර් පානය කිරීමට සිදු කරනු ලබන උත්තේජනයක් ලෙස දැක්විය හැක. කඩවල් වල පැණි බීම මෙන් බියර්, වයින් විකිණීය යුතු නැත. දියුණු රටවල එහි සංස්කෘතියත් සමග කැසිනෝ ව්‍යාපාර, ගණිකාවන් හා මධ්‍යසාර භාවිතයට වෙනම කලාප සකසා ඇත.

රාජපක්ෂ රෙජිමය සමයෙදී කැසිනෝ රජෙක් වන ජේම්ස් පැකර් මෙරට ව්‍යාපාර කිරීමට පැමිණි පසු එයට විරුද්ධව විපක්ෂයේ සිට හඩ නැගූවේ මේ මංගල සමරවීරලාමය.

මතට තිත - තිතට මත කියමින් කෑ ගැසුවේද මේ මංගල සමරවීරලාමය.

එහෙව් මංගල අද බියර් මිල හා වයින් මිල අඩු කරමින් ජනතාව බේබද්දන් කිරීමට පිඹුරු පත් සලසා දී ඇත. මේ ගැන මංගලගෙන් ඇසූ විට කීවේ ගොබ්බ කතාවකි. එනම් බීර පැණි බීම වලට වඩා  ගුණ බවය. ජත්‍යන්තර ක්‍රියාවලියට අනුව සිදු කල මිල අඩු කිරීමක් බවය. මේ කතා ලංකාවට අදාල නැත. ලංකාව දූපත් මානසිකත්වයෙන් මිදී සංවර්ධනයකට යායුතු බව සැබෑය. ලෝකයේ රටවල් දියුණු වන්නේ තමන්ගේ රටට ආවේණික වූ ක්‍රමවේදයන්ට අනුවය. තමන්ගේ සංස්කෘතියට අනුරූපවය. විදේශයන්හි පවතින ආකෘති වැඩක් නැත. ජාත්‍යන්තර දේද අපේ රටට අවශ්‍ය ලෙස සකස් කර ගැනීම ඉතාමත්ම වටිනේය. මංගලට වැරදුනේද එතනය. වැරදි නිවැරැදි කර ගැනීමට මංගලට තවත් කාලය ඇත. මංගල කල යුත්තේ අපේ ජාතිය සමනලයන් කිරීම හා තිලෝගුරු තතාගතයන් වහන්සේ දෙසූ බුද්ධ ධර්මය විනාශ කිරීමට කටයුතු කිරීම නොව ප්‍රෞඩ සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යාමට නීරෝගීමත් ජනතාවක් ඇති කිරීමට කටයුතු කරමින් සදාචාරය ආරක්ෂා කිරීමය.